වැටලීම් කළ නිලධාරියා රට: පොලිස් නිලධාරියා සාක්‍ෂි දීමට අදිමදි කරයි – කුඩු නඩුවේ විත්තිකරු නිදොස් කොට නිදහස්

237

වැටලීම භාරව සිටි පොලිස් පරීක්‍ෂකවරයා පොලිසියටත් නොදන්වා විදේශගතවී තිබීම හා යාබද මහාධිකරණයේ සිටි අනෙක් සාක්‍ෂිකාර පොලිස් සැරයන්වරයා අධිකරණයට පැමිණ සාක්‍ෂි දීමට මැලිකමක් දැක්වීම නිසා හෙරොයින් ග්‍රෑම් 5.654ක ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනා යටතේ පවරා තිබූ නඩුවක විත්තිකරුවකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (08 දා) නියෝග කළේය.

එම නඩුව ඊයේ (08 දා) කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ විශ්ව විජේසූරිය මහතා කරුණු දක්වමින් පැමිණිල්ලේ හතරවන සාක්‍ෂිකරු ලෙස නම් කොට ඇති බණ්ඩාර නමැති පොලිස් සැරයන්වරයා යාබද මහාධිකරණ ශාලාවේ සිටින බැවින් සාක්‍ෂි විභාගය ආරම්භ කිරීමට සූදානම් බව අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව ඉන් පැයකට පමණ පසු නඩු විභාගය සඳහා නඩුව කැඳවා යාබද මහාධිකරණයේ සිටි සාක්‍ෂිකාර පොලිස් සැරයන්වරයා අධිකරණ ශාලාව තුළට පැමිණෙන ලෙස දැනුම් දුන් නමුත් ඔහු අධිකරණයට පැමිණ සාක්‍ෂි දීමට මැලිකමක් දක්වන අයුරු නිරීක්‍ෂණය කළ විනිසුරුවරයා එම නියෝගය කළේය. කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවය කළ පොලිස් පරීක්‍ෂක සමරතුංග මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් 2018.9.24 වැනිදා වනාතමුල්ල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී සංකරලිංගම් විජිත ප්‍රියශාන්ත නමැති විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර නීතිඥ අසිත විපුලනායක මහතා විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment