වාහන හිමිකම ඔබ සතුද? එසේ නම් ඒවා වාස්තු විද්‍යාත්මකව ගාල්කරන්නේ කෙසේද?

382

අතීතයේ රථ වාහන හිමිකම ධනවත් පන්තියට සීමාවුවද වර්තමානයේ වාහන හිමිකම සෑම පන්තියකම ජනතාව අතර සුලබ වී හමාරය. මිල අධික සුඛෝපබෝගී වාහනයේ සිට සාමාන්‍ය යතුරු පැදිය දක්වා විවිධ වර්ගයේ වාහන නිවසේ ඉදිරිපිට හෝ ගෙවත්තේ නවතා තිබෙනු සුලබව දැකිය හැක. සාමාන්‍යයෙන් යම් වාහනයක් නවත්වන ස්ථානය හෙවත් ගාල්කරන ස්ථානය වාස්තු විද්‍යානුකූලව දෝෂ ගෙන නොදෙන තැනක් විය යුතුය. එවැනි ස්ථානයක වාහනය ගාල් කිරීම තුළින් වාහනය කුමක් වුවද ඉතාම ඵලදායී ලෙස සුරක්ෂිතව දෝෂද අවම වන ලෙස දිගු කලක් වාහනය කරදරයකින් හැරිහැරයකින් තොරව භාවිත කළ හැක.

සාමාන්‍යයෙන් වාහනයක් ගාල්කල හැක්කේ, එසේත් නැත්නම් රථගාල නිර්මාණය කරගත යුත්තේ තමා පදිංචි ඉඩමේ පාද බෙදූ කල මනුෂ්‍ය පාදයට අයත් වන කොටසේය. රථගාල සඳහා, එසේත් නැත්නම් ගරාජය සඳහා ඉඩමේ ප්‍රේත පාදය කිසිසේත් යෝග්‍ය නොවේ. ඊට හේතුව ප්‍රේත පාදයේ වාහනය ගාල් කිරීම තුළින් නිතර හදිසි අනතුරු, වාහනයේ කාර්මික දෝෂ වැනිදේ ඇතිවීම නිසා අනවශ්‍ය කරදරත් ධනහානිත් ගෙන දීමය. එසේම ඇතැම් විට වාහනය භාවිතා කිරීමට සිත් නොදේ. ගෙමිදුලේ එසේත් නැත්නම් ගෙවත්තේ වාහන ගාල් කිරීමට සුදුසුම දිශා වන්නේ ප්‍රධාන දිශා සතර අතුරින් උතුරු, දකුණු හා නැගෙනහිර දිශාවයි. මෙකී දිශා නිවැරදිව තෝරාගැනීම මාලිමාවක් හෙවත් සංඥාවක් ආධාරයෙන් සිදුකර ගත යුතුය. මෙකී දිශාවක වුවද වාහනය ගාල් කළ යුත්තේ වාහනයේ ඉදිරි මුහුණත නැගෙනහිර දිශා ගතවන ලෙසය. එනම් රථගාල ඉදිකර ගත යුත්තේ එහි දොර නැගෙනහිර දිශාගතවන සේ සිටින ලෙසය. යම් ලෙසකින් එම දිශාව යොදාගත නොහැකි නම් උතුරු දිශාව මේ සඳහා ඊළඟට සුදුසුම දිශාව වේ. එනමුත් රථගාලේ මුහුණතත්, රථයේ මුහුණතත් එක එල්ලේම ඉඩමේ ගේට්ටුව කෙළින් නොවිය යුතුය. මේ නිසා වාහනයට හදිසි අනතුරු ඇතිවීමත් ඇස්වහ කටවහ වැදීමත් සිදුවීම අවම වේ. ගරාජයේ වහලය නිර්මාණයේදී එය තනි පලයේ වීම ඉතාම සුදුසුය. මුදුන් යටලීයක් ඇති බැවින් පල දෙකේ වහල ගරාජ සඳහා සුදුසු නොවේ. එය රියදුරුට තදබල අපල ගෙනදෙන බැවිනි. එසේම නිවසට යා කර ගරාජය සාදන්නේ නම් නිවසේ වහලයෙන් එන වැසි ජලය ගරාජයේ වහල මතට නොවැටීමටද වගබලා ගත යුතුය. එනම් වහලයෙන් එන වැසි ජලය පීලි සවිකර ක්‍රමවත්ව ගලායෑමට සැලසිය යුතුය. තවද රථගාලත්, එසේත් නැත්නම් වාහනය නවතන ස්ථානයත් ඉඩමේ ගිනි කතිරයට හෙවත් වතු කතිරයට අසුනොවිය යුතුය. එහි සඳහන්වූ ගිනි කතිරය යනු ඉඩමක චුම්බක උතුර දක්වන රේඛාවත් සූර්යාගේ පිහිටීම පදනම් කරගෙන ලබාගන්නා වූ උතුරු දිශාව දක්වන රේඛාවත් එකිනෙක කැපී යෑමේදී එම රේඛා දෙක අතරට අසුවන කොටසයි.

තවද රථය දමන ගරාජයේ දිග හා පළල ඔත්තේ විය යුතු අතර වර්ගඵලයද ඔත්තේම විය යුතුය. ගරාජයේ දොර තනි පියනක් වීම වඩාත් සුදුසුය. එසේම එය වැසිය හැකි එකක් විය යුතුය. විශේෂයෙන් ගරාජය තුළ උදලු, පොරෝ වැනි ආයුධ ගබඩා කිරීමත් වෙනත් අනවශ්‍ය ද්‍රව්‍ය තැන්පත් කිරීමත් අශුභය. එසේම ගරාජය තුළ රෙදි වැල් බැඳීමත්, රෙදි වැල් යටින් රථය ඉවතට

ගැනීමත් ඉතාම අශුභය. මෙහිදී තෙත රෙදි සහිත වැලක් වීම අශුභත්වය උපරිම කරයි. නමුත් රෙදි රහිත වැලක් යටින් වුවද රිංගා යෑම අශුභය. ගරාජයේ වහල සඳහා කොන්ක්‍රීට් ස්ලැබ් එකක් භාවිතයේද වරදක් නැත. මෙහිදී කොන්ක්‍රීට් ස්ලැබ් එකේ බර දරාගත හැකි පරිදි අවශ්‍ය ලෙස සමාන දුරින් කොන්ක්‍රීට් කණු ඉදිකරගත යුතුය.

යම් ජන්මියකුට තමාගේම කියා කවර හෝ වාහනයක් හිමිවීමට නම් ජන්ම පත්‍රයේ ඒ සඳහා සුදුසු ග්‍රහ පිහිටීම් විය යුතුය. එහිදී විශේෂයෙන් ජන්ම පත්‍රයේ සිකුරු බලවත් විය යුතු අතර, විශේෂයෙන් ගේ දොර, ඉඩකඩම්, යාන වාහන පෙන්වන හතරවැන්න බලවත් විය යුතුය. ජොතිෂයට අනුව වාහන හිමිවන වාහන යෝග රැසක් ජන්ම පත්‍රය තුළින් හඳුනාගත හැක. ඉන් සමහරක් මෙසේය.

4 වැන්නාධිපති 4, 9 හෝ 11 සිටීම.

11 අධිපති 4 වැන්නේ වීම.

4 වැන්නාධිපති ගුරු හා යෝගව ලග්නගත වීම.

4 වැන්නාධිපති සිකුරු හා යෝගව ලග්න ගතවීම.

සඳුගෙන් 7 වැන්නේ සිකුරු බලවත්වීම.

4 හා 11 අධිපතීන් පරිවර්තනය වීම.

4 අධිපති 11 වී ගුරුගේ දෘෂ්ටියට ලක්වීම.

ලග්නාධිපති 4, 9, 11 හි සිටීම.

සිව්වැන්නාධිපති ශුභ භාවයක බලවත්ව 11 අධිපතිගේ දෘෂ්ටියට ලක්වීම.

4, 9 හා 11 අධිපතීන් 1, 4, 7, 9, 10, 11 ස්ථාන වල බලවත්ව පිහිටා සිකුරු ග්‍රහයාද එම ස්ථානයක වීම.

සිව්වැන්නාධිපතියා උච්චව සිටි රාශියේ අධිපති කේන්ද්‍ර ස්ථානයක හෝ ත්‍රිකෝණස්ථානයක තැන්පත්වීම.

සිව්වැන්නාධිපති බලවත්ව 9 හෝ 11 අධිපති 1, 4, 7, 10, 5, 9, 11 යන භාවයක සිට හෙළන දෘෂ්ටියට හසුවීම.

සිකුරු සිව්වැන්නේ වීම.

4 වැන්නාධිපති ගුරුගේ දෘෂ්ටියට ලක්වීම.

ගුරු, සිකුරු හා 4 වැන්නාධිපති යන තිදෙනා කේන්ද්‍ර ත්‍රිකෝණ හෝ 11 වැන්නේ සිටීම.

ගුරු, සිකුරු හා 9 අධිපති 9, 4 හෝ 11 සිටීම.

4 හා 11 අධිපතීන්ගෙන් යෙදෙන යෝගයක් 4, 9, 11, 1, 10, 2 භාවයක වීම.

සිව්වැන්නාධිපති හා 10 වැන්නාධිපති ලග්නාධිපතිගේ දෘෂ්ටියට ලක්වීම.

10 වැන්නේ ග්‍රහයෙක් උච්ච හෝ ස්වක්ක්‍ෂේත්‍ර වී 9 වැන්නාධිපති හා ලග්නාධිපතිගේ දෘෂ්ටියට ලක්වීම.

12 අධිපති උච්චව දෙවැන්නාධිපති සමග සිට 9 අධිපතිගේ දෘෂ්ටියට ලක්වීම.

9, 10 හා 11 අධිපතීන් 4 වැන්නේ යෝගවීම හෝ ඉන් දෙදෙනකු යෝගව අනෙකාට පෙනීම.

තවද ලග්නාධිපති රවි, ශනි, කුජ වැනි ග්‍රහයෙක් වූයේ නම් සිකුරුද බලවත් කල බර වාහන මෙන්ම සැප විශාල වාහන වලට හිමිකම් කියයි. එහෙත් සිකුරු ශුභ භාවයක බලවත්ව නොසිටින කල බොහෝ විට වාහන හිමි නොවේ. යම් ලෙසකින් හිමිවුවද පල නොදේ. සිකුරු සමග 8 වැන්නේ නම් වාහන අනතුරට පත්වී ධනය හානි වේ. සිකුරු කුජ සමග 8 වැන්නේ නම් හදිසි අනතුරු ගෙනදේ. සිකුරු කේතු සමග 10 වැන්නේ වනකල බොහෝ විට පරණ වාහනයක හිමිකරුවෙකි.

ඔබත් පෙර කළ පිනේ ලද වාහන ඉතාමත් ඵලදායී අන්දමින් පවත්වා ගැනීමටත්, කාර්මික දෝෂ, හදිසි අනතුරු, කරදර හිරිහැර ආදිය අවමකර ගැනීමටත් වාස්තු විද්‍යානුකූලව නිවැරදිව දැනුවත්ව රථගාල ඉදිකර ගැනීමත්, ගෙමිදුලේ හෝ ගෙවත්තේ නැවැත්වීමත් සිදුකරන්න.

වාහන හිමිකම ඔබ සතුද? එසේ නම් ඒවා වාස්තු විද්‍යාත්මකව ගාල්කරන්නේ කෙසේද?

ජ්‍යොතිෂවේදී, දේශබන්දු, ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද,
පානදුර.
දු. අංකය 071-9282653

advertistmentadvertistment
advertistmentadvertistment