වැටලීම අතරතුර දී දැව හොරු ‘වනජීවියේ’ ගිනිඅවිය පැහැරගෙන -“තුවක්කුව දෙන්න නම් අල්ල ගත්ත ඒවා දීපල්ලා…”

472

තබ්බෝව අභය භූමියට ආසන්නව පිහිටි විරක්කොඩිචෝල රක්ෂිතයේ ජංගම ලී ඉරන යන්ත්‍ර භාවිතා කර ලී ඉරන බවට ලද තොරතුරකට අනුව වන සංරක්ෂණ නිලධාරීන් වැටලීමකට ගිය අවස්ථාවේ දැව ජාවාරම්කරුවන් විසින් එම නිලධාරීන්ගේ ගිනිඅවි පැහැර ගෙන රාජකාරිවලට බාධා කිරීම සම්බන්ධව එම නිලධාරීන් කරුවලගස්වැව පොලිසියට පැමිණිලි කර තිබේ.

20 වැනිදා සවස මෙම සිද්ධිය වී ඇත.

පුත්තලම දිසා වන කාර්යාලයට අනුයුක්තව සේවය කරන 06 වැනි බීට්ටු වන කාර්යාලයේ නිලධාරින් තිදෙනකු මෙසේ කැලෑ ජාවාරම්කරුවන්ගේ තර්ජනයට ලක්ව ඇත.

වැටලීමට ගිය වන සංරක්ෂණ නිලධාරින් විසින් රක්ෂිතයේ කරුවල දැව කපා රැගෙන යමින් සිටි දැව ජාවාරම්කරුවන් සතු ජංගම ලී ඉරීමේ යන්ත්‍රයක් හා තවත් උපකරණ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

එම අවස්ථාවේ දැව ජාවාරම්කරුවකු එකවර කඩා වැදී එක් වන සංරක්ෂණ නිලධාරියකු අත තිබූ ගිනිඅවිය උදුරා ගෙන ඇති බව සඳහන්ය.

එහිදී එම ගිනිඅවිය උදුරා ගත් ලී ජාවාරම්කරුවකු විසින් ගිනි අවිය ආපසු දීමට නම් වන සංරක්ෂණ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් ඉරීමේ යන්ත්‍රය හා උපකරණ ආපසු ලබා දෙන ලෙස තර්ජනය කර තිබේ.

මෙම සිද්ධිය වාර්තා වීමත් සමග අදාළ ස්ථානයට කඩිනමින් කරුවගස්වැව අඩවි වනජීවි කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පැමිණ ඇති අතර වනජීවි නිලධාරින් දැක දැව ජාවාරම්කරුවන් පලා ගොස් තිබේ.

මේ වන විට සිදුකළ විමර්ශන අනුව දැව ජාවාරම්කරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කඩිනමින් කටයුතු කරන බවත් වනජීවි නිලධාරීහු පැවසූහ.
අමරනන්ද විජේසේකර- මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment