වාර්තා තබමින් ශ්‍රී ලංකා පිතිකරුවෝ ක්‍රයිස්චර්ච් පිටියේ අණසක පතුරුවති

520

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් පිටිය සතර අත විසිර ගිය හතරේ පහර හතළිස් පහකින් අලංකාර කරන ලද සංචාරක ශ්‍රී ලාංකික පිතිකරුවෝ නවසීලන්තය සමඟ ඇරඹි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සිය අණසකට යටත් කර ගැනීමට ඊයේ (09 වැනිදා) සමත් වූහ.

ඒ අනුව ඊයේ (09 වැනිදා) දිනය නිමා වන විට කඩුලු 6ක් දැවී ලකුණු 305ක් රැස්කරගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පන්දු වාර 75 තුළ ප්‍රහාරාත්මක වේගය පන්දු වාරයකට 4.07ක් විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ සත්කාරක කණ්ඩායමේ නායක ටිම් සවුති විසින් කරන ලද ආරාධනය පිළිගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ නවසීලන්ත පන්දු බල ඇණිය දමනය කර ගනිමින් සිය ඉනිම ගොඩනැඟීමට සමත් වූහ. එහිදී අර්ධ ශතක දෙකක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් වාර්තා වුණි.

ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු ගේ දැවී යෑමෙන් පසුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් නායක දිමුත් කරුණාරත්න සමග එක්ව දෙවන කඩුල්ල සඳහා ගොඩනැඟු ලකුණු 137ක සම්බන්ධතාවය ශ්‍රී ලංකා ඉනිමේ කොඳුනාරටිය විය.

එම ලකුණු 137 තුළ ලකුණු 87ක් සිය පිත්තෙන් වාර්තා කළ දකුණත් පිතිකරු කුසල් මෙන්ඩිස් සිය 40 වෙනි පන්දුවේදී අර්ධ ශතකය ලබා ගන්නා විට එය ක්‍රයිස්චර්ච් පිටියේ දී සංචාරක පිතිකරුවකු රැස් කරන ලද වේගවත්ම අර්ධ ශතකය බවට පත්විය.

මීට පෙර එම දස්කම වාර්තා කර තිබුණේ ඔස්‌ට්‍රේලියා කණ්ඩායමේ නායකයාව සිටිමින් ස්ටීව් ස්මිත් විසින් 2016 වසරේදී පන්දු 41කදී අර්ධ ශතකයක් වාර්තා කිරීමයි.

කණ්ඩායම රැස් කරන ලද හතරේ පහර 45 න් 16කටම වගකියූ මේ හුරුබුහුටි දකුණත් පිතිකරුවා පහසුවෙන්ම ශතකයක් කරා යන මග පෙන්නුම් කළ ද ටිම් සවුති ගේ පන්දුවක් නිදැල්ලේ හැරීමට ගොස් පාදයේ දැවටීම මත ලකුණු 87කට දැවී ගියේය.

මෙන්ඩිස් ඒ සඳහා මුහුණ දී තිබුණේ පන්දු 83කට පමණි.

සිය සහයකයා දැවී ගොස් තවත් පන්දු 5ක් ඇවෑමෙන් නායක දිමුත් කරුණාරත්න ගේ අගනා ඉනිම ද නිමාවට පත්වූ අතර පන්දු 87ක් තුළ දී ඔහු ලකුණු 50 ක් වාර්තා කර තිබුණි.

ඒ අතරතුර දිමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් වාර්තා කරන ලද ආරම්භක පිතිකරුවාගේ වාර්තාවද සිය නම ඉදිරියේ සටහන් කරගෙන තිබුණි.

ඊට පෙර එම වාර්තාව ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවකු ලෙස තරග 90කදී ලකුණු 5932ක් රැස්කරගෙන සිටි සනත් ජයසූරිය සතුව පැවතිණි.

දිමුත් මේ වන විට තරග 82කදී ලකුණු 5940ක් වාර්තා කර තිබෙන අතර මාවන් අතපත්තු ආරම්භක පිතිකරුවකු ලෙස තරග 79කදී ලකුණු 5317ක් වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාව බිහි කළ සුපිරි පිතිකරුවකු වූ සනත් සතුව තිබූ තවත් පිතිකරණ වාර්තාවක් ඇන්ජලෝ මැතිව්ස් හමුවේ ඊයේ බිඳී ගියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලැබූ පිතිකරුවන් අතර තෙවැනි ස්ථානය මැතිව්ස් ඉදිරියේ ලියා ගනිමිනි.

මීට පෙර එම ලැයිස්තුවේ තෙවැනි තැන සිටි සනත් තරග 110කදී ලකුණු 6953ක් වාර්තා කර සිටි අතර සිය 101 වැනි තරගය වන මෙම තරගයේදී මැතිව්ස් එම ලකුණු සංඛ්‍යාව ඉක්මවා ගියා පමණක් නොව ලකුණු 7000 සීමාවට ද අවතීර්ණ වූයේය.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7000 සීමාව ඉක්මවා ගිය තෙවැනි පිතිකරුවා බවට මැතිව්ස් පත් වූයේය.

කුමාර් සංගක්කාර (12400) සහ මහේල ජයවර්ධන (11814) මැතිව්ස් ට පෙර 7000 ඉක්මවා ගිය ක්‍රීඩකයෝ වෙති.

කෙසේ වෙතත් ලකුණු 7000 සීමාවට අවතීර්ණ වූ වහාම මැතිව්ස් ලකුණු 47 දී දැවී ගිය අතර පන්දු 98 කදී හතරේ පහර 6ක් සහ එක් හයේ පහරකින් සිය ඉනිම අලංකාර කර ගැනීමට මැතිව්ස් සමත් වූයේය.

දිනේෂ් චන්දිමාල් ලකුණු 39 ක් ලබා ගෙන සිටියදී සවුති ගේ තෙවන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව ගිය අතර මයිකල් බේස්වල් ගේ පන්දුවකට ස්වීප් පහරක් එල්ල කිරීමේ වරදට නිරෝෂන් දික්වැල්ල ලකුණු 07කට සිය කඩුල්ල අහිමි කර ගත්තේය. අනතුරුව පිටියට පිවිසි කසුන් රාජිත සමග එක්ව සිය ඉනිම ගොඩනඟමින් සිටි ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 39ක් රැස් කර ගෙන සිටි අතර කසුන් රාජිත සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 16ක් ලබා ගෙන සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment