වැඩි වැඩ වැඩි ලෙඩ, අඩු වැඩ අඩු ලෙඩ, වැඩ නැත ලෙඩ නැත

1034

හැටන් පොලිස් වසමට අයත් වතු යායක පිහිටි හින්දු කෝවිලකට ඇතුළු වූ පිරිසක් පිං කැට දෙකක් රැගෙන ගොස් ඇති බව හැටන් පොලිසිය කියයි. එසේම මන්නාරම් අධිකරණයේ තිබූ නඩු භාණ්ඩ කිහිපයක් සොරකම් කළ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊට අමතරව මාලබේ පොලිසියේ නිලධාරීන් 4 දෙනෙක් පුද්ගලයකුගේ රන් මාලයක් සහ ජංගම දුරකථනයක් සොරකම් කළේය යනුවෙන් සැකපිට දැනට අත්අඩංගුවේ සිටිති. ඇතැම් දෙනා උත්සාහ කරන්නේ රටේ පවතින උද්ධමනය නිසා මේ තත්ත්වය හටගන ඇති බවය. එය පල් බොරුවකි. උද්ධමනය තිබුණත් නැතත් හැම රටකම හොරකම් තිබෙන අතර උද්ධමනය තිබුණත් නැතත් හොරා හොරකම් කරයි. කුඩුකාරයාට කුඩුවලින් ගැලවීමට නොහැකි සේම වෘත්තීය සොරාට ස්වකීය චෞර වෘත්තියෙන් ගැලවීමට නොහැක. බේබද්දාගේ ඇඟ විසින් අරක්කු හෝ කසිප්පු ඉල්ලනු ලැබේ.

ඒ ආකාරයෙන් ම වෘත්තීය සොරාගේ ඇඟ ඉල්ලන්නේ ද හොර බඩුමය. සාමාන්‍යයෙන් කාගේ හෝ ගෙලෙහි තිබෙන රන් මාලයක් කඩා ගන්නා විට එය අපහසු කාරණයක් වන්නේ නම් මාලයත් සමග බෙල්ලත් කපාගෙන යෑමේ වැඩපිළිවෙළක් ඇතැම් අප්‍රිකානු රටවල තිබේ. ඒ අතින් ලංකාවේ හොරු යම් ප්‍රමාණයකට ආචාරශීලී ය. ඔවුහු හදිසි අනතුරකට ලක් වූ කාන්තාවන්ගේ කන් පෙතිවල ඇති රන් කරාබු කන් පෙත්තත් සමගම කඩා ගැනීම වැනි දෙයක් මිස මාලයත් සමග ගෙල කපාගෙන යෑමක් සිදු කරන්නේ නැත. හොරා ආචාරශීලී යැයි කීමෙන් අප උත්සාහ කරන්නේ චෞර වෘත්තිය ප්‍රවර්ධනය කිරීමට නොවේ. ඇතැම් නැව් ගිලපු සොරු ද රටේ යහතින් ජීවත් වෙති. එහෙත් මාලය කැඩූ රාළහාමිලා හතරදෙනා පෙර තිබූ කරුමයකට අනුව බලධාරීන්ට හසු විය. අද අප උත්සාහ කරන්නේ චෞර වෘත්තිය හෝ චෞර ආචාර ධර්ම ගැන පැහැදිලි කිරීමට නොව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී පැවැති සහතික ප්‍රදානෝත්සවයකදී පැවසූ වැදගත් කතාවක් ගැනය.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන්ගෙන් 75% ක් ම කලා හා වාණිජ උපාධියට යොමුවන බවත් 25% ක් පමණ විද්‍යා උපාධියට යොමුවන බවත් එය රටේ අනාගතයට සහ විද්‍යාත්මක නවෝත්පාදනයන්ට බාධාවක් බවත් ඇමැතිවරයා පවසා තිබේ. සුසිල් ප්‍රේම්ජයන්ත් ඇමැතිවරයා කියන පරිදි මේ තත්ත්වය වෙනස් විය යුතුය. එසේම අධ්‍යාපන ඇමැති ලෙස අවස්ථා කිහිපයකදී ම කටයුතු කළත් මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා දායක වීමට සුසිල් ප්‍රේම්ජයන්ත්ට බැරි විය. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සිසුන් ඇතුළත් කර ගන්නේ ඔවුන් අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් ලබන ප්‍රතිඵල මත ය. ලංකාවේ විද්‍යා අධ්‍යාපනයට දරුවන් යොමුකිරීමක් නැති බැවින්, කුමක් හෝ උපාධියක් ලබාගෙන රැකියාවක් ලබාගැනීම සඳහා පාසල් දරුවෝ පාඩම් කරති. ඔවුන්ගේ අවසාන අරමුණ වන්නේ ආණ්ඩුවේ ක්ලාක් කෙනෙක් වීම, එකවුන්ටන් කෙනෙක් වීම, පරිපාලන නිලධාරියෙක් වීම හෝ වැටුප් ලබන මොකෙක් හෝ වීම ය. මෙකී ‘මොකෙක් හෝ’ වීමේ සංකල්පය තුළ ඵලදායී වෘත්තිකයන් බිහිවන්නේ නැත. ඒ නිසා ශ්‍රී ලංකාව තවදුරටත් පිටරටින් යැපෙන, පිටරටින් ණය ගන්නා, ණය නැතිව ජීවත් වීමට නොහැකි අමුතුම මොඩ්ල් එකේ රටක් බවට පත්ව ඇත.

ඇමැතිතුමා නොදන්නවාට විද්‍යා අධ්‍යාපනය ලද දරුවන් පමණක් නොව කලා හා වාණිජ විෂයයන් කළ දරුවෝ ද නවෝත්පාදන බිහි කරති. මේ නවෝත්පාදන බිහිකරන්නේ කොළඹ 07 ජාතික පාසල් පද්ධතියේ දරුවන් නම් එම නවෝත්පාදන දියුණු කර ගැනීම සඳහා අනුග්‍රහයක් ලබා ගැනීමට හැකිය. නවෝත්පාදන කරන කොලුවා හෝ කෙල්ල වන්නි හත්පත්තුවේ හෝ ජාතික නොවන පාසලක දරුවෙක් නම් එකී නවොත්පාදනය ටීවී එකේ නිවුස් එකකටත් පත්තරේ ප්‍රවෘත්තියකටත් පමණක් සීමා වෙයි. ගත වූ අවුරුද්ද තුළ සූර්ය බලයෙන් පණ ගැන්වෙන විවිධ නිර්මාණ කළ ළමයින් විශාල ප්‍රමාණයක් රූපවාහිනියෙන් අපි දුටුවෙමු. ඇතැම් ළමයෙක් පොල් කැඩීම සඳහා කිසිදු පෙරහුරුවක් නැති අයෙකුට වුවද පොල් ගස් නැගීම සඳහා උපකාරී වන සරල යන්ත්‍රයක් නිපදවීය. මේ යන්ත්‍රය බැටරියෙන් ක්‍රියාකරන එකක් නොව තනිකරම මිනිස් ශ්‍රමයෙන් ක්‍රියාකරන යන්ත්‍රයකි. ඒ අතර තවත් ළමයෙක් හෙලිකොප්ටරයක් බාගෙට සෑදුවේය. මේ හෙලිකොප්ටරයේ ඉතිරි ටික නිම කිරීම සඳහා සිවිල් ගුවන් සේවා ආයතනයේ අනුමැතිය අවශ්‍යය. සිවිල් ගුවන් සේවා ආයතනයේ අනුමැතිය ලැබුණේ නම් මේ දරුවාගේ නිර්මාණයේ ඉතිරි ටිකත් ප්‍රවර්ධනය කර ශ්‍රී ලංකාව තුළ ගුවන් යානා සෑදීමේ තාක්‍ෂණය පිළිබඳ අත්හදා බැලීමට බලධාරීන්ට ඉඩ තිබිණ. ශ්‍රී ලංකාව තුළ ගුවන් යානා සෑදීමට පුළුවන. ඒ බව ඔප්පු කරන ලද්දේ ප්‍රභාකරන් විසිනි. ප්‍රභාකරන් සතුව සැකිලි ගුවන් හමුදාවක් විය. ගුවන් යානා ඉදිකිරීම් තාක්‍ෂණය දත් එක් පුද්ගලයෙක් ද ප්‍රාථමික ගුවන් යානා පැදවීමට දත් පුද්ගලයන් කිහිපදෙනෙක් ද ප්‍රභාකරන් යටතේ සිටියහ. ප්‍රභාකරන් කොළඹට බෝම්බ දමන ලද්දේ මේ කියන සැකිලි ගුවන් හමුදාව විසිනි. ප්‍රභාකරන් තව ටික දවසක් සිටියේ නම් කොළඹට පහරදීම සිදුවන්නේ ජෙට් යානාවලිනි.

ශ්‍රී ලංකාවේ ඇති ලොකුම අවුල වන්නේ කිසිම වැඩක FOLLOW UP එකක් හෙවත් පසුවිපරමක් නැති වීමය. ඒ පදනම මත නව නිෂ්පාදනයක් වැදගත් වන්නේ ටීවී චැනල් හා පත්තරවලට පමණි. ඒ නව නිෂ්පාදන වැඩිදියුණු කිරීම සඳහා ප්‍රතිපාදන ලබා දීමට ටීවී චැනල්වලට හෝ පත්තරවලට බැරිය. මේ වන විට
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන රන් එක දෙන්නේ ද ඉතාම අමාරුවෙනි. මේ කාරණා සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවේ විද්‍යා අධ්‍යාපනය පුළුල් කරන අතරම නව නිෂ්පාදන ඉදිරිපත් කරන දරුවන් වෙනුවෙන් පසුවිපරම් වැඩසටහනක් ආරම්භ කරන ලෙස ද අපි අධ්‍යාපන ඇමැතිතුමාගෙන් ඉල්ලමු. ඔහුට සහයෝගය දීම වැඩිදෙනා විසින් ප්‍රතික්‍ෂේප කිරීමට ඉඩ ඇත. වැඩි වැඩ වැඩි ලෙඩ, අඩු වැඩ අඩු ලෙඩ, වැඩ නැත ලෙඩ නැත යනුවෙන් තියරියක් ලංකාවේ තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment