වැටුප්, ජාතික ප‍්‍රතිපත්ති හා සංවෘත සේවා – පෙරඹර

284

ශ‍්‍රී ලංකාව මේ වන විට රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධව තීරණාත්මක අවස්ථාවකට අවතීර්ණ වී ඇත. එනම්, 2006/06 චක‍්‍රලේඛය මගින් ඇති කළ ජාතික වැටුප් ප‍්‍රතිපත්තිය යන සංකල්පය අවාසනාවන්ත ලෙස බිඳ දමමින් පවතී. මෙය ආරම්භ වන්නේ මෙම රජය මඟින් ගුරු සේවයේ වැටුප් ගැටලූව හා වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට විසඳුම වැටුප් කොමිෂන් සභාව හරහා ජාතික වැටුප් ප‍්‍රතිපත්තියට අනුකූලව ලබා දෙනවා වෙනුවට ජාතික වැටුප් ප‍්‍රතිපත්තිය බිඳ දමමින් ගුරු විදුහල්පති සේවය සංවෘත සේවාවක් බවට පත් කරමින් කරන ලද වැටුප් සංශෝධනය මඟින්ය. අද වන විට මෙම ජාතික වැටුප් ප‍්‍රතිපත්තිය බිඳිමින් ගුරු විදුහල්පති ගැටලූව විසඳිය යුතු බවට රජයට බල කළ සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති නායකයන් යැයි කියා ගන්නා දේශපාලන හෙන්චයියන් කිහිපදෙනකු නැවත වතාවක් ජාතික වැටුප් ප‍්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් තම වැටුප්, ගුරු වැටුප් වැඩි වීමට සමානුපාතික ලෙස වැඩි කළ යුතු බවත්, තම සේවාවන්ද සංවෘත සේවාවන් බවට පත් කළ යුතු යැයි අරගල කරමින් සිටියි. මෙම දේශපාලනික කොන්ත‍්‍රාත්කරුවන් ජාතික වැටුප් ප‍්‍රතිපත්තිය යනු කුමක්ද හෝ සංවෘත සේවාවන් යන්නේ අර්ථය කුමක්දවත් නොදන්නා බවක් ඔවුන්ගේ ඉල්ලීම් දෙස බැලූ විට සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම මනුෂ්‍යයෙකුට වැටහේ. අවාසනාවන්ත තත්ත්වය නම් රටේ ප‍්‍රතිපත්ති රැුකීමට බලයට පත් වූ රජය වැටුප් ප‍්‍රතිපත්තිය අමු අමුවේ උල්ලංඝනය කරමින් කුමන්ත‍්‍රණකරුවන්ට අවශ්‍ය පරිදි රාජ්‍ය සේවය තුළ වැටුප් අර්බුදයක් නිර්මාණය කිරීමට දායක වීමයි. මේ හරහා රාජ්‍ය සේවය ජනතා අප‍්‍රසාදයට පත් කර එය පෞද්ගලිකකරණය කිරීමේ වැඩපිළිවෙළකට අවතීර්ණ වීම රජයේ අරමුණ දැයි සැකයක් මේ තුළින් මතුව තිබේ. එබැවින් රාජ්‍ය සේවය තුළ වැටුප් පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් පවත්වා ගනිමින් රාජ්‍ය සේවය සුරක්ෂිත කිරීමත් ඒ හරහා ජනතාවට ගුණාත්මක සේවයක් ලබා දීම සඳහාත් වූ ප‍්‍රතිපත්තිගරුක වැටුප් සටනක අවශ්‍යතාව මේ මොහොත වන විට අන් කවරදාටත් වඩා තදින් පැන නැගී ඇත.

 වැටුප යනු රාජ්‍ය අංශයට හෝ පෞද්ගලික අංශයට සේවකයන් ආකර්ෂණය කර ගැනීමටත්, ආකර්ෂණය කර ගන්නා සේවකයන් සේවය තුළ රඳවා ගැනීමටත්, ඒ අය නිවැරදිව ස්ථානගත කිරීමටත්, උපරිම කාර්යක්ෂමතාවයෙන් සේවය ලබා ගැනීම සඳහාත් වැදගත්ම සාධකයකි. වැටුප් නිවැරදිව කළමනාකරණය කිරීම තුළින් ආයතනයක ඵලදායිතාව වැඩි කර ගැනීමටත්, වෘත්තීය ගැටුම් අවම කර ගැනීමටත් හැකිවන අතර, ඒ හරහා ජනතාවට ඵලදායි සේවාවක් ලබා දිය හැකිය. පෞද්ගලික අංශය තුළ මෙම වැටුප් කළමනාකරණය සිදු වන අතර රාජ්‍ය සේවය තුළ මෙය සිදු කිරීම සඳහා 2006 වසරේදී ජාතික වැටුප් ප‍්‍රතිපත්තිය එළිදැක්වීම පෙන්වා දිය හැකිය. මෙම වැටුප් ප‍්‍රතිපත්තිය තීරණය කිරීමේදී එක් එක් සේවක කාණ්ඩ වල අධ්‍යාපන සුදුසුකම්, රැුකියාවේ ස්වභාවය, වගකීම හා වගවීම යන මූලික කාරණා මත සිදු විය යුතුයි. එමෙන්ම ඒ තුළ මූලික වැටුපට ප‍්‍රතිපත්තියක්, වැටුප් වර්ධක සඳහා ප‍්‍රතිපත්තියක් මෙන්ම දීමනා සඳහා ප‍්‍රතිපත්තියක් ඇති කිරීම තුළින් ආයතන තුළ මානව සංයුතිය නියමිත ප‍්‍රමාණ වලින් පවත්වාගෙන යෑමටත් වෘත්තීය අර්බුද අවම කිරීමටත්, උපකාරී වීම තුළින් ජනතාවට ලබා දෙන සේවාවන් අඛණ්ඩව හා කාර්යක්ෂමව සිදු කළ හැකි වනු ඇත.

 ඕනෑම සේවාවක් රාජ්‍ය යාන්ත‍්‍රණය තුළින් ලබා  ගැනීම රටක ජනතාව ලබා ගන්නා වූ සුවිශේෂි වරප‍්‍රසාදයකි. උදාහරණයක් ලෙස රෝගීන් හට රාජ්‍ය සේවය තුළ විශේෂඥ වෛද්‍යවරුන් නොමිලේ මුණ ගැසීමට හැකි වුවද, පෞද්ගලික අංශයේදී එම විශේෂඥ වෛද්‍යවරයාම මුණ ගැසීමට සැලකිය යුතු මුදලක් වැය කළ යුතුයි. ඒ ආකාරයටම වරලත් ගණකාධිකාරිවරුන්, වරලත් ඉංජිනේරුවන්, නීතිඥයන්, වරලත් ගෘහනිර්මාණ ශීල්පීන්ගේ සේවාවන්ද රාජ්‍ය සේවය තුළින් ලබා ගැනීමේ හැකියාව ජනතාවට ලැබීමට නම් එම කාණ්ඩ රාජ්‍ය සේවය තුළ රඳවා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව පැහැදිලිය. නමුත් පෞද්ගලික අංශයේ හෝ විදේශීය රටවල විශාල වැටුපක් සඳහා මේ සියලූ පාර්ශ්ව යොමු වුවහොත් රටේ මෙම සේවාවන් ලබා ගන්නා ජනතාවටද විශාල පිරිවැයක් දැරීමට සිදු වීම වැළැක්විය නොහැකි වනු ඇත. එම නිසා මෙම සේවා කාණ්ඩ රාජ්‍ය සේවය තුළ රඳවා ගැනීම සඳහා මෙන්ම අනිකුත් සේවා කාණ්ඩද නිවැරදි සංයුතියකින් රාජ්‍ය සේවය තුළ පවත්වාගෙන යෑමට වැටුප්, දීමනා හා වර්ධක පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් තිබීම අත්‍යවශ්‍යය. එසේ නොකොට වැටුප් ප‍්‍රතිපත්තිය බිඳ හෙළීම තුළ රාජ්‍ය සේවය ආකාර්යක්ෂම වී ජනතාව දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වේ.

 සමහර වෘත්තීය සමිති නායකයන් වැටුප් ප‍්‍රතිපත්තියේ මූලිකාංග පිළිබඳවත් දැනුමකින් තොරව තමන්ගේ වෘත්තිය සමිති නාමයන්ට ඉදිරියෙන් ”විද්‍යාඥයන්” ලෙස හඳුන්වා ගනිමින් වැටුප් සටනට අවතීර්ණ වී ඇති බව පෙනෙන්ට ඇත. ඔවුන්ගේ ඉල්ලීම දෙස බැලූ කල ඒවා තම වෘත්තීය සමිති සාමාජිකයන්ට වරප‍්‍රසාද දිනා දීම වෙනුවට තමාගේ දේශපාලන න්‍යාය පත‍්‍රයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා කරන ලද ඉල්ලීම් බව පැහැදිලිය. රාජ්‍ය සේවයේ ඕනෑම තනතුරක් සඳහා අවශ්‍ය මූලික සුදුසුකමක් දක්වා ඇති අතර, වැටුප තීරණය කිරීමේදී මූලික සුදුසුකම හා රැුකියාවේ වගවීම හා වගකීම තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. අදාළ සේවාව සඳහා අවශ්‍ය මූලික සුදුසුකමට වඩා විශාල සුදුසුකම් ප‍්‍රමාණයක් තිබූ පමණින් අදාළ සේවාවේ රාජකාරි ස්වභාවය වෙනස් නොවන බවත් ඒ මත වැටුප තීරණය නොවන බවත් තේරුම් ගත යුතුය. එබැවින් වැටුප් තීරණය කිරීමේ නිර්ණායක අතර අවම මූලික සුදුසුකම එක නිර්ණායකයක් පමණක් වන අතර, රැුකියාවේ වගවීම හා වගකීම මෙන්ම රැුකියාවේ ස්වභාවය අනිකුත් නිර්ණායකයන් වේ. කාර්යක්ෂම සේවවාන් ලබා දෙන, සියලූම වෘත්තීය කාණ්ඩවල ගරුත්වය ආරක්ෂා කරන, රටට බරක් නොවන රාජ්‍ය සේවාවක් පවත්වා ගත හැකි වනුයේ වැටුප් ප‍්‍රතිපත්තියක් තුළින් පමණි.

 රජය හා විපක්ෂ යන කාණ්ඩ දෙකම රාජ්‍ය සේවය නිවැරදි සංයුතියෙන් පවත්වාගෙන යෑම සඳහා නිවැරදි පුද්ගලයන් ආකර්ෂණය කිරීමත් ඔවුන් රාජ්‍ය සේවාව තුළ රඳවා ගැනීමත් නිසි ලෙස ස්ථානගත කිරීමත් හා උපරිම ඵලදායිතාවයෙන් සේවාවන් ලබා ගැනීමත් සඳහා ජාතික වැටුප් ප‍්‍රතිපත්තියක් විද්‍යාත්මක ක‍්‍රමවේදයක් තුළ සකස් කිරීමත් එය පවත්වාගෙන යෑමත් අවශ්‍ය බව වටහා ගත යුතුයි. එබැවින් රාජ්‍ය සේවය තුළ වැටුප් පිළිබඳ තීරණයන් නිවැරදි සංයුතියෙන් හා විශේෂඥතාවයෙන් යුත් ජාතික වැටුප් කොමිසමක් හරහා සිදු කළ යුතුය. පවතින තත්ත්වය තුළ රාජ්‍ය සේවක වැටුප්/දීමනා සංශෝධනය (වැඩි විය යුතු) විය යුතු බව අප තරයේ විශ්වාස කරන අතර එය ප‍්‍රතිපත්ති රාමුවක් තුළ බිහිකර ගත යුතුය.

 ප‍්‍රතිපත්තිගරුක වැටුප් සටනකට කාලය එළඹ ඇත.

වැටුප්, ජාතික ප‍්‍රතිපත්ති හා සංවෘත සේවා - පෙරඹර



 වෛද්‍ය නවීන් ද සොයිසා

 රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමය

advertistmentadvertistment
advertistmentadvertistment