වාහන පදින සියයට අනූවකට ඇස් ආබාධ…

296

කළු සුදු අංක පුවරුව ගැනත් ප්‍රශ්නයක්!

ශ්‍රී ලංකාවේ දිනකට සිදුවන රිය අනතුරු ප්‍රමාණය අනුව සෑම තත්ත්පර 10 කට වරක් රිය අනතුරක් සිදුවන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රිය අනතුරු සම්බන්ධ සංඛ්‍යාලේඛන අනුව අනාවරණය වේ. එසේම දිනකට සිදුවන මෙම අනතුරු අතරින් දහයක් මාරාන්තික අනතුරු ලෙස වාර්තා වේ.

ඒ අනුව දිනකට අප රටේ රිය අනතුරු නිසා පුද්ගලයන් දසදෙනෙක් මියයති. එසේම කිසියම් හෝ තැනක යතුරුපැදියක සිට බර වාහනයක් දක්වා කුමන හෝ වාහන අනතුරක් තත්ත්පර දහයක් තුළ සිදුවේ.

මෙවැනි අනතුරු වලට බලපා ඇති හේතු අතර ප්‍රධානතම හේතුව වී ඇත්තේ රිය පදවන පුද්ගලයාගේ නොසැලකිලිමත්කමයි. එම නොසැලකිලිමත්කම යනු අධික වේගයෙන් වාහන පැදවීම, මාර්ග සංඥා වලට අවනත නොවී රිය පැදවීම, බීමත්ව රිය පැදවීම පමණක් නොව පෙනීමේ දුර්වලතාවයද ඉතා බරපතළ හේතුවක් බවට පත්ව ඇතැයි හෙළිවී ඇත.

එසේ පැවැසීම හේතු සාධක වී ඇත්තේ වර්තමානයේ රියැදුරු බලපත් සහිත පුද්ගලයන්ගේ පෙනීම සම්බන්ධව සිදුකර ඇති විශේෂ පරීක්‍ෂණ අනුවය රියැදුරන්ගෙන් සියයට අනූවකටම කුමන හෝ පෙනීමේ දුර්වලතාවයක් පවතින බව ඉන් හෙළිවී තිබීමය. මේ අතර ඇතැම් රියැදුරන්ගේ ඇස්වල පවතින දුර්වලතා අනුව ඔවුනට ආරක්‍ෂාකාරීව රිය පැදවීමට තරම් ප්‍රමාණවත් පෙනීමේ හැකියාවක් නැති බව ද හෙළිවී ඇත. නමුත් ඔවුහු එම දුර්වලතාවය සහිතව තවමත් රිය පදවති. එනිසා අප රටේ දිනකට සිදුවන රිය අනතුරු ගණන අවම කිරීමට නම් රියැදුරන්ගේ ඇස්වල පෙනීමේ මට්ටම දියුණු කළ යුතුව තිබේ.

රියැදුරු බලපත්‍රයක් ලබාගැනීමේදී සහ එය නැවත අලුත්කර ගැනීමේදී ඇස්වල පෙනීමේ පරීක්‍ෂාවක් සිදුකරනු ලබයි. එය ප්‍රමාණවත් නැතිද?

අප රටේ රියැදුරු බලපත්‍රයක් ලබාගැනීමේදී ඒ සඳහා ඇති පෙනීමේ සුදුසුකම පරීක්‍ෂා කර බලන්නේ කළු සුදු අංක පුවරුවක ඇති අංක පෙනීම අනුවය. එහිදී සැහැල්ලු වාහන රියැදුරු බලපත්‍රය ගැනීම සඳහා එම අංක පුවරුවේ පහළ ඇති කුඩා ප්‍රමාණයේ අංක පෙනීමද අවශ්‍ය නොවේ. එනිසා එහි ඇති විශාල ප්‍රමාණයේ අංක කියවීමට හැකිනම් සැහැල්ලු වාහන රියැදුරු බලපත්‍රයක් ලබාගැනීම සඳහා පෙනීමේ හැකියාව ඇති බවට තහවුරු කරයි.

නමුත් මෙම පරීක්‍ෂාව මගින් තහවුරු කරගන්නේ අපට කෙළින්ම ඇති දෙයක් සම්බන්ධව පෙනීමේ හැකියාව ගැන පමණි. ඇසේ පැති පෙනීමේ හැකියාව ගැන පරීක්‍ෂාවක් ඉන් සිදු නොවේ. සාමාන්‍ය නීරෝගී පෙනීමක් ඇති ඇස් දෙකකින් යුතු පුද්ගලයකුට තමාගේ බෙල්ල හරවන්නේ නැතිව අංශක 190 ක් දක්වා වූ කෝණයක පෙනීමේ හැකියාව පවතී. ඒ අනුව එම පුද්ගලයාට තමාගේ දෙපස ඇති දේවල්ද හඳුනාගත හැකිය. මෙය රිය පැදවීමේදී ඉතා වැදගත්ය. නමුත් ඇසේ ස්නායු දුර්වලතාවයක්, ග්ලුකෝමා රෝග තත්ත්වය (ඇසේ පීඩනය) ආදී හේතුවක් නිසා මෙම පරතර පෙනීම අඩුවේ. එය මෙම කළු සුදු අංක පුවරු පරීක්‍ෂාව මගින් හඳුනා ගත නොහැකිය. සාමාන්‍යයෙන් තමාට ඉදිරියෙන් සිටින පුද්ගලයකුගේ මුහුණේ නහය කොටස පමණක් පෙනෙන පුද්ගලයකුට වුව මෙම අංක පුවරුවේ අවසාන අංක පේළිය වුව කියවිය හැකිය. එනම් අංශක 03 ක කෝණයකින් පමණක් පෙනෙන පුද්ගලයකුට වුව එම හැකියාව පවතී.

වාහන පදින සියයට අනූවකට ඇස් ආබාධ…

එසේම රිය පැදවීමේදී ඉතා වැදගත්ම පෙනීමේ හැකියාවක් වන්නේ වර්ණ හඳුනාගැනීමේ හැකියාවය. මෙහිදී අපට පෙනෙන ප්‍රධාන වර්ණ තුන වන රතු, කොළ සහ කහ යන වර්ණ තුන එකිනෙක වෙන්කර හඳුනාගැනීමේ හැකියාව ඇසට තිබිය යුතුය. මෙය මාර්ග සංඥාවලද ප්‍රධාන වර්ණ තුනය.

ඇතැම් පුද්ගලයන්ට තමාගේ ජානමය හේතුවක් නිසා ඇසේ ඇතිවූ ස්නායු දුර්වලතාවයක් නිසා ග්ලුකෝමා තත්ත්වය නිසා මොළයේ හටගත් ගැටිත්තක් නිසා ඇසේ රුධිරය ගැලීමක් නිසා වැනි කිසියම් හෝ ඇසට බලපා ඇති රෝග තත්ත්වයක් නිසා මෙම වර්ණ හඳුනාගැනීමේ දුර්වලතාවය ඇතිවේ. මෙය ඉතාමත් බරපතළ තත්ත්වයකි. රතුපාට නිසි ලෙස හඳුනාගැනීමට නොහැකි වුවහොත් එම පුද්ගලයා මාර්ග සංඥා පුවරුවේ රතුපාට වැටී ඇති විට වාහනය ධාවනය කරවිය හැකිය. මෙම වර්ණාන්ධතාවය හඳුනාගත හැක්කේ ඇස් පරීක්‍ෂාවේදී වර්ණ පුවරුව පරීක්‍ෂාව මගිනි.

මෙම දුර්වලතාවය ඇතිවීමට බලපාන ඇසේ රෝග තත්ත්වය සඳහා දියවැඩියා රෝගයද ප්‍රධාන සාධකයක් වී ඇත. දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ට ඉතා පහසුවෙන් ඇසේ ස්නායු දුර්වලතා මතුවීම, ග්ලුකෝමා රෝගය හටගැනීම සිදුවිය හැකිය.

මෙම අනතුරු වළක්වා ගැනීමට කළයුතු නිවැරදි ඇස් පරීක්‍ෂාව කුමක්ද?

වර්තමානයේ රිය අනතුරු අවම සිදුවන රටවල් ලෙස සලකන එංගලන්තය, ස්විට්සර්ලන්තය, කැනඩාව ආදී දියුණු රටවල ඒ සඳහා අනුගමනය කරන පියවර අතර ප්‍රධානම තැනදී ඇත්තේ ඇස් පරීක්‍ෂාව සඳහාය. එවැනි රටවල රියැදුරු බලපත්‍රයක් ලබාගැනීමේදී පූර්ණ ඇස් පරීක්‍ෂාවක් සිදුකරනු ලබයි. එනම් කළු සුදු අංක පුවරුව, පරතර පෙනීම, වර්ණාන්ධතාවය ආදිය පරීක්‍ෂාවට ලක්කරයි.

වාහනයක් ධාවනය කිරීමේ ඇසේ පරතර පෙනීම අංශක 120 කෝණයක් දක්වා පෙනීම හොඳින් සිදුවිය යුතුය. එවිට වාහනයේ ඇති පැති කණ්ණාඩි හොඳින් පෙනේ. එමගින් මාර්ගයේ දෙපසින් ගමන් කරනා වාහන හඳුනාගැනීම පහසුය.

මෙම පරතර පෙනීම හොඳින් පැවතීම වැදගත් වන්නේ වාහනයේ ධාවන වේගය වැඩිවන විට අපට ඇස් වලින් පෙනෙන පරතර පෙනීමද අඩුවන බැවිනි. එනිසා පරතර පෙනීම අඩු පුද්ගලයකු වාහනයක් ධාවනය කරන විට වාහනයේ වේගය අනුව මාර්ගයේ දෙපසින් ගමන් කරන වාහන වල පෙනීම ඉතා දුර්වල මට්ටමක පවතී. මේ නිසා වාහන අනතුරු සිදුවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව යම් පුද්ගලයකුගේ ඇසේ පරතර පෙනීමේ හැකියාව පවතින්නේ අංශක 10 ක කෝණයක අගයක නම් කළු සුදු අංක පුවරුවේ අවසාන පේළිය කියවීමේ හැකියාව පැවතියද එම පුද්ගලයාට වාහන ධාවනය සඳහා නීතිමය හැකියාවක් නොමැත. ඊට හේතුව ලෙස පවසන්නේ මෙවැනි මට්ටමක සිටින පුද්ගලයකුට වාහනයක් ධාවනය කිරීමට තරම් ප්‍රමාණවත් පෙනීමේ හැකියාවක් නොමැති බවය.

නමුත් අප රටේ මෙවැනි පෙනීමේ දුර්වලතා සහිත පුද්ගලයන්ද වාහන ධාවනය සිදුකරනවා පමණක් නොව ඔවුනට රියැදුරු බලපත්‍රයද ලබාදීමටද අනුමත කරනු ලබයි. එබැවින් අප රටේ රියැදුරන් බලපත්‍ර ලබාදෙන විට පූර්ණ ඇස් පරීක්‍ෂාවක් සිදු කිරීම ඉතා වැදගත්ය. වර්තමානයේ අප ගෙවන ජීවන රටාව අනුව ඉතා අඩු වයසින් අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග වලට ගොදුරුවීමේ අවදානමක් පවතී. එනිසා ඉන් ඇස්වල පෙනීමේ දුර්වලතා පැවැතිය හැකිය. එවිට එම දුර්වලතා හඳුනාගෙන කඩිනමින් ඒ සඳහා ප්‍රතිකාර වලට යොමුවී මතුව ඇති පෙනීමේ දුර්වලතා පාලනය කර ගැනීමට අවශ්‍ය පියවර ගත හැකිය.

එසේම ඇසේ සුද සහිත පුද්ගලයන් බොහෝ දෙනෙක් අප රටේ වාහන ධාවන සිදු කරති. ඔවුනට වාහනයක ප්‍රධාන ලාම්පුවක (Head light) ආලෝක ධාරාවක් ඇසට එක්වූ විට ඇසේ සුද නිසා එම ආලෝක ධාරාව ඇස තුළට ගමන් කිරීමේ බාධා ඇතිවේ. එවිට එවැනි අවස්ථාවක පෙනීමක් ඇති නොවේ. බොහෝවිට මෙම අවස්ථාවේදී එවැනි රියැදුරන් සිදුකරන්නේ වාහනය මාර්ගයේ අයිනකට ගැනීමට හෝ මාර්ගයෙන් ඉවතට ගැනීමට උත්සාහ කිරීමය. එය ක්‍ෂණිකව සිදුවන නිසා අනතුරු සිදුවීමේ අවස්ථාවද වැඩිය.

ඇසේ සුද ඇති පුද්ගලයන් පවසන්නේ තමා සාමාන්‍ය ආලෝකය ඇතිවිට හොඳින් වාහන ධාවනය කළ හැකි බවය. එනිසා වාහන ධාවනය සම්බන්ධයෙන් එතරම් ගැටලුවක් නැති බවය. නමුත් ඔවුන් සිදුකරන්නේ අනතුරුදායක රථවාහන ධාවනයකය. එනිසා ඇසේ සුද ඉවත් කර ගැනීමට යොමුවීමෙන් එම අවදානම නැත ිකරගත හැකිය.

එසේම පෙනීමේ දුර්වලතා සහිත පුද්ගලයන්ට රථ වාහන ධාවනය සීමා කිරීමක්ද කළ හැකිය. ඒ අනුව ඔවුනට නගර බද ප්‍රදේශයේ වාහන ධාවනයට අවසර නොදීම, තමාගේ පුද්ගලික වාහනයක් පදවන්නේ නම් එහි අංක තහඩුවට විශේෂ වර්ෂයක් යොදා එම පුද්ගලයා පෙනීමේ දුර්වලතා සහිත අයෙක් බව අන් රථ වාහන රියැදුරන්ට හඳුනාගැනීමට හැකියාව ඇති කිරීම ආදිය කළ හැකිය. අප රටේ වර්තමානයේදී ඇස් පරීක්‍ෂා කිරීමේ පහසුකම් සහ තාක්‍ෂණය ඉතා ඉහළ මට්ටමක පවතී. එනිසා එම පහසුකම් තුළින් නිසි ඇස් පරීක්‍ෂා කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අවධානය යොමුකිරීමට වගකිවයුතු බලධාරීන් කඩිනමින් පියවර ගැනීම කළ යුතුය. එය පමාවීම මගින් සිදුවන්නේ රිය අනතුරු නිසා දිනපතා සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යාම, සදාකාලික ආබාධ තත්ත්වයට පත්වන පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ යාමය.

මෙම අනතුරු වළක්වා ගත හැකි අනතුරු ලෙස හඳුනාගෙන ඇත. නමුත් අපි ඒවා රිය අනතුරු ලෙස පවසමින් ඒවා වැළැක්විය නොහැකි ගොන්නට එක් කිරීමට හුරුව සිටිමු. මියගියේ රිය අනතුරක් නිසා යැයිද අනතුරට ලක්වූවේ රිය අනතුරකට ලක්වීමෙන් යැයිද පවසා ඒ සඳහා වන්දියක් ලබාගැනීම හෝ රක්‍ෂණ ආවරණයක් මගින් අනතුරින් සිදුවූ හානිය තක්සේරු කරගැනීම මගින් සිදුවන්නේ වටිනා ජීවිත රැසක් අනතුරු වලින් බේරාගැනීමට ඇති හැකියාව මගහැර දැමීමය.

එනිසා රියැදුරු බලපත්‍රයක් ලබාදීමේදී ඇසේ පෙනීමේ හැකියාව සම්බන්ධව පරීක්‍ෂා කිරීමට දැනට වඩා ප්‍රමුඛත්වය ලබාදිය යුතුය. මෙය දියුණු රටවල අනුගමනය කිරීම නිසා ඔවුන් රථ වාහන අනතුරු අවම කරගෙන ඇත.

අයිකෙයාර් දෘෂ්ටි විශේෂඥ විශ්වවිද්‍යාලයේ
අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ දෘෂ්ටි විශේෂඥ
නරේෂ් ප්‍රදාන්

සාකච්ඡා කළේ – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment