වැඩිහිටියන්ට පමණයි !

1338

රාගම කුරුකුලාවේ පදිංචි තිරිසන්, අමානුෂික අතෘප්තිකර ගැහැනියක විසින් සිය සැමියාගේ පළමු විවාහයේ නව යොවුන් දියණියට කෲර ලෙස පහරදෙන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාලවල සංසරණය වේ. එය රූපවාහිනී නාලිකාවලද පෙන්වන ලදී. මේ නීච ගැහැනිය සිය සැමියාගේ පළමු විවාහයේ දියණියට අතින් හා පයින් පහරදෙන අතර එම දියණිය මරා කෑලි කපා පාර්සල් කර මහපාරේ තබන බවට තර්ජනය කරයි. මේ කෲර ගැහැනියගේ සැමියා විදේශ රැකියාවක නිරතව සිටී. කෲර ගැහැනියගේ කෲරකම්වලට ලක්වන ඔහුගේ දියණිය හදවත් රෝගයකින් පෙළෙන නව යෞවනියකි. රාගම පොලිසියේ ආරංචි මාර්ගවලට අනුව ඉහත සඳහන් ගැහැනිය තරුණයකු සමග නිතර දෙවේලේ කතා කරමින් සිටින අයුරු වීඩියෝ කරන දැරිය එය සිය පියාට යවා ඇත. එතැන් සිට ඒ තුච්ඡ ගැහැනිය දැරියට විවිධ වධ දෙයි. සමාජ මාධ්‍ය ඔස්සේ මේ බව දැනගත් රාගම පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශය වහාම එම ස්ථානයට ගොස් පරීක්ෂණයක් පවත්වා රකුසු ගැහැනිය රිමාන්ඩ් කර ඇත. පොලිසියේදී එම ගැහැනිය දෙන කටඋත්තරවලට අනුව පෙනී යන්නේ දැරිය ඇගේ පහරකෑමට ලක්වන බව පියාද දැන සිටින බවය. අපට හැඟෙන පරිදි මේ පියා ද නොම්බර එකේ හිඟන්නෙකි. මේකා හරි නම් කළයුත්තේ වහාම ලංකාවට පැමිණ රකුසු ගැහැනියගෙන් සිය දියණිය බේරා ගැනීමය. නැත්නම් ඒ රකුසු ගැහැනිය පෙර කී තරුණ ගැහැනු ළමයා මරාගෙන කනවා ඇත. දැරියගේ සැබෑ මව මිය ගොසිනි. විත්තිකාර කාන්තාව පොලිසියට දුන් කටඋත්තරයේ එන පරිදි දැරියගේ පියාගේ කැරැට්ටුවද අවුල්ම අවුල්ය. විත්තිකාරිය ඔහු හා විවාහ වී ඇත්තේ ඔහුට හදවත් රෝගී දියණියක් සිටින බව නොදැනය. කෙසේ හෝ වේවා මේ දුෂ්ට ගැහැනියට උපරිම දඬුවම දිය යුතුව තිබේ. එසේම සිය බාල වයස්කාර දියණියගේ ආරක්ෂාව නොසලකා හැරීම සම්බන්ධයෙන් පියාට විරුද්ධව දැඩි පියවර ගත යුතුය. මේ සිද්ධිය ගැන කිසිදු පැමිණිල්ලක් පොලිසියට නොලැබුණත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ රාගම පොලිසිය OICට හා කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරිනියන්ට මේ දියණිය ස්තුතිවන්ත විය යුතුය. කුඩා දරුවන්ට වැඩිහිටියන් විසින් කරනු ලබන හිංසාකාරී ක්‍රියා ඉතා වේගවත් ලෙස ඉහළ යමින් පවතී. සෞදි අරාබිය හොරුන්ට දෙන දඬුවම වන්නේ උන්ගේ එක අතක් කපා දැමීමය. කුඩා දරුවන්ට පහරදෙන වැඩිහිටියන්ගේ අත්ද නීත්‍යනුකූලව කපාදැමිය යුතු බව අපගේ යෝජනාව වේ. දැන් අපි ඊළඟ මාතෘකාව දෙසට හැරෙමු.

මේ රටේ සිටින ක්ෂය රෝගීන් 6000 ක් දෙනා තමන්ට එවැනි ලෙඩක් ඇති බව නොදැන නිදැල්ලේ ජීවත්වන බව දැනගන්නට තිබේ. දියුණු රටවල ජනයා සෑම මාස තුනකට හෝ හයකට වරක්ම වෛද්‍ය පරීක්ෂණවලට ලක්වෙති. එය ඒ රටවල ආණ්ඩු මගින් පනවන ලද නීතියකි. එහෙත් ලංකාවේ ජනයා එබඳු දේවල් අසාවත් නැත. අද වැඩ වර්ජනය කරන මේ රටේ රජයේ වෛද්‍යවරුන් සමූහයද ඒ බවක් අසා නැති බව අපගේ වැටහීම වේ. ක්ෂය රෝගය පමණක් නොව, ඒඩ්ස් රෝගය වැළඳුණු දහස් ගණනක්ද තමන්ට ඒඩ්ස් ඇති බව නොදැන සමාජයේ සිටිති. මේ අයගෙන් 99% ක්ම පිරිමින් බව අපි උපකල්පනය කරමු. ඔවුන්ට එම රෝගය බොහෝවිට වැළඳෙන්නේ ගණිකාවන් වෙතිනි. ගණිකාවක් සමග යහනට යන මේ රටේ පිරිමි ඉන්පසු සිය බිරිඳ සමගත් පෙම්වතියන් සමගත් ලිංගික කටයුතුවල නිරත වෙති. අදාළ පුද්ගලයා ඒඩ්ස් රෝගියකු බව දැනගන්නා විට ගමෙන් බාගයකටම ඒඩ්ස් බෝවී හමාරය. අපි සමාජ රෝග හෙළා නොදකිමු. ලිංගික අතෘප්තියක් ඇති පෘතග්ජනයෙක් අභිසාරිකාවක වෙත ගොස් අනාරක්ෂිතව හැසිරීමෙන් මේ රෝගය බෝවෙයි. එසේම සමලිංගික රුචියක් ඇති පිරිමින් තම සමලිංගික සහකරුවා සමග අනාරක්ෂිතව හැසිරීමෙන්ද මේ රෝගය බෝවෙයි. මිනිසුන්ගේ ලිංගික රුචි අරුචිකම් විවිධය. සමහරෙක් පිරිමින්ට ප්‍රිය කරන අතර තවත් අයෙක් ගැහැනුන්ට ප්‍රිය කරයි. කාන්තාවන්ගේ පැත්තෙන්ද මෙය මෙසේමය. පන්ඩකයන් ලෙස හඳුන්වනු ලබන නපුංසකයන් හරහාද ඒඩ්ස් ඇතුළු ලිංගික රෝග බෝවීම බහුලව සිදුවෙයි. කෙනකු නපුංසකයකු ලෙස උපදින්නේ ඔහුගේ වරදින් නොවේ. එය ස්වභාවධර්මයේ ක්‍රියාවලියකි. පණ්ඩකයන් පස් වර්ගයක් සිටින බව බුදුන් වහන්සේද දේශනා කරනු ලැබ ඇත. එබැවින් එම ප්‍රශ්නය අවුරුදු 2500 ට එහා ගිය ඉතිහාසයක් ඇති ප්‍රශ්නයකි. මේ ජනයාගේ ලිංගික හැසිරීම් පිළිබඳ විද්‍යාත්මකව සොයාබලා ඔවුන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් මේ රටේ නැත. හැමදෙනාම කරන්නේ ඒ අසරණ ප්‍රජාවට හිනාවීම සහ ඔවුන් දූෂණය කිරීමය. පොලිස් කූඩුවලදී මෙවැනි අය ඉතා නරක ලෙස දූෂණයට පත්වෙති. සමහරවිට කිසිදු සමාජ රෝගයක් නැති, පණ්ඩක පුද්ගලයකු පොලිස් කූඩුවේ සිටින ගංජාකාර සමාජ රෝගියකු අතින් දූෂණය වූ විට එම රෝගය එසේ දූෂණය වූ පුද්ගලයාට වැළඳෙයි. මේ නපුංසක ප්‍රජාව ගැන සහ ඔවුන් විඳින දුක් කන්දරාව ගැන මුල් වරට ප්‍රසිද්ධියේ කතා කළේ දිවයින පුවත්පතය. පන්ඩකයන්ට කියන අවලම් නම් පැත්තකට දමා සමරිසි යන වචනය ඔවුන් වෙනුවෙන් සමාජගත කරන ලද්දේද දිවයින පුවත්පතය. මෙවැනි සමාජ ප්‍රශ්න දෙස දිවයින බලන්නේ හඩු ගැහුණු යල්පිනු සාම්ප්‍රදායික ඇස් වලින් නොව මානුෂීයවාදී සහ සානුකම්පිත ඇස් වලිනි. අප සමරිසියන් ගැන මෙතරම් කතා කරන්නේ මන්දැයි මේ මොහොතේදී සැදැහැවතුන් කල්පනා කරනු ඇති. අප මේ කියන්නේ ක්ෂය රෝගය තමන් තුළ නැති බව සිතමින් ජීවත්වන ක්ෂය රෝගීන් 6000 ක් බඳුවම ඒඩ්ස් රෝගය වැලඳුණු නමුත් ඒ බව නොදන්නා සමරිසියන් ද මේ රටේ වැඩිවුණොත් රටට අත්විය හැකි ඉරණම සලකාය. ක්ෂය රෝගය සුව කිරීමට හැකිය. එහෙත් දැනට ඒඩ්ස් සුවකළ නොහැකිය. පවතින තත්ත්වයන්ට අනුව ඒඩ්ස් හැදුනොත් රෝගියා සමාජයෙන් කොන්වී ඇටෙත් හමත් ඉතුරු වනතුරු කෙසඟ වී මිය යන්නේය. ලංකාව වූකලී හරක් මනස් ඇති, බූරු ප්‍රජාවක් වෙසෙන රටකි. කොරෝනා රෝගය වැළඳුණු මේ රටේ පළමුවන පුද්ගලයාගේ ගෙදරටත් අපේ රටේ මිනිස්සු ගල් ගැසූහ. ඒඩ්ස් රෝගය වැලඳුණු කෙනකු සිටින නිවස පිහිටි පාරෙන්වත් නොයෑමේ ආරක්ෂාදායි ශුද්ධවන්තකමක් අපේ ප්‍රජාව තුළ තිබේ. ඒ නිසා මාරාන්තික බෝවන රෝග සහ ලිංගික රෝග ජනතාව තුළ තිබේදැයි යන්න පසක් කර ගැනීම සඳහා අවුරුද්දකට වරක් හෝ දෙවරක් මේ රටේ තරුණ ජනයා සහ වැඩිහිටි ජනයා වෛද්‍ය පරීක්ෂණවලට ලක්කිරීම රජයේ වගකීමක් වන්නේය. ඒ සඳහා ක්‍රමවේදයක් සකස්කර එය නීතිගත කරන මෙන් අපි රජයෙන් ඉල්ලමු.

advertistmentadvertistment
advertistmentadvertistment