වැඩබලන ජනපති ධුරයෙන් රනිල් ඉවත් නොවුණොත් මහා වර්ජනයක් – හර්තාලයක්

285

– වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව

කිසිදු ජන අනුමැතියක් නැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයෙන් ඉවත්නොවී තවදුරටත් පාලනයේ රැඳී සිටීමට උත්සාහ කළහොත් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව මහා වැඩ වර්ජනයක් හා හර්තාලයක් කැඳවන බව වෘත්තීය සමිති බහුජන එකතුව ප්‍රකාශ කර සිටී.

ගෝඨාභය – රනිල් ආණ්ඩුවේ පාලනයට එරෙහි නොනවතින ජනතා අරගලය හමුවේ පලාගිය ගෝඨාභය රාජපක්ෂ අවසන් මොහොතේ රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් කිරීම මේ රටේ ජනතාවගේ විරෝධය වඩාත් උත්සන්න කිරීමට හේතුවී ඇති බව ද එම සංවිධාන එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින්, ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක, ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් ජේ. බී. ගුරුසිංහ, කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව, තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සී. පී. අටිමොරතැන්න, ලංකා වතු සේවා සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි, ලංකා විදුලිබල මණ්ඩල තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත, රාජ්‍ය හා පළාත් සේවා නිලධාරීන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් සුනිල් ගමගේ යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

වර්ධනය වන ආර්ථික සහ දේශලපාලනික අරාජිකත්වය තුළ පවතින සමාජ පීඩනයට එරෙහිව සංවිධානය වූ ජන නැගිටීම් තුළින් මිනීමරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් පළවා හරින්නට සමත්වූ වූ අපේ රටේ මුළු මහත් ප්‍රගතිශීලී ජනතාව වෙත වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව සිය උත්තමාචාරය පුදකර සිටිමු.

රටේ ජනතාව පසුගිය මහා මැතිවරණයෙන් සිය ආසනය හා පක්ෂය අන්ත පරාජයකට පත්කළ, අධිරාජ්‍ය ගැති රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂ අනුග්‍රහයෙන් අගමැති ධුරයට පත්වීම මුළු මහත් ශ්‍රී ලාංකික සමාජය ප්‍රතික්ෂේප කිරීම අප හොඳාකාරව දනිමු.

රනිල් වික්‍රසිංහ පත්කිරීමත් සමඟ තවදුරටත් උත්සන්න වූ ගෝල්ෆේස් අරගලය, සමස්ත ශිෂ්‍ය ව්‍යාපාරය ප්‍රමුඛ වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා පොදු ජනතාව විසින් මෙහෙයවූ ජනතා අරගලය රාජ්‍ය පාලනයේ මර්මස්ථානයන් වූ ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ අවසානයේ අග්‍රාමාත්‍ය කාර්යාලයද සිය අණසකට යටත් කර ගන්නා ලදී.

මෙවැනි තත්ත්වයන් හමුවේ පරාජය භාරගෙන රාජ්‍ය පාලනයෙන් ඉවත්විය යුතු මේ ඊනියා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ වෙනුවට පොලිසිය හා ත්‍රිවිධ හමුදාව යොදා ගනිමින් මේ ජනතා ජයග්‍රහණය ආපසු හරවන්නට කුමන්ත්‍රණය කරමින් ජනතාව වෙත මර්දනය මුදා හැරීමට සැලසුම් කරමින් සිටී. ආහාර, බෙහෙත්, ඉන්ධන, ගෑස් නොමැතිව නිරහාරව දුක්විඳින ජනතාව පිළිබඳව අල්පමාත්‍රයක හැඟීමක්, අවබෝධයක් නොමැති කෲර පාලකයෙකුට හැර මෙවැනි නින්දනීය මර්දන ක්‍රියාවලියක් සැලසුම් කළ නොහැක.

ජයග්‍රාහී ජනතාව තමන් අත්පත් කරගත් ආයතන සහ ගොඩනැඟිලි නැවත පවරා දෙමින්, රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව වෙත සහන් එළියක් නිකුත් කරමින්, සමස්ත ජනතාව වෙනුවෙන් අරගලයට නායකත්වය දුන් පිරිස් ඉල්ලා සිටිනුයේ කඩිනමින් ජනතා අපේක්ෂාවන් ඉටුකරමින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයක් සහිත අරගලයේ ක්‍රියාකාරී සැලැස්ම ඉටුකරන ලෙසය.

උණුසුම්වන දේශපාලන වටපිටාව අවබෝධ කර ගනිමින්, ජනතාවගේ අපේක්ෂාවන් පිළිබඳව සැලකිලිමත් වෙමින්, කිසිදු ජන අනුමැතියක් නොමැති රනිල් වික්‍රමසිංහ සිය අනීතික, ඊනියා වැඩබලන ජනාධිපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වෙන ලෙස, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව බලකර ඉල්ලා සිටී. මෙම ඉල්ලීම පිළිබඳව සැලකිලිමත් නොවී තවදුරටත් පාලනයේ රැඳමින් කටයුතු කරන්නට උත්සහ ගන්නේ නම් සමස්ත මහා වැඩ වර්ජනයක් හා හර්තාලයක් කැඳවමින් පවතින ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය අවසන් කිරීමට සමස්ත ජනතාව සමග පෙළගැසෙන බව අප සංවිධානය අවධාරණය කර සිටී.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment