වැඩි මිලට විකුණන්න ඩීසල් බවුසරයක් හොරෙන් පන්නලා

117

ඩීසල් ලීටර් දහතුන්දහස් දෙසීයක් ව්‍යාජ බලපත්‍රයක් සකසා පෞද්ගලික කර්මාන්ත ශාලාවකට අධික මිලකට විකිණීමට රැගෙන යමින් තිබූ බවුසරයක් සමග රියැදුරු සහ සහයකයා ඊයේ (17 දා) අලුයම අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මීගලෑව සහ කලගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කරන පුද්ගලයන් දෙදෙනකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන් වෙයි.

ඩීසල් ලීටරයක් විකුණුම් මිලට වඩා රුපියල් 30ක් වැඩිපුර අලෙවි කිරීම සඳහා කටයුතු යොදා තිබූ බව ද පොලිසිය කීය.

ත්‍රිකුණාමලය තෙල් ගබඩා සංකීර්ණයෙන් එම ප්‍රදේශයේම ඉන්ධන හලකට ඩීසල් රැගෙන යෑමට බලපත්‍රයක් සකසා තිබූ අතර, බණ්ඩාරගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකට ලීටරයක් රුපියල් 460 බැගින් අලෙවි කිරීමට ව්‍යාජ බලපත්‍රයක් සකසා තිබූ බව ද පොලිසිය කීය.

මේ හේතුවෙන් ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව මෙන්ම රජය ද අපහසුතාවට පත්වන බැව් උසස් පොලිස් නිලධාරියෙක් කීය. ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම අලුයම පරගස්තොට ප්‍රදේශයේ රැකසිට වැටලීම කර තිබේ.

රජය මගින් උපදෙස් ලබාදී ඇති ූඍ කේත ක්‍රමය උල්ලංඝනය කරමින් මෙය සිදුකර ඇති බවත්, මීට පෙර ද මෙවැනි ආකාරයට ඉන්ධන රැගෙනවිත් ඇද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීය.

අදාළ කර්මාන්ත ශාලාවේ කළමනාකාරිත්වයෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල නිශ්ශංක මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂක තිලකරත්න, උප පොලිස් පරීක්ෂක කීර්ති, සැරයන්වරුන් වන ලාල් (18397), අනුර (27061), සේනානායක (28159), ප්‍රියන්ත (10081) කොස්තාපල්වරුන් වන අමරජීව (80100) සහ සම්පත් (86282) යන නිලධාරීහු වැටලීමට එක්වූහ.

ආර්. ඒ. එස් ප්‍රේමතිලක – බණ්ඩාරගම සහ කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment