වාහන ආනයනයට තවම වැඩපිළිවෙළක් නෑ

383

* මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම්

විවිධ පුද්ගලයන් වාහන ආනයනය සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරිපිට එක එක ප‍්‍රකාශ සිදු කළත් වාහන ආනයනයට අවසර ලබාදීම සම්බන්ධව කිසිදු ප‍්‍රායෝගික ක‍්‍රියාමාර්ගයක් තවමත් සකස් කර නැතැයි මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප‍්‍රසාද් කුලතුංග මහතා ‘දිවයින’ ට පැවීය.

මේ වන විට ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය පවා ගෙන ඒමට ඩොලර් නොමැති තත්ත්වයකදී වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමට නොහැකි බව පිළිගත හැකි කාරණයක් වුවත් මෙරටට අවශ්‍ය යම් යම් වාහන ප‍්‍රමාණයක්වත් ගෙන ඒමට අවසර ලබාදිය හැකි බව ද ඒ මහතා කීය.

විශේෂයෙන් ම විදෙස්ගත සිටින ශ‍්‍රී ලාංකිකයකුටවත් වාහනයක් මිලදී ගෙන මෙරටට ගෙන ඒමට අවසර ලබා දෙන්නේ නම් එය වටිනා බව කුලතුංග මහතා පැවැසීය.

ඉකුත් 2020 වසරේ මාර්තු සිට වාහන ආනයනය නතර කිරීමට ආණ්ඩුව තීරණය කළ අතර එම නිසා වාහන ආනයනකරුවන්, වාහන සේල් හිමියන් ඇතුළු මෙම කර්මාන්තයෙන් ජීවත් වූ ලක්‍ෂ පහකට අධික පිරිසකට රැුකියා හා ආදායම් අහිමිවී ගොස් ඇතැයි ද කුලතුංග මහතා පැවසීය.

වසංගතය ඒමට පෙර ජපානය ඇතුළු රටවලින් වසරකට මෙරටට වාහන 50,000 ක් පමණ ආනයනය කළ බවත්, ඒ හරහා විශාල තීරුබදු ආදායමක් රටට ලැබුණු බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙම කර්මාන්තයේ නිරතව සිටි ඇතැමුන්ගේ අත, කණකර හා දේපළ ආදිය ද මේ වන විට බැංකුවලට සින්න වී ඇතැයි ද බොරු මාධ්‍ය සංදර්ශන නොකර මෙම කර්මාන්තයේ නිරතව සිටි අයට සාධාරණ විසඳුමක් ලබාදීමට කොයි කවුරුත් වගබලා ගත යුතු බවද ඒ මහතා කීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment