වාහන 7ට රියැදුරන් 32ක්: උතුරන්න සේවකයන් සිටියදී – තෙල් තොග පර්යන්තයය අලුතින් 7 ක් ගන්න යයි

890

තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ වාහන හතකට රියැදුරන් තිස් දෙදෙනෙකු සිටියදී අලූතින් රියැදුරන් හතර දෙනකු අරක්කැමියෙක් (කුක්) සහ කුක් සහායකයන් තිදෙනෙකු ඇතුළු හත් දෙනෙකු ගැනීමට ඊයේ (28 වැනිදා) අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙත පත‍්‍රිකාවක් ඉදිරිපත්ව තිබේ.

තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති තනතුරට යළි පත්කළ විශ‍්‍රාමික මේජර් ජෙනරාල් එම්. ආර්. ඩබ්ලිව් ද සොයිසා මහතාගේ සුව පහසුව තකා මෙම පිරිස බඳවා ගන්නා බවද එම ආයතනයේ ප‍්‍රධානියෙක් ‘‘දිවයින’’ට පැවසීය.

තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (සී.පී.එස්.ටී.එල්* උසස් නිලධාරීන්ගේ වාහන හතට රියැදුරන් තිස්දෙදෙනෙකු සිටියදී අලූතින් තවත් හතර දෙනකු බඳවා ගැනීම බරපතළ ප‍්‍රශ්නයක් යැයිද හෙතෙම කීය.

මෙහි රියැදුරකුගේ මූලික වැටුප රුපියල් 95,000 ක් පමණ වන අතර මසකට රුපියල් ලක්‍ෂ දෙකක පමණ මුදලක් වැටුපට අමතරව අතිකාල ලෙස උපයන බවද ඒ මහතා සඳහන් කළේය.

මෙපමණ කාලයක් ‘‘කුක්’’ ප‍්‍රධාන සූපවේදී තනතුරක් නොතිබූ බවත් ප‍්‍රධාන කුක්ට අමතරව තවත් සහායකයන් තිදෙනෙකු මෙලෙස බඳවා ගැනීමට යන බවත් හෙතෙම කීය.

කොළොන්නාව සීපීඑස්ටීඑල් ආයතනය සතු බවුසර් රථ 45 ක් ධාවනය කිරීම සඳහා රියදුරන් 160 දෙනකු සිටින අතර මෙම පිරිස සිටියදී නව බඳවා ගැනීම් කරන්නේ අමුකාලාදැයි සේවකයෝ ප‍්‍රශ්න කරන බවද එම නිලධාරියා පැවසීය.

ඉන්ධනහල්වලට තෙල් බෙදාහැරීම සියයට අසූවක්ම පෞද්ගලික බවුසර් හා රියැදුරන් විසින් සිදු කරන අතර මෙම ආයතනයේ සිටින රියැදුරන්ගේ වැටුප් හා අතිකාල සඳහා මසකට රුපියල් පන්කෝටි හැත්තෑ ලක්‍ෂයක් පමණ වැයවන බවද හෙතෙම කියා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment