වැඩබලන ජනපති රනිල්

263

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස ඊයේ  (13 දා) පත් කරනු ලැබ ඇත. මෙසේ පත් කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රටින් බැහැරව සිටින අවස්ථාවේ වැඩ ආවරණය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37(1) වගන්තිය ප්‍රකාර බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.

1977 මහ මැතිවරණයේදී බියගම ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පළමු වරට තේරී පත්වූ වික්‍රමසිංහ මහතා ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රජයේ පළමුව නියෝජ්‍ය විදේශ කටයුතු ඇමැතිවරයා ලෙසත්, ඉන් පසු ස්ථාපිත කෙරුණු තරුණ කටයුතු හා රැකීරක්‍ෂා අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙසත් පත්විය.

ඉන් ඉක්බිතිව අධ්‍යාපන, කර්මාන්ත හා විද්‍යා කටයුතු පාර්ලිමේන්තුවේ සභානායක වැනි තනතුරු හොබවා 1993 රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අභාවයෙන් පසු පත්වුණු ඩී. බී. විජේතුංග රජයේ අගමැතිවරයා ලෙස පළමු වරට අගමැති ධුරයට පත්විය. එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය සඳහා පත්ව සිටින ඒ මහතා මෙරට අගමැති ධුරය ලෙස වැඩිම වාර ගණනක් හිමිකර ගත්තේය. පැවති රජයන්ට එල්ල වූ අසීරු අභියෝගයන් හමුවේ එම රජයන් ආරක්‍ෂා කර ගැනීමට ස්වකීය පරිනත දේශපාලන බුද්ධිය මුසු කළ කෘතහස්ථ දේශපාලනඥයකු ලෙස ඔහු ඉතිහාසග වන්නේය.

රණසිංහ ප්‍රේමදාස මහතාට එල්ලවූ දෝෂාභියෝගය හමුවේ මෙන්ම පැවති ගෝඨාභය රාජපක්‍ෂ රජයට එල්ල වූ ව්‍යාකූල දේශපාලන අර්බුදය හමුවේ එහි වගකීම භාර ගැනීමට තරම් වික්‍රමසිංහ මහතා නොබියව ඉදිරිපත් විය. එස්මන්ඩ් වික්‍රමසිංහ හා නාලනී වික්‍රමසිංහ යුවළගේ පුත්‍රරත්නය ලෙස 1949 මාර්තු 24 වැනිදා උපත ලද වික්‍රමසිංහ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරීය.

ඒ මහතා ශාන් වික්‍රමසිංහ, චන්න වික්‍රමසිංහ, ක්‍ෂණිකා වික්‍රමසිංහ යන අයගේ සොහොයුරා ද වේ. මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ සමග යුග දිවියට එළැඹි වික්‍රමසිංහ මහතා අධිනීතිවේදියකු ද වේ. ඒ මහතා එවකට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති සංගම් සභාපතිවරයා ද විය. ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් දකුණු කොළඹ එජාප සම ලේකම්වරයා ලෙස ද පත් කරනු ලැබීය.

වික්‍රමසිංහ මහතාගේ මෑණියන් මේ රටේ නිදහස් සටනේ ද සුවිශේෂී මෙහෙවරක් කළ ජනමාධ්‍ය සෙන්පතියකු වූ ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජේවර්ධන මහතාගේ දියනියකි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment