වැඩිම ආරක්‍ෂක භට පිරිස අද කොළඹට

180

කැරලි මර්දන ඒකකයත් කැඳවයි :
පොලිසිය – ත්‍රිවිධ හමුදාව කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරක රථ සීරුවෙන්

කොළඹ කොටුව, ගාලුමුවදොර පිටකොටුව ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන අද (9 දා) පැවැත්වීමට නියමිත මහා ජන අරගලයට සාමගාමීව ආරක්‍ෂක කටයුතු සඳහා පොලිසිය, විශේෂ කාර්ය බළකාය, ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශ නිලධාරීන්ගෙන් සැදුම්ලත් දැවැන්ත බලඇණියක් යොදවා ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

ඇතිවිය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණදීම සඳහා මෙම ආරක්‍ෂක හමුදා බලඇණිය දැනුවත් කර ඇති අතර ජල ප්‍රහාරක රථ කැරලි මර්දන ඒකක සහ කඳුළු ගෑස් ප්‍රහාරක කණ්ඩායම්ද සීරුවෙන් තබා සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

ආරක්‍ෂක හේතූන් මත අද දින ආරක්‍ෂාව සඳහා යොදවා සිටින ආරක්‍ෂක අංශ නිලධාරීන්ගේ සංඛ්‍යාව හෙළි කළ නොහැකි බව පැවසූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු කියා සිටියේ පෙර කිසි දිනක නොයෙදූ තරම් නිලධාරීන් පිරිසක් ආරක්‍ෂක කටයුතු සඳහා කොළඹට කැඳවා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේ සාමකාමීව අන් අයට බාධාවක් නොවන ආකාරයට විරෝධතා පැවැත්වීම අරගලයේ යෙදීම කිසිම ප්‍රශ්නයක් නොවන බවයි.

එහෙත් පොලිසිය සහ ආරක්‍ෂක අංශ සමග ගැටුම් ඇතිකර ගෙන නීතිරීතිවලට පටහැනිව කටයුතු කිරීමට උත්සාහ කළහොත් එය පාලනය කිරීමට ආරක්‍ෂක අංශවලට සිදුවනු ඇති බවද තල්දූව මහතා කියා සිටියේය.

එබැවින් පොලිසිය සහ ආරක්‍ෂක අංශ සමග ගැටුම් ඇති කර නොගෙන සාමකාමීව අරගලයේ යෙදෙන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

කොළඹ ආරක්ෂාව සඳහා යොදවා සිටින පොලිසිය, ත්‍රිවිධ හමුදාව, කැරලි මර්දන ඒකක ඇතුළු ආරක්‍ෂක අංශ නිලධාරීන් ඊයේ සිටම සිය ආරක්‍ෂක කටයුතු ආරම්භ කර සිටි බව පොලිස් ආරංචි මාර්ග කීය.

හේමන්ත රන්දුණු
ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment