වැඩවැරුම එක මිටට

258

වරාය දුම්රිය විදුලිය තෙල් සෞඛ්‍යය බැංකු අද සටනට රොද බඳිති
විසඳුමක් නැත්නම් අඛණ්ඩ වැඩ වර්ජනයක්
!

බදු සංශෝධන පනත වහා අහෝසි කොට ජීවන වියදම පහත දමන ලෙසට රජයට බලකරමින් ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන සේවකයන් ඇතුළු වෘත්තීය සමිති අද (01 දා) දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක නිරත වෙයි.

මෙම වැඩවර්ජනය පෙරවරු 8.00 සිට හෙට (02 දා) පෙරවරු 8.00 දක්වා පැය විසිහතරක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය, දුම්රිය, බැංකු, වරාය, තෙල්, විදුලිය, ඇතුළු වෘත්තීය සමිති හතළිහකට වැඩි වෘත්තීය සමිති නායකයෝ “දිවයින”ට පැවසූහ.

මෙම වැඩවර්ජනයට පාලකයන් නිසි පියවර නොගතහොත් ලබන සතියේ 08 වැනිදා සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට ඒකාබද්ධ වෘත්තීය සමිති මේ වනවිට තීරණය කර ඇත.

උපයන විට බදු සංශෝධන පනතට එරෙහිව හා දරාගත නොහැකි ජීවන වියදමට එරෙහිව වෘත්තීය සමිති තබන පළමු වෙඩිමුරය මෙය බවත් ඊට ආණ්ඩුව කන් නොදෙන්නේ නම් 80 ජූලි වර්ජනය මෙන් දැවැන්ත වැඩවර්ජනයකට ගොස් හෝ මෙම ඉල්ලීම් දිනා ගන්නා බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ අවධාරණය කරති.

මෙම වැඩවර්ජනයට සමගාමීව රටපුරා දිස්ත්‍රික් මට්ටමින්, ආයතන මට්ටමින් උද්ඝෝෂණ, විරෝධතා හා සෙමින් වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බව ද වෘත්තීය සමිති නියෝජිතයෝ කියා සිටියහ.

බදු පනත, ජීවන වියදම පමණක් නොව විදුලි බිල ඉහළ දැමීම, බැංකු ණය පොලී ඉහළ දැමීම, ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මැතිවරණ කල්දැමීම ආදී ගැටලු මුල්කරගෙන වෘත්තීය සංගම් හතළිහකට වඩා වැඩි ගණනක් දියත් කරන මෙම එක්දින වැඩවර්ජනය නිසා රෝහල්, දුම්රිය

ගමනාගමනය, විදුලිය, ඉන්ධන බෙදාහැරීම් කටයුතු, බැංකු කටයුතු, වරායේ ඇතැම් කටයුතුවලට බලපෑම් එල්ල විය හැකි බව ද වෘත්තීය සමිති පවසයි. කෙසේ වෙතත් රෝහල්, දුම්රිය, විදුලිය, ඇතුළු අත්‍යවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට උත්සාහ ගන්නා බවත් ඒවායේ යම් කඩාවැටීමක් සිදුවුවහොත් ආණ්ඩුව එහි වගකීම භාරගත යුතු බවත් වෘත්තීය සමිති නායකයෝ කියා සිටිති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට උපරිමයෙන් සහාය දෙන බවත් රෝහල්වල කටයුතු බිඳ නොවැටෙන පරිදි හදිසි ප්‍රතිකාර කටයුතු සිදු කරන බවත් එම සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පැවසීය.

මේ අතර සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ මෙම වර්ජනයට තම සංගමය ද එක්වන බවයි.

මෙම වර්ජනය සඳහා දුම්රිය වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරන වෘත්තීය සමිති 29 ක් පමණ එක්වන බව එම සන්ධානයේ කැඳවුම්කරු කේ. පී. විතානගේ මහතා පැවසීය.

මෙම බදු පනතට හා ජීවන වියදමට එරෙහිව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය සම්පූර්ණ සහාය ලබා දෙන බව එහි සභාපති නිරෝෂන් ගොරකානගේ මහතා කියා සිටියේය.

මෙම වැඩවර්ජනයට සහාය පළ කරමින් ගුරුවරු අද පාසල්වලට කළු ඇඳුම් හා කළු පටි පැළැඳ පැමිණෙන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවසීය. ලංකා විදුහල්පති සංගමය ද වර්ජනයට සහාය දෙමින් ඉසුරුපාය ඉදිරිපිට අද උද්ඝෝෂණයක නිරත වන බව එහි ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා කීය. බැංකු පොලී අනුපාත ඉහළ දමා, බදු පනවා ජන ජීවිතය විනාශ කර දමන පාලකයන් කිසිදු හිරිකිතයකින් තොරව දිගින් දිගටම අනවශ්‍ය වියදම් සිදු කරන බැවින් මෙම වර්ජනයට තමන් ද සහභාගි වන බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තන බණ්ඩාර මහතා කීය. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමල් විජේසිංහ මහතා කියා සිටියේ මෙම වැඩවර්ජනයට ආණ්ඩුව ඇහුම්කන් නොදුනහොත් 80 ජූලි වර්ජනය වැනි දැවැන්ත වර්ජනයකට ගොස් හෝ මෙම සටන ජයග්‍රහණය කරන බවයි.

ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා කියා සිටියේ ආණ්ඩුව විවිධ නීතිරීති හා නියෝග පනවා වෘත්තීය සමිති මර්දනය කරන්නේ නම් එම නියෝග කඩා දැමීම අද සිදු කරන බවයි. ඉන්ධන බෙදාහැරීම ආදිය සිදු කරමින් මෙම වර්ජනයට තමන් ද එක්වන මුත් යම්කිසි ආකාරයකින් ආයතන කටයුතු බිඳවැටී තෙල් හිඟයක් මතුවුවහොත් එහි වගකීම ආණ්ඩුව භාර ගත යුතු බව වැඩවර්ජනයට සහාය දක්වන ඛනිජ තෙල් නිදහස් සේවක සංගමයේ සභාපති ජගත් විජේගුණරත්න මහතා කීය.

මෙම වර්ජනය සඳහා විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය ද සහාය ලබාදෙන බව එහි ලේකම් ඊ. ඒ. ඩී. සම්පත් උදයංග මහතා පැවසීය. ලංකා බැංකු සේවක සංගමය නියෝජනය කරන රාජ්‍ය, පෞද්ගලික හා ජාත්‍යන්තර බැංකු දහඅටක සහාය ලබාදෙමින් දිස්ත්‍රික්ක දොළහක උද්ඝෝෂණ පවත්වන බව එහි ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා කීය.

පිරිවෙන් ගුරු සේවා සංගමය ද මීට එක්වන බව ජාතික භික්‍ෂු පෙරමුණ් ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ පැවසූහ.

මීට අමතරව වැඩබිම්, ආයතන මට්ටමින් විවිධ උද්ඝෝෂණ හා විරෝධතා පළ කරමින් මෙම වැඩවර්ජනයට සහාය දෙන බව වෘත්තීය සමිති රැසක නියෝජිතයෝ කියා සිටියහ.

ශිරාන් රණසිංහ, සුජීව තත්සර, චමින්ද සිල්වා, නොච්චියාගම එම්. පී. පී. ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment