වැඩි වාසියට ගොස් පිරමීඩයේ ගෙල හිරවීම

242

● අඩු පොලී අනුපාත වාතාවරණය

මේ වන පොලී අනුපාත ද කලක් තිස්සේ අඩු මට්ටමක පවතින නිසා තැන්පත්කරුවන්ට බැංකුවල මුදල් තැන්පත් කර ලබාගත හැකි වන්නේ ඉතා සොච්චම් පොලියකි. මේ නිසා මහජනයා බැංකුවල තම මුදල් තැන්පත් කරනවා වෙනුවට ඊට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබාදෙන ස්ථානවල තම මුදල් තැන්පත් කිරීමට උනන්දුවෙන් සිටින බව රහසක් නොවේ. ඒ නිසා මේ අඩු පොලී අනුපාත වාතාවරණයේ වාසිය ලබාගනිමින් ඉහළ ප්‍රතිලාභ ලබාදෙන ‘ආයෝජන’ නාමයෙන් තම ආයතන වෙත මහජන මුදල් ආකර්ෂණය කර ගැනීමට ඇතැම් ජාවාරම්කරුවන්ගේ ඇස යොමු වී සිටින බව රහසක් නොවේ. මේ අනුව රැවටිලිකාර පිරමිඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන ආයතන මෙන්ම ඇතැම් වැවිලි ආයෝජන ක්‍රම හඳුන්වා දී ඇති සමාගම් ද නොයෙකුත් අසත්‍ය කරුණු සමාජගත කරමින් මහජනයා මුලා කරමින් ඔවුන්ගේ මුදල් තම ආයතන වෙත ලබා ගැනීමට ආකර්ෂණීය ප්‍රවර්ධනයන් දියත් කර ඇති බව ද ඔබට රහසක් නොවේ. මේ ප්‍රවර්ධනයන් වැඩි වශයෙන්ම දියත් වන්නේ ප්‍රසිද්ධ ජනමාධ්‍ය හරහා නොව ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා ය. තම මුදල්වලට වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමට බලා සිටින ඇතැම් අය මේවාට හසු විය හැකිය. මේ නිසා ඔබ මේ ගැන අවදියෙන් සිටීම ඉතා වැදගත්ය.

● රන්කාසි පිරමිඩ ජාවාරමේ සිට…

වසර 20 කට පමණ පෙර රන්කාසි පිරමිඩ ජාවාරමේ සිට නොයෙකුත් පිරමිඩ ජාවාරම් මේ දක්වා කරළියට පැමිණ ඇත. අප මේ ජාවාරම් ගැන එවකට එනම් වර්ෂ 2003 තරම් ඈත දී හෙළි කරන විට මේ රටේ පිරමිඩ යෝජනා ක්‍රමවලට එරෙහි නීතියක් පවා තිබුණේ නැත. ඒ නිසාම එවකට මේ ගැන කරුණු හෙළි කළ මේ ලියුම්කරු ඇතුළු මාධ්‍යවේදීන්ට ද පිරමිඩ ජාවාරම්කරුවන්ගෙන් බොහෝ තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබුණි.ඒ කාලයේ පිරමිඩ යෝජනාවලට එරෙහිව රටේ නීතියක් පවා නොතිබුණු නිසා එදා පිරමිඩ ජාවාරම්කරුවන්ගෙන් අපට පමණක් නොව මහ බැංකු නිලධාරීන්ට පවා තර්ජන එල්ල වූ බව අපි දනිමු. පසුව බැංකු පනතට සංශෝධනයක් ගෙන එමින් පිරමිඩ ක්‍රම තහනම් කිරීමට රජය පියවර ගන්නා ලදි. ඒ යුගය පසුකර දැන් බොහෝ කාලයක් ගත වී ඇත. එහෙත් තවමත් පිරමිඩ ජාවාරම් විවිධ නාමයන්ගෙන් සහ විවිධ ක්‍රමවලින් ක්‍රියාත්මක වෙමින් තිබේ. තවමත් ඇතැම් පිරිස් මේවාට රැවටෙමින් ද තම වටිනා ධනය අහිමි කර ගනිමින් ද සිටී.

වැඩි වාසියට ගොස් පිරමීඩයේ ගෙල හිරවීම

ආයතන අටක නව ලැයිස්තුවක්

ඇතැම් පිරමිඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන ආයතන ශ්‍රී ලංකා මහ බැංකුව සමග යම් යම් එකඟතාවන්ට එළඹ ඇති බවට ද ප්‍රචාරය කරමින් මහජනයා මුලා කළ අවස්ථා ඇත. එහෙත් පිරමිඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන ආයතන සමග යම් යම් එකඟතාවන්ට එළඹ ඇති බවට සිදුකරන ප්‍රකාශයන් මහ බැංකුව තරයේ ප්‍රතික්ෂේප කරයි. අපත් කියන්නේ එය පිරමිඩ ජාවාරම්කරුවන් මහජනයා මුලා කිරීමට කියන කතාවක් බවයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිය වසරේ (2023) අගෝස්තු 24 දින ද තහනම් යෝජනා ක්‍රම පවත්වාගෙන යන සහ පවත්වාගෙන ගොස් ඇති බවට හඳුනාගත් ආයතන ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කළේය. එසේම ඉකුත් අප්‍රේල් 22 දින ද මහ බැංකුව විසින් තහනම් යෝජනා ක්‍රම පවත්වාගෙන යන සහ පවත්වාගෙන ගොස් ඇති බවට හඳුනාගත් තවත් ආයතන අටක (08) ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කළේය. එම ආයතන ලැයිස්තුව මෙසේය.

  1. Beecoin App/Sunbird Foundation, 2. Fast Win (Pvt) Ltd, 3. Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd, 4. Genesis Business School/ Era Miracle (Pvt) Ltd., 5. lsimaga lnternational (Pvt) Ltd. 6. Ledger Block, 7. Qnet/Questnet iy 8. Ride to Three Freedom (Pvt) Ltd.

● නීතිමය ක්‍රියාවලිය කල්ගත වීම

අප දන්නා පරිදි මෙසේ යම් ආයතනයක් මහ බැංකුව විසින් තහනම් යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කළ හෝ කරන ආයතනයක් ලෙස නිර්ණය කරන්නේ කිසියම් විමර්ශන ක්‍රියාවලියකින් පසුවය. ඒ සඳහා යම් කාලයක් ගත වේ. මෙසේ පිරමිඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් දැනට අනුගමනය කරන නීතිමය ක්‍රියාවලිය කල්ගත වන එකක් නිසා එය පිරමිඩ ජාවාරම්කරුවන්ටම වාසිසහගත වී ඇති බවක් ද පෙනේ. හේතුව නම් ඒ විමර්ශන කාලය තුළ ද එම ආයතන විසින් තවදුරටත් මහජනයා මුලා කර ඔවුන්ගේ මුදල් ආකර්ෂණය කර ගැනීමයි. ඒ නිසා මහ බැංකුව විසින් නීතිපතිට යොමුකර නීතිපතිවරයා හරහා මේ ගැන නීතිය ක්‍රියාත්මක වන විට බොහෝ දෙනෙක් අමාරුවේ වැටී අවසන්ය.

මහ බැංකුවට ඇතැම් ආයතන ගැන ලැබෙන මහජන පැමිණිලි මත ඒ ගැන විමර්ශන සිදු කිරීමෙන් පසු මේ ආකාරයට පිරමිඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන බවට යම් යම් ආයතන නිර්ණය කිරීමෙන් පසු ඒවාට එරෙහිව ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීමට නීතිපතිවරයාට යොමු කරනු ලබයි. ඒ ගැන අපි ඉතාම අගය කරමු. එහෙත් එම ක්‍රමවේදය සඳහා කලක් ගතවන නිසාත් එසේම නීතිපතිවරයා මහ බැංකුව කියන ආයතන සඳහා නඩු පැවරූ පසුව ඒ නඩු විභාග කර තීන්දුවක් ලැබීමට සැලකිය යුතු කාලයක් ගත වීම නිසාත් පිරමිඩ ජාවාරම්කරුවන්ට තව තවත් මහජනයා මුලා කරමින් ඔවුන්ගේ ධනය කොල්ල කෑමට ඉඩ ප්‍රස්ථාවක් සැලසෙන බව අපට ප්‍රායෝගිකව පෙනෙන්නට තිබේ. ඒ නිසා මේ අඩුපාඩුව මඟ හැරවීමට පියවර ගත යුතුව ඇත. එය ඇතැම් විට පවතින නීතිය තවත් ශක්තිමත් කිරීම හෝ අලුත් නීතියක් ගෙන ඒම ද විය හැකිය.

● නීතියේ සඳහන් දේ ක්‍රියාත්මක නොවීම

එසේ නම් යම් පිරමිඩ යෝජනා ක්‍රමයක් ගම් මට්ටමින් ප්‍රචාරය කරන විට (ඒ ආයතනය පිරමිඩ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන යන බවට මහ බැංකුව නිර්ණය කිරීමෙන් පසු) ඒ ප්‍රචාරය කරන අය හෝ මහජනයා රැස් කර දේශනයක් හෝ යම් ඉදිරිපත් කිරීමක් කරන විටම අදාළ ස්ථානය වටලා ඒ අය අත්අඩංගුවට ගත හැකි නම් මේවා බොහෝ දුරට මැඬලිය හැකිය. අප සිතන්නේ පවතින නීතියෙන් පවා ඒ සඳහා හැකියාව තිබෙන බවයි. මේ සම්බන්ධව නීතියේ සඳහන් වන්නේ යම් තැනැත්තකු 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තියේ විධිවිධාන කඩකරන ආකාරයේ යෝජනා ක්‍රම කෙළින්ම හෝ අන්‍යාකාරයෙන් ආරම්භ කිරීම, අර්පණය කිරීම (යෝජනා කිරීම), ප්‍රවර්ධනය කිරීම, ප්‍රචලිත කිරීම, පැවැත්වීම, එවැනි යෝජනාක්‍රම සඳහා මුදල් සැපයීම හෝ එවැනි යෝජනාක්‍රම කළමනාකරණය කිරීම හෝ මෙහෙයවීම සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි. මෙසේ පිරමිඩ යෝජනා ක්‍රම ප්‍රවර්ධනය කිරීම පමණක් නොව එවැනි යෝජනා ක්‍රමවලට සහභාගිවීම ද නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. මහ බැංකුවම මෙසේ කියන නමුත් එසේම නීතියේ ඒ ගැන සඳහන් වන නමුත් ගම්මට්ටමින් ප්‍රසිද්ධියේ මේවා අර්පණය කිරීම (යෝජනා කිරීම), ප්‍රවර්ධනය කිරීම, ප්‍රචලිත කිරීම සහ පැවැත්වීම නිදහසේ සිදු වෙමින් තිබේ. ඒ නිසා අවශ්‍ය වන්නේ පවතින නීතියේ සඳහන් දේ හෝ ක්‍රියාත්මක වීමයි. එසේත් නැත්නම් නව නීති ගෙනවිත් හෝ මේවා ශක්තිමත්ව මර්දනය කිරීමට පියවර ගැනීමයි. ඒ ගැන මේ ලියුම්කරු විසින්ම මහ බැංකු මාධ්‍ය හමුවල දී කරුණු දක්වා ඇත. එහෙත් යම් ආයතනයක් මහ බැංකුව විසින් තහනම් යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කළ ආයතනයක් ලෙස නිර්ණය කරනවා මිස නීතියේ තිබෙන ප්‍රතිපාදන අනුව ආදාළ ප්‍රවර්ධකයන් පොලිසියෙන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමක් සිදු වෙන බවක් නම් අපට පෙනෙන්නට නැත. නීතියේ ප්‍රතිපාදන තිබියදී පවා ඒ සම්බන්ධයෙන් බලධාරීන් හෝ පොලිසිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි? ගම් මට්ටමින් බලගතු අය මෙන්ම ඇතැම් විට පොලිස් නිලධාරීන් පවා මේවාට සම්බන්ධ වී සිටිය හැකි නිසා ගමේ පොලිසියේ නිලධාරීන්ට පමණක් මෙවැනි වැටලීමක් පහසුවෙන් කළ හැකි යයි අපි නොකියමු. ඒ සඳහා මහ බැංකුවේ තාක්ෂණික සහාය ද ඇතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගමේ පොලිසියේ ද සහය ඇතිව මේ වැටලීම් කළ හැකි වනු ඇත. උපාය දූතයින් ලෙස මේ ප්‍රවර්ධන රැස්වීම්වලට සහභාගි වී රැස්වීම අවසානයේ මේ ප්‍රවර්ධකයන්ව අදාළ උපකරණ සහ පත්‍රිකා සමගම අල්ලා ගැනීමට ද හැකියාව ඇති බව අපගේ අදහසයි. එහෙත් එවැනි දෙයක් නම් සිදුවනු අපට දැකගත නොහැකිය.

● පිරමිඩ ක්‍රමවලට එරෙහි නව නීතිය…

රටපුරා පැතිරී ඇති පිරමිඩ යෝජනා ක්‍රමවලට එරෙහිව ශක්තිමත්ව ක්‍රියා කළ හැකි අංගසම්පූර්ණ නව නීතියක් හඳුන්වා දෙන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ගිය වසරේ (2023) ජුනි 20 වැනිදා මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති සම්මන්ත්‍රණයකදී කීවේය. එම නීතිය සම්පාදනය කිරීම සඳහා තමා කමිටුවක් පත්කර ඇති බවද, දැනට පිරමිඩ යෝජනා ක්‍රමවලට එරෙහිව ක්‍රියාත්මකවීම සඳහා ප්‍රමාණවත් නීතියක් රටේ නැති බවද අධිකරණ ඇමැතිවරයා එහිදී කියා සිටියේය. පිරමිඩ ජාවාරම මැඬලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය කාලයේ නිසි පරිදි ක්‍රියාත්මක වී නැති බව ද මේ පිරමිඩ කියන දේ දශක ගණනාවක් තිස්සේ මේ රටේ තිබුණ බව ද අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා එහිදී මෙසේ ද ප්‍රකාශ කළේය.

“අප පැමිණිලි කළාට පසු මහ බැංකුව යම් පියවරක් අරන් තිබෙනවා. ඒ අනුව යම් ගිණුම් තහනම් කරලා තිබෙනවා. අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. ඉදිරියේදී මම සඳහන් කළ කමිටුවෙන් අදාළ නීති කෙටුම්පත ලැබුණු පසු ඒ නීතියත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.”

මේ අප සඳහන් කළේ ගිය වසරේ (2023) ජුනි මාසයේ දී අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා කළ කතාවක් ගැනය. එම සම්මන්ත්‍රණයට මේ ලියුම්කරු ද සහභාගි වී සිටිය අතර එය ඇසූ අපි බෙහෙවින් සතුටට පත් වූයෙමු. එහෙත් ඒ කියූ පරිදි පිරමිඩ යෝජනා ක්‍රමවලට එරෙහිව නව නීතියක් නම් තවමත් නීතිගත වී ඇති බවක් අපට දැනගන්නට නැත. ඒ නිසා විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාගෙන් ඔහු සඳහන් කළ, පිරමිඩ යෝජනා ක්‍රමවලට එරෙහිව ශක්තිමත්ව ක්‍රියා කළ හැකි අංගසම්පූර්ණ නව නීතියට සිදු වූයේ කුමක් දැයි අපි ප්‍රශ්න කරමු.

● නීතිපතිවරයාට යොමු කිරීම

පවතින නීතිය අනුව දැනට බොහෝ දුරට සිදු වන්නේ තහනම් යෝජනා ක්‍රම පවත්වාගෙන යන බවට නිර්ණය කරන ආයතනවලට එරෙහිව බැංකු පනතට අනුව අපරාධමය නඩු කටයුතු පැවරීමට හැකියාව පවතින බැවින් ඒ පිළිබඳව සලකා බලන ලෙස නීතිපතිවරයා වෙත මහ බැංකුවෙන් ඉල්ලීමක් කිරීමයි. ඒ අනුව ගිය වසරේ (2023) ප්‍රකාශයට පත් කළ ආයතනවලට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග කවරේ ද යන්න ගැනත් එම දෙපාර්තමේන්තුව සහ මහ බැංකුව විසින් මහජනයා දැනුම්වත් කරන්නේ නම් ඉතා මැනවි. ඒ නිසා මහ බැංකුව දැනට කරමින් තිබෙන දේ ඉතාම අගය කරන අතරම මේ ජාවාරම් තවත් ශක්තිමත් ලෙස මර්දනය කිරීමට අවශ්‍ය මැදිහත්වීම කරන ලෙස ද මහ බැංකුවෙන් සහ අධිකරණ ඇමැතිවරයාගෙන් ද අපි ඉල්ලා සිටිමු.

● කොතෙක් දැනුවත් කළත්..

මහ බැංකුව විසින් විවිධ පිරමිඩ ක්‍රමවල ස්වරූප සහ ඒවා මගින් ඇති කරන හානිකර ප්‍රතිවිපාක ගැන අතීතයේ දී මෙන්ම වර්තමානයේ ද කොතෙකුත් ජනසමාජය දැනුවත් කරයි. මාධ්‍යවේදීන් වශයෙන් අප ද විටින් විට මේ ගැන ලිපි ලියමින් ජනයා දැනුවත් කළත් මේ පිරමිඩ ජාවාරම්කරුවෝ ඈත එපිට ගම්මානවලට පවා ගොස් මේ ජාවාරම් ගැන ජනයා රවටා ගැනීමට සමත්ව ඇත. මේවාට අහුවෙන ජනයා ද උත්සාහ ගන්නේ, දුක් මහන්සියෙන් මුදල් හම්බු කිරීමට වඩා ලේසි ක්‍රමයකට මුදල් සෙවීමට ය. තම මුදලට වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමටය. එහෙත් එසේ කියා නීති විරෝධී ජාවාරම්වලට හසු වුවහොත් පාඩුව ඔබටමය. මිනිසුන් තුළ ස්වභාවයෙන්ම ධන තණ්හාවක් තිබේ. ඒ නිසා ද බොහෝ දෙනෙක් මේ ජාවාරම්වල ගොදුරු බවට පත්ව තවත් දන්නා කියන තම හිතවත් අයවත් ඒවායේ ගොදුරු බවට පත් කරමින් ද සිටී. මේ ජාවාරම්වල ආදායම් උපයන්නේ භාණ්ඩ විකිණීමේ අයිතිය තවත් කෙනෙකුට විකිණීමෙන් මිස භාණ්ඩයක් විකිණීමෙන් නොවීම ද විශේෂත්වයකි. එනම් මේ ක්‍රමවල දී ඔබට භාණ්ඩයක් මිලදී ගෙන අවසාන පාරිභෝගිකයකු වීමට නොහැකි අතර ඔබට තවත් අය මේ සඳහා සම්බන්ධ කිරීමට (ගොදුරු කිරීමට) සිදුවනු ඇත. මෙහි රැවටීම ඇත්තේ භාණ්ඩයේ නොව, අලෙවි උපක්‍රමයේය. ඔබ නොදැනුවත්ව හෝ පිරමිඩ ජාවාරමකට හසුව ඇත්නම් ඔබ කළ යුත්තේ තවත් අය එම ජාවාරමට ගොදුරු කර දීම නොව, ඔබ මුදල් දුන් අයගෙන්ම එම මුදල් ඉල්ලා සිටීමයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@gmail.com

advertistmentadvertistment
advertistmentadvertistment