වැඩි මිලට බිත්තර විකිණූ වෙළෙඳසල් 800 කට නඩු

46

පාලන මිල නොතකා උත්සව සමයේ වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳසැල් අටසියයකට ආසන්න ප්‍රමාණයකට නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියයි.

ප්‍රදේශ රැසකදී මෙම වැටලීම් සිදු කර ඇති බවද බිත්තරවලට අමතරව වෙනත් භාණ්ඩ සම්බන්ධයෙන් මේ වනවිට වැටලීම් හයදහසක් පමණ සිදු කර ඇති බවද එම අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා “දිවයින”ට ඊයේ (18 දා) පැවසීය.

නීතියට පටහැනිව බර කිරා බිත්තර අලෙවි කරමින් සිටි පිටකොටුවේ වෙළෙඳසලකට එරෙහිවද නීතිමය පියවර ගත් බවත් අඛණ්ඩව දිවයින පුරා වැටලීම් සිදු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ අතර උත්සව සමයෙන් පසුවත් රට පුරා බිත්තර හිඟයක් ඇති බවත් බොහෝ ප්‍රදේශවල බිත්තරයක් රුපියල් 50, 55, 62 ආදී මිල ගණන්වලට අලෙවි කරන බවත් පාරිභෝගික ජනතාව පවසති.

සුදු බිත්තරයක් සඳහා රුපියල් 44 ක් ලෙසත් රතු බිත්තරයක් රුපියල් 46 ක් ලෙසත් පාරිභෝගික කටයුතු අධිකාරිය ගැසට් නිවේදනයක් මඟින් පාලන මිලක් පනවා ඇත.
සුජීව තත්සර සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment