මේ වන විට 2022 වසරේ අප මුහුණ දී සිටි බරපතල අඳුරු ආර්ථික තත්ත්වයෙන් මිදී කිසියම් දුරකට ආර්ථික ස්ථාවරත්වයක් ළඟා කර ගැනීමට අප සමත්ව තිබේ. කවර දේශපාලන විවේචන සිදු කළත් එය අසත්‍යයක් නොවේ. සාර්ව ආර්ථිකය පැත්තෙන් එසේ වුවත් සාමාන්‍ය ජනයා නම් විශාල බඩු මිලේ පීඩනයකට සහ බදු බරකට මුහුණ දෙමින් අසීරුවෙන් ජීවත් වන බව ද සත්‍යයකි. ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා සිදුකරන ලද සහ තවදුරටත් සිදු කිරීමට ඇති ආර්ථික ප්‍රතිසංස්කරණවල වැඩි පීඩාවක් (වේදනාවක්) විඳීමට සිදුව ඇත්තේ ද එම අර්බුදයට වගකිව යුතු නැති අතිමහත් සාමාන්‍ය ජනයාට බව ද ඇත්තය. මේ නිසා ඉදිරි කාලයේ දී එහි යම් යම් නිවැරදි වීම් සිදුවිය යුතුව ද තිබේ. උදාහරණයක් ලෙස බදු ඉලක්ක සපුරා ගැනීමේ දී ලේසියට වැට් වැනි වක්‍ර බදු මගින්ම එම ඉලක්ක සපුරා ගන්නවා වෙනුවට සෘජු බදු ආදායම් වැඩියෙන් අය කර ගැනීමේ ක්‍රියාමාර්ගවලට රජයට යොමු විය හැකිය. කෙසේ හෝ මේ වන විට කිසියම් දුරකට රටේ සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් ඇතිව තිබෙන නිසා කලින් පැවති වාහන ආනයන සීමා යනාදිය ක්‍රමානුකූලව ලිහිල් කිරීමේ හැකියාව ද ලැබී ඇත. ඒ අනුව අප මේ ලිපියෙන් අවධානය යොමු කරන්නේ වාහන ආනයන සීමා ලිහිල් වන්නේ කවදාද සහ කෙසේ ද යන්න ගැන සාකච්ඡා කිරීමට ය.

2022 වසරේ දී අප මුහුණ දුන්නේ ඉතිහාසයේ දරුණුතම විදේශ විනිමය අර්බුදයටය. අපට අපගේ විදේශ ණය ගෙවාගෙන යෑමේ හැකියාව ද නැති වී තෝරාගත් විදේශ ණය ගෙවීම අත්හිටුවීමට ද රජයට සිදු විය. මේ නිසා පොදුවේ රටින් පිටට විදේශ විනිමය ගලාගෙන යෑම සීමා කිරීමේ ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කිරීමට රජයට සහ මහ බැංකුවට සිදුවිය. වාහන ආනයන සීමා හැරෙන්නට එම අනෙකුත් ආනයන සීමා බොහොමයක් මේ වන විට සැලකිය යුතු දුරකට ඉවත් කිරීමට සහ ලිහිල් කිරීමට පියවර ගෙන ඇති බව ද අපි දනිමු. ඒ අනුව වාහන ආනයන සීමා තවමත් තිබුණත් මේ වන විට භාණ්ඩ සම්බන්ධයෙන් පැවැති බොහොමයක් ආනයන සීමා ඉවත් කර ඇත. එයද සිදු කළේ එකවර නොව ක්‍රමයෙනි. මේ පසුබිම තුළ තවමත් පවතින වාහන ආනයන සීමා ලිහිල් කරන්නේ කවදාද යන ප්‍රශ්නය බොහෝ දෙනෙක් කලක් තිස්සේම අසන ප්‍රශ්නයකි. මේ ප්‍රශ්නය බොහෝ දෙනෙක් අපගෙන් ද විමසා ඇත. ඒ අනුව මාධ්‍යවේදීන් වශයෙන් අප ද රජයෙන් සහ ආර්ථික බලධාරීන්ගෙන් මේ ප්‍රශ්නය පසුගිය කාලය පුරා විටින් විට විමසා ඇත. ඒ අනුව මේ වන විට වාහන ආනයනය සම්බන්ධයෙන් මහ බැංකුව පැත්තෙන් කොළ එළියක් දැල් වී තිබේ. එනම් පසුගිය මැයි 28 වැනි සඳුදා පැවැති මහ බැංකු මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ වාහන ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරීම වැදගත් බවයි. මෙහිදී ‘ක්‍රමානුකූලව’ යන වචනය ඉතා වැදගත්ය. එනම් මේ කියන්නේ එක්වරම සියලු වාහන ගෙන්වීමට ඉඩ දිය යුතු බවක් නොවේ. ක්‍රමයෙන් වාහන ආනයන සීමා ලිහිල් කිරීමට හෝ මේ තීරණය ගත යුතු වන්නේ රජය විසිනි. මේ ගැන පසුගිය මහ බැංකු මාධ්‍ය හමුවේ දී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

වාහන ගෙන්වන්න අලුත් තුරුම්පුවක්!

දැනට පවතින වාහන ආනයන සීමා ලිහිල් කිරීමේ දී ඒ සඳහා අවශ්‍ය විදේශ විනිමය කළමනාකරණය කිරීමේ හැකියාව මහ බැංකුව සතුව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

“වාහන ආනයනය සඳහා අවසර ලබා දීම රජයේ ප්‍රතිපත්තිමය තීරණයක්. මහ බැංකුව පැත්තෙන් විශ්වසනීය පදනමක් මත විදේශ සංචිත තියෙනවාය කියන විශ්වාසය දැක්වූ විට රජයෙන් තමයි තීරණය කරන්න ඕන වාහන ආනයන සීමා ලිහිල් කරන්න ඕන කොහොම ද කියන එක. රජය මේ වන විටත් කියල තියෙනවා යම් කිසි ආකාරයකට ක්‍රමානුකූලව සමහර වාහන ගෙන්වීමට ඉඩ දෙන බව. එනම් දැනටමත් සංචාරක ව්‍යාපාරයට ඉඩ දී තියෙනවා. ඊට පසුව අපේ දැනීමේ හැටියට වාණිජ කටයුතු වෙනුවෙන් අවශ්‍ය වාහන ආනයනය කිරීමට ඉඩ දීම. මෙසේ වාහන ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරීම වැදගත්. එලෙස යම්කිසි ආකාරයක වාහන ආනයන සීමා ලිහිල් කිරීමක් තුළ, ඊට අවශ්‍ය විදේශ විනිමය කළමනාකරණය කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා.”

මේ අනුව මහ බැංකු අධිපතිවරයා ප්‍රධාන වශයෙන් දී ඇති පණිවිඩය වන්නේ වාහන ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරීම වැදගත් බව සහ ක්‍රමානුකූලව වාහන ආනයන සීමා ලිහිල් කිරීමේ දී අවශ්‍ය විදේශ විනිමය කළමනාකරණය කිරීමේ හැකියාව මේ වන විට පවතින බවයි. මේ අනුව ඉදිරි කාලයේ දී දැනට පවතින වාහන ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් වනු ඇති අතර එහිදී සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය වාහනවලට අමතරව වාණිජ හා ආර්ථික කටයුතු වැනි අවශ්‍යතාවන් වෙනුවෙන් වාහන ආනයනය සඳහා ඉඩ ලබා දීමට ප්‍රමුඛත්වය හිමිවනු ඇතැයි අපට සිතිය හැකිය. මේ වන විට අපගේ විදේශ සංචිත තිබෙන්නේ කවර මට්ටමක ද?

පසුගිය අප්‍රේල් මස අග වන විට අපේ විදේශ සංචිත මට්ටම සැලකිය යුතු ඉහළ මට්ටමකට පත්ව ඇත. එනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 5.5 ක් දක්වා මට්ටමකට සංචිත වර්ධනය කර ගැනීමට අප සමත්ව ඇත. මේ අනුව වාහන ආනයන සීමා ක්‍රමයෙන් ලිහිල් කිරීමේ දී දැනට පවතින විදේශ සංචිත මට්ටම මත මහ බැංකුවට විදේශ විනිමය කළමනාකරණය කර ගැනීමේ හැකියාව තිබෙන බව මහ බැංකුව ප්‍රකාශ කර ඇති නිසා දැන් මේ ගැන තීරණ ගත යුතුව ඇත්තේ රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය විසිනි. මේ සම්බන්ධයෙන් එම අමාත්‍යාංශය ද මේ වන විටත් ක්‍රියාත්මක වී මේ ගැන නිර්දේශ ලබා ගැනීම සඳහා කමිටුවක් පත්කර තිබිණි. මේ කමිටුවේ වාර්තාව මේ වන විටත් ජනාධිපතිවරයාට භාර දී ඇති බව ද අපට දැනගන්නට ඇත. එහෙත් එහි සඳහන් නිර්දේශ මොනවා ද යන්න අපට නිශ්චිතව දැනගන්නට නැත. මෙවැනි කමිටුවක් පත්කර වාර්තාවක් ලබාගත්තේ විධිමත් ලෙස වාහන ආනයනය ආරම්භ කිරීම සඳහා විය යුතුය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පසුගිය දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් වාහන ආනයන සීමා ලිහිල් කිරීම ගැන මෙසේ ප්‍රකාශ කර තිබිණි.

“මෙරට විදෙස් සංචිත ඉහළ යෑමත් සමග අවශ්‍යතාව පරිදි ක්‍රමානුකූලව වාහන ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත්කරා. වාහන ආනයනය කිරීමේදී කරුණු රැසක් සම්බන්ධයෙන් සොයා බලනවා. අපි ක්‍රමානුකූලව ආනයන සීමාවන් ලිහිල් කළා. ආනයනයන් 1500ත් 2000ත් අතර ප්‍රමාණයක් නවත්වලා තිබුණා. දැන් ඒවා අපි ක්‍රමානුකූලව ලිහිල් කරලා දැන් වාහන ආනයනය පමණයි නවත්වලා තියෙන්නේ. ඒකත් අපි දැන් අවශ්‍යතාව පරිදි විවෘත කරනවා. අපිට බලාපොරොත්තුවක් තියන්න පුළුවන් අනාගතයේදී වාහන ගෙන්වන්න දෙනවා ද කියන කාරණාවටත් වඩා ක්‍රමානුකූලව, අත්‍යවශ්‍යම වාහන මොනවාද, නැතුවම බැරි වාහන මොනවා ද යන්න මත යම් අනුපිළිවෙළක් අනුව අනාගතයේදී මේ සඳහා ඉඩක් ලබාදීම ගැන.”

අත්‍යවශ්‍ය වාහන සහ ඒවාගේ වර්ගයන් මොනවා ද, පාවිච්චි කළ වාහන ගෙන්වනවා නම් ඒවා අවුරුදු කීයකට ද අපි සීමා කරන්නේ, ඒවාට කොපමණ ඉන්ධන ප්‍රමාණයක් වැය වෙනවා ද, අපේ රටේ තියෙන මහාමාර්ග පද්ධතිය ඒවාට ඔරොත්තු දෙනවා ද සහ දැනට තියෙන වාහනවලින් අපිට කොතෙක් දුරට ප්‍රයෝජන ගත හැකිද යන කරුණු ගැන ඉතා හොඳ සොයාබැලීමක් කරනවා. දැන් මේ වෙනකොට අපි සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය වෑන් රථ 750කුත්, බස් රථ 250කුත් ගෙන්වන්න අවස්ථාව දීලා තියෙනවා. හැමදෙයක් ගැනම රජය, මුදල් අමාත්‍යාංශය සහ භාණ්ඩාගාර දැන් කටයුතු කරන්නේ බොහොම හොඳින් සොයා බලලා ලැබෙන වාර්තා මතයි. ඒ අනුවයි අපි ඊට අනුගාමී වූ තීන්දු ගන්නේ.”

වාහන ආනයන සීමා කිරීමට රජය අනුගමනය කරන ක්‍රියා පිළිවෙත ගැන පසුගිය කාලයේ වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් චෝදනාවක් එල්ල වී තිබූ අතර ඔවුන් කියා සිටියේ මෙරටට නැවත වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත්කර ඇති බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවද එම කමිටුව නියෝජනය කිරීමට තමන්ට ඉඩක් ලබා දී නොමැති බවයි. මේ අනුව වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග පසුගිය දා බීබීසී සිංහල සේවයට පවසා තිබුණේ මෙරටට ආනයනය කළ යුතු වාහන සම්බන්ධයෙන් තීරණය ගැනීමේදී සිය සාමාජිකයන්ගේ අදහස් ද සැලකිල්ලට ගැනීම වැදගත් බවය. ඔහු මෙසේ ද කියා තිබිණි.

“මුදල් රාජ්‍ය අමාත්‍යතුමා පත් කරලා තියෙන කමිටුවට වාහන ආනයනකරුවන්ගේ නියෝජනයක් නැහැ. මේ රටේ සැබෑ වාහන ආනයනය පසුබිම, මොන වගේ වාහනද ගෙන්වන්න ඕන කියන එක හරියටම දැන ගන්න වාහන ආනයනකරුවන්ගේ නියෝජනයක් අවශ්‍යයි. රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයින්ගෙන් පමණක් සමන්විත කමිටුවකට මේ වාහන ආනයනය ගැන තීරණයක් ගන්න බැහැ. මුදල් රාජ්‍ය ඇමැතිතුමාගේ කමිටුවට තවම වාහන ආනයනකරුවන් සම්බන්ධ කරන් නැහැ. අපි ඉල්ලීම් කළත් මේ ගැන තවමත් පිළිතුරක් ලැබිලා නැහැ. දැනුමක් නොමැති අයගේ තීන්දු තීරණ නිසා තමයි වාහන ආනයනය මේ තරම් දුරට අඩාල වෙලා තියෙන්නේ.”

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ මේ චෝදනා නිසාදෝ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පසුගිය දා එම සංගමයේ නියෝජිතයන් ද හමු වී තිබුණි. ප්‍රමාද වී හෝ මේ ගැන ඔවුන් සමග ද සාකච්ඡා කර අදහස් ලබා ගැනීමට ක්‍රියා කිරීම හොඳ දෙයකි. එම හමුවෙන් පසුව රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයා මාධ්‍යයට පවසා තිබුණේ රථවාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ඉන් ඇති විය හැකි බලපෑම පිළිබඳ විශේෂ වාර්තාවක් නුදුරේදීම වාහන ආනයනකරුවන් විසින් තමා වෙත ලබා දීමට අපේක්ෂිත බවත් ආනයන සීමා ලිහිල් කිරීම පිළිබඳ සවිස්තර තොරතුරු ඊට ඇතුළත් වනු ඇති බවත්ය. මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආනයන ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් අතින් සැකසෙන මෙම වාර්තාව වාහන ආනයනය යළි ආරම්භ කිරීම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කරනු ඇති බවයි. වාහන ආනයනකරුවන්ගේ සංගමය සහ අමාත්‍යවරයා අතර මුදල් අමාත්‍යාංශයේ දී පැවැති මේ සාකච්ඡාවේ දී සියලු වාහන ආනයනය කිරීම එක්වරම ආරම්භ නොකර කාණ්ඩ කිහිපයක් යටතේ සිදු කිරීම වඩාත් ප්‍රායෝගික බව වාහන ආනයනකරුවන් විසින් ද කියා ඇත. පොදු ප්‍රවාහනය සඳහා අවශ්‍ය වාහන, පාවිච්චි කළ වාහන, පෞද්ගලික වාහන ආදී වශයෙන් කොටසින් කොටස වාහන ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම වඩාත් ප්‍රායෝගික බවට එහිදී සාකච්ඡා වී ඇත. බදු ගෙවීම පිළිබඳ මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ ද මෙහි දී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී තිබේ. අපත් සිතන්නේ මේ ගැන තීන්දු තීරණ ගන්නා විට ඒ ගැන වඩාත් හොඳ දැනුමක් ඇති වාහන ආනයන කර්මාන්තයේ සිටින අය සමගත් සාකච්ඡා කර තීන්දු තීරණ ගැනීමට රජය මෙසේ යොමුව සිටීම ද හොඳ දෙයක් බවයි.

ඉදිරියේදී වාහන ආනයනය කිරීමට අවසර ලබා දුනහොත් දැනට වෙළෙඳපොළේ පවතින වාහන මිල ශීඝ්‍රයෙන් පහළ වැටෙනු ඇති බව වාහන ආනයනකරුවන් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විට වාහන සඳහා මිල ගණන් නියම කරන්නේ වාහන ආනයනකරුවන් විසින් නොව වාහන හිමිකරුවන් විසින් බවයි. මේ ගැන අදහස් දක්වන වාහන ආනයනකරුවන් මෙසේ ද කියයි.

“මේ වන විට වාහන මිල ගණන් අසීමිතව ඉහළ ගොස් තිබෙනවා. මේක කෘත්‍රිමව හදපු වෙළෙඳපොළක්. එයට හේතුවක් වන්නේ වාහන සඳහා මිල ගණන් ප්‍රකාශ කරන්නේ වාහන තියන් ඉන්න කෙනා වීමයි. එතන වාහන ආනයනකරුවන්ට මිල නියම කිරීමට කිසිම හැකියාවක් නැහැ. හැබැයි සමාජ මාධ්‍ය ඔස්සේ වාහන මිල ගණන් වැඩි කියලා බනින්නේ ආනයනකරුවන්ට. වාහන ආනයනය කරලා තරගකාරීත්වයක් එක්ක විකිණුවත් මෙතරම් ඉහළ මිලකට වාහනයක් මිල වෙන්නේ නැහැ.”

මේ අනුව වාහන ගෙන්වීම සීමා කිරීම නිසා වූයේ රටේ තිබෙන වාහන ප්‍රමාණයම වාහන වෙළෙඳපොළ තුළ අලෙවි වීමයි. එහිදී වාහන සේල් හිමියන් ද වාහන ආනයනය කිරීමට ඉඩක් නැති නිසා පෞද්ගලික වාහන හිමියන් සතු වාහන විශාල වශයෙන් මිලට ගෙන යම් යම් අලුත්වැඩියාවන් කර අධික මිල ගණන්වලට විකිණීම ද සිදු කරමින් තිබිණි. එහෙත් වාහන ආනයනයට රජය ක්‍රමානුකූලව ඉඩ දීමේ දී මේ අධික වාහන මිල ගණන් අඩුවනු ඇති ද සිතිය හැකිය. එහෙත් එසේ වාහන ආනයනයට ඉඩ දීමේ දී රජය අය කරන බද්ද ද එහිදී බලපානු ලබයි. රජය බදු ආදායමක් උපයා ගැනීම සඳහා පවතින වාහන ආනයන බදු තවත් වැඩි කිරීමට තීරණය කළහොත් එහිදී වාහන මිල ගණන්වලට එය ද බලපානු ඇති බව ද කිව යුතුය.

එසේම ඉන්ධන වියදම් සලකා ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වීමට ඉඩ ලබා දුන්නත් වාහන ආනයනකරුවන් කියන්නේ එය විශාල ලෙස විදෙස් විනිමය වැය වන කරුණක් බවයි. ඉලෙක්ට්‍රික් වාහන මිල අධිකය. මේ වන විට ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වන්න විදේශ රටවල සේවය කරන ශ්‍රමිකයින්ට ඉඩ දී තිබේ. එහෙත් එසේ ගෙන්වන පොඩි ඉලෙක්ට්‍රික් වාහනයක මිලත් රුපියල් කෝටි දෙකක් පමණ වන බවත් එවැනි මිලකට ලංකාවේ පුද්ගලයෙක්ට වාහනයක් මිලදී ගැනීම අපහසු බවත් වාහන ආනයනකරුවන් පෙන්වා දෙයි. මේ නිසා එහිදී සිදුවනු ඇත්තේ ද ධනවතුන්ට පමණක් වාහන මිලදී ගැනීමට අවකාශය සැලසීමකි. ඒ නිසා අප සිතන්නේ මේවා ගැන රජය වඩාත් හොඳින් අධ්‍යයනය කර ක්‍රමයෙන් වාහන ආනයන සීමා ලිහිල් කිරීමේ වඩාත්ම ප්‍රශස්ත තීන්දු තීරණ ගත යුතු බවයි. කෙසේ හෝ රජය විසින් වාහන බදු වැඩි කළත් නැතත් වාහන ආනයනයට ඉඩ දීමෙන් රජයට විශාල බදු ආදායමක් ද උපයාගත හැකිය. එහෙත් තවමත් රට විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ එමින් සිටින නිසා එහිදී විදේශ විනිමය කළමනාකරණයට පීඩාවක් ඇති නොවෙන පරිදි මේ තීරණ ගත යුතුව ද තිබේ. මේ මාසයෙන් (ජුනි) පසුව අත්හිටුවා ඇති විදේශ ණය වගකීම් අලුතින් ගෙවීම ආරම්භ කිරීමට රජයට සිදුවනු ඇත. කෙසේ හෝ අපේ ආර්ථික කටයුතු ද ක්‍රමයෙන් වර්ධනය කරගත යුතු වන නිසා සංචාරක ඇතුළු වාණිජ හා ආර්ථික කටයුතුවලට අවශ්‍ය වාහනවලට මුලින් ප්‍රමුඛත්වය දෙමින් මේ වාහන ආනයන සීමා ක්‍රමයෙන් ලිහිල් කරනු ඇති බව අපට සිතිය හැකිය. එහෙත් පෞද්ගලික වාහන ආනයනයට ඉඩ ලැබෙනු ඇත්තේ මේ අනුපිළිවෙළ අනුව අවසානයටය. එය කවදා සිදුවේ ද යන්න ගැන අපට තවමත් කිසිවක් කිව නොහැකිය. ඒ ගැන අප දන්නා තරමින් රජය තවමත් කිසිම තීරණයක් ද ගෙන නැත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@gmail.com

advertistmentadvertistment
advertistmentadvertistment