වැටුණු රට ගොඩගන්න රනිල්ටම දෙන්න වුණා – මිහින්තලා රජමහා විහාරාධිපති හිමියෝ

175

සමහරු එදා බෑ කිව්වා තවත් අය චරිත ඝාතනය කළා…

තුන්කල් දක්නා නුවණින් වැඩකරන නායකයෙකු ලෙස මේ රටේ වගකීම භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියත වශයෙන්ම රට ගොඩනඟනු ඇති බව මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ පවසති.

‘දෙයක් වේ නම් සුදුස්සාටම එය ලැබිය යුතුය’ යන වදන සනාථ කරමින් වික්‍රමසිංහ මහතා අද මේ රටේ භාරකාරත්වයට පත්ව, වෙස් වළාත් ආශීර්වාදයක් සේ රට ගොඩනැගීමේ වගකීමට උර දී සිටින බව උන්වහන්සේ සඳහන් කළහ.

ඊයේ (21දා) පෙරවරුවේ මිහින්තලා පුද බිම වෙත ගිය ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වළහාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසූ අවස්ථාවේ කෙටි අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයාට ආශීර්වාද පළ කළ අතර ‘මිහින්තලා සංදේශය’ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්විණ.

මෙහිදී අනුශාසනා කළ ආචාර්ය පූජ්‍ය වළවාහැංඟුණවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ,

‘දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතුය’ කියලා තිබෙනවා හුණුවටයේ කතාවේ. එදා බොහෝ මාධ්‍ය, දේශපාලනඥයන් ඔබතුමාගේ චරිතය ඝාතනය කළා. දකුණට ගිහිල්ලා කියනවා ත්‍රස්තවාදියා කියලා. එහෙම කිව්වේ රට පාලනය කරපු පාලකයෝ. ඒ වගේම විද්යුත් සහ මුද්‍රිත මාධ්‍ය ගණනාවකුත් තිබුණා. ‘රනිල්ට බෑ’ කියලා කියපු ඒ මතවාදය ‘රනිල්ට ජනාධිපති පදවිය ලබාදිය යුතුයි’ කියලා කියමින්ම එදා අපේ මංගල සමරවීර මහත්තයා නිවැරදි කර ගත්තා. අනිත් කෙනා ශ්‍රීපති සූරියආරච්චි මහත්තයා. ඒ වගේ තවත් බොහෝ අය ඉන්නවා. අවසානයේ අපි දන්නවා යුද්ධ දෙක තුනක් තිබුණා. 1989 එල්ටීටීඊය එක පැත්තකින්, ජනතා විමුක්ති පෙරමුණ තව පැත්තකින්. ට්‍රාන්ස්ෆෝමර්, කර්මාන්ත ශාලා සියල්ල ගිනි තියනවා. අනිත් පැත්තෙන් බෝම්බ පුපුරනවා. හැබැයි ඒ කාලවකවානුවෙත් මෙච්චර පීඩනයකට, මෙච්චර අසීරු තත්ත්වයකට රට වැටිලා තිබ්බේ නැහැ. අද එක පැත්තකින් කොරෝනා වසංගතය, අනිත් පැත්තෙන් දේශපාලන අස්ථාවරත්වය, වර්ගවාදය, ඒ වගේම ආගම්වාය, ජාතිවාදය මේ සියල්ල තිබෙනවා. අපි දන්නවා රටක් තිබුණට රටේ නීතියක් නැති වුණා අවසානයේ. පොලිසියේ වාහන පරීක්‍ෂා කරන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කළ අය. නීතිය අතට ගත්තා. පොලිසියට ගහන්න ගත්තා. අවි ආයුධ සොරා ගත්තා. විවිධ දේවල් කළා.

අවසානයේදී වෙස් වළාගත් ආශීර්වාදයක් වගේ ඔබතුමා මේ රටට හොඳක් කරන්න ඉදිරියට ආවා. ඔබතුමාගේ නිවස පවා රාජකීය විද්‍යාලයට ලියලා තිබෙනවා. ලෝකෙවත්, ලංකාවේවත් වෙන බිම් අඟලක් ඔබතුමාට නෑ. ඒ තිබුණ ඒවත් විශ්වවිද්‍යාලවලට, ඒ ආයතනවලට පූජා කරලා තිබෙන්නේ. එහෙම පරාර්ථකාමී චරිතයක් තමයි අපේ රනිල් වික්‍රමසිංහ මහතා. එතුමා කියන දේවල් මිනිස්සු හෑල්ලුවට ගත්තා පසුගිය කාලවල. විහිළුවට ලක් කළා. නමුත් අවසානයේ මේ බැරෑරුම් අවස්ථාවේ කෝච්චියට බෙල්ල තිබ්බා වගේ වැඩක් එතුමාට කරන්න වුණේ. අගමැතිකම ගත්තා, ජනාධිපතිකම භාර ගත්තා. අනිත් සියලු දෙනාටත් ජනාධිපති ධුරය භාරගන්න එන්න කිව්වා. නමුත් කවුරුත් භාර ගත්තේ නැහැ. මොනව කිව්වත් අවසානයේ රජකම ලැබෙන්නත් පින තියෙන්න ඕන. මේ ලංකාවේ භාරකාරත්වය දරන්න, මේ උතුම් පූජනීය වස්තු දරන්න, විවිධ ආගම්, විවිධ ජාතීන් මේ සියල්ලේ භාරකාරත්වය දරන්න ලැබීම වාසනාවක්. ඒ වගේම ඔබතුමා රාජ්‍ය නායකත්වයට පත්වෙන්න පෙර සිටම කුඩා අවධියේ සිට මේ මිහින්තලා ආලෝක පූජාවට සහභාගි වෙනවා. ඒ වගේම අගමැතිවරයෙක් විදියට අවස්ථා ගණනාවකදී මෙම ස්ථානයට පැමිණිලා ආලෝක පූජාවට සම්බන්ධ වූ කෙනෙක් තමයි ඔබතුමා. රජකම අරගෙනත් ඔබතුමා ඒක අමතක කළේ නැහැ. හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, ෂෙහාන් සේමසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, හිටපු අමාත්‍යවරුන් වන දයා ගමගේ, අනෝමා ගමගේ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment