වැඩි මිලට සිංගප්පුරුවෙන් ඞීසල් පෙට‍්‍රල් මිලට ගැනීමට සිදුවෙලා – රෝහිණී කවිරත්න

588

බොර තෙල් මිලදී ගන්නට ඛනිජ තෙල් සංස්ථාව කැඳවපු ටෙන්ඩර් දෙකට එකම ගැණුම්කරුවෙකුවත් ආවේ නැහැ

බොර තෙල් මිලදී ගන්නට ඛනිජ තෙල් සංස්ථාව කැඳවපු බොරතෙල් ටෙන්ඩර් දෙකට එකම ගැණුම්කරුවෙකුවත් ආවේ නැති නිසා දැන් වැඩි මිලට  සිංගප්පුරුවෙත් ඞීසල් පෙට‍්‍රල් මිලදී ගැනීමට සිදුවෙලා යැයි සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනි රෝහිණී කවිරත්න මහත්මිය පැවසූවාය.

මන්ත‍්‍රීවරිය මේ බව පැවසුවේ මාතලේ දිස්ත‍්‍රික්කයේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි. ඇය වැඩිදුරටත් මෙසේද කීවාය.

ලංකාවේ වැඩිම වැටුප් ලබන බුද්ධිමතුන්ගේ ආයතනයක් වූ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික විද්‍යාඥයන්ට ආර්ථිකය ගැන අවබෝධයක් නැති  අයගෙන් බණ අහන්නට සිදුවී තිබෙනවා.

මහ බැංකු අධිපතිවරයා පසුගිය ජූලි 27 දින පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනට පැමිණ ගජබින්නාලංකාරය ගායනා කළා. මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයන් මහ බැංකු අධිපතිවරයාගේ ප‍්‍රකාශ ගැන විමතිය පළ කරනවා. වෘත්තිකයන්ගේ දැනුම පැත්තක තියලා, මහ බැංකුව ආර්ථික ඝාතකයන්ගෙන් බණ අහනවා.

මහ බැංකු සාක් පහසුකම යටතේ ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400 ක් ලබා ගැනීමට කටයුතු කරනවා කියලා. මහ බැංකුවේ නිලධාරීන් පැහැදිලිව කියනවා ඉන්දීය රජය ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග දිගුකාලීන වැඩසටහනකට යොමු විය යුතු යැයි උපදෙස් දී ඇති බව.

ලංකාව ලෝකය පුරා දැන් හිඟමනේ යනවා. බංගලිදේශයේ ලංකාවට ඩොලර් මිලියන 200 ක් ලබාදෙන බවට ප‍්‍රවෘත්ති පළවී දැන් මාසයකට වැඩි කලක් ගෙවී ගිහින්. අඩුම ගානේ බංගලිදේශ – ලංකා නිලධාරීන් මේ ගැන මුලික කෙටුම්පතක්වත් සකස් කර නෑ.

ආණ්ඩුව කරන්නේ කොළඹ වටිනාම ඉඩම් ටික විකුණන්නට හදන එක. හමුදා මුලස්ථානය විකුණුවා. දැන් ගුවන් හමුදා මුලස්ථානයත්, චාමර්ස් ධාන්‍යගාර ඉඩම විකුණන්නට හදනවා. කොළඹ විකුණන්නට සුදානම් කරපු ඉඩම් 30 කට පමණ මේ දවස්වල ආණ්ඩුව ගණුදෙනුකාරයෝ හොයනවා. ඉඩම් විකුණලා කන්න දෙන්න ආර්ථික විද්‍යාවක් අවශ්‍ය නෑ. නාස්තිකාර පුත්තු – දුවලත් ඒක කරනවා. මේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති තීරකයෝ ආර්ථික විද්‍යාඥයන්ට තැනක් දෙන්නේ නෑ. රටේ ආර්ථික විනාශ කරන්නේ බ්‍රෝකර්ලා ටිකක් එකතු වෙලා.

දැන් කඩවල්වල විදේශයන්ගෙන් ගෙනාපු බඩු විතරක් නෙවෙයි, ලංකාවේ අත්‍යවශ්‍ය බඩු මොනවත් නෑ. රට පුරාම රෝහල්වල දියවැඩියාව, පිළිකා, අතුළු රෝගවලට අත්‍යවශ්‍ය ඖෂධ නෑ.

පොහොර ගෙන්වන්න ඩොලර් නැතිව කාබනික වගාවක් ගැන සුරංගනා කතා කිව්වා. දැන් නැගෙනහිර පළාතේ ගොයම් කපනවා. මෙවර වී අස්වැන්න අඩුවෙලා කියලා ගොවියෝ මැසිවිලි නඟනවා. රටේ සාගතයක් අත ළඟටම ඇවිත් තියෙනවා. මේ යල කන්නයේ අතිරේක ආහාර භෝග 11 ක අස්වැන්න අඩුවෙනවා කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියනවා.

සෞභාග්‍යය කෙසෙවෙතත් දැන් සාගතය නම් හැම ගමක් – නගරයකටම එමින් තියෙනවා.

ගෑස් සමාගම් බංකොළොත් වෙලා. ලෝකයේ කොයි රටේද ඉන්ධන සමාගම් බංකොලොත් වෙන්නේ. ලංකාවේ විතරයි. ගෑස් ගේන්න ඩොලර් නෑ. ගෑස් පාර්භෝගිකයෝ ලක්ෂ 19 ක් ගෑස් හොය හොයා ඇවිදිනවා.

බොර තෙල් මිලදී ගන්නට ඛනිජ තෙල් සංස්ථාව කැඳවපු බොරතෙල් ටෙන්ඩර් දෙකට එකම ගැණුම්කරුවෙකුවත් ආවේ නෑ. දැන් වැඩි මිලට

සිංගප්පුරුවෙන් ඞීසල් පෙට‍්‍රල් මිලදී ගන්නවා. ඩොලර් නැතිව ළඟදීම රටම අවුලකට පත් වෙනවා.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment