වැඩි වූ උද්ධමනය අඩු වන ලකුණු…

570

බඩු මිල සහ උද්ධමනය

පසුගිය කාලයේ දිගින් දිගටම බඩු මිල වේගයෙන් ඉහළ ගියේය. මේ නිසාම මාසයෙන් මාසය උද්ධමනය ද වේගයෙන් ඉහළ ගියේය. මේ ඉහළ යන බඩු මිල අඩු වෙයි ද සහ දිගටම වැඩි වෙමින් තිබෙන උද්ධමනය අඩු වෙයි ද යන්න බොහෝ දෙනෙක් විමසන කරුණකි. එහෙත් මේ බඩු මිල අඩු වීම සහ උද්ධමනය අඩු වීම යනු එකක් නොව දෙකකි. උද්ධමනය යනු පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහළ යෑමයි. එය මනිනුයේ මිල දර්ශකවලිනි. දැනට ප්‍රධාන වශයෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙන් සහ ජාතික පාරිභෝගික මිල දර්ශකයෙන් මෙරට උද්ධමනය මනිනු ලබයි. මේ අනුව උද්ධමනයෙන් මනිනු ලබන්නේ බඩු මිල වැඩි වීමේ වේගයයි. කෙතරම් වේගයකින් බඩු මිල වැඩි වන්නේ ද යන්නයි. ඒ නිසාම උද්ධමනය අඩු වීම යනු බඩු මිල අඩු වීම නොව බඩු මිල වැඩි වීමේ වේගය අඩු වීම බව අප තේරුම් ගත යුතුව ඇත. ඒ අනුවම උද්ධමනය වැඩි වීම යනු බඩු මිල වැඩි වීමේ වේගය තවත් වැඩි වීමයි. මේ අනුව උද්ධමනය අඩු වීම යන්නෙන් අප තේරුම් ගත යුතු වන්නේ තවදුරටත් බඩු මිල වැඩි වෙමින් තිබෙන නමුත් බඩු මිල වැඩි වීමේ වේගය අඩුවීම ලෙසයි. බඩු මිල හෙවත් පොදු මිල මට්ටම අඩු වන්නේ අවධමන තත්ත්වයකදීය.

වැඩි වූ උද්ධමනය අඩු වන ලකුණු…

අංක එකේ මහජන සතුරා

අපට ජීවත් වීම සඳහා නොයෙකුත් භාණ්ඩ හා සේවා දිනපතාම පරිභෝජනය කිරීමට සිදු වේ. ඒ නිසා අපට උද්ධමනය හමුවේ නිරන්තරයෙන්ම කලින්ට වඩා වැඩි මිලක් අපට අවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා ගෙවීමට සිදු වේ. එනම් සමාජයේ ජීවත්වන කිසිවෙකුටත් මේ උද්ධමනයෙන් බේරෙන්නට පුළුවන්කම නැති බවයි. දිනෙන් දිනම මහජනයා පෙළමින් මහජනයාට සතුරුකම් කරන බැවින් අංක එකේ මහජන සතුරා ලෙස සැලකෙන්නේ ද උද්ධමනයයි. මේ උද්ධමන සතුරා විනාශ කළ නොහැකිය. ඒ සම්බන්ධයෙන් අපට කළ හැකි වන්නේ එය හැකිතාක් දුරට මර්දනය කර පාලනය කර ගැනීමයි. එනම් සියයට 3 – 4 වැනි අවම මට්ටමකට උද්ධමනය අඩු කරගෙන එය ස්ථාවරව පවත්වාගෙන යෑමයි. මිල මට්ටමේ ස්ථාවරත්වයක් ඇති කර ගැනීමයි. එහෙත් පසුගිය කාලයේ මුදල් අච්චු ගැසීම සහ අපගේ විනිමය අනුපාතය විශාල වශයෙන් පිරිහීම නිසා ඛනිජ තෙල් ඇතුළු අපගේ සියලුම ආනයනික භාණ්ඩ හා සේවා මිල ගණන් විශාල වශයෙන් වැඩි විය. එය උද්ධමනය වැඩි වීමට ද හේතුවක් විය.

ලොකුම බද්ද

මෙසේ අංක එකේ මහජන සතුරා ලෙස සලකන අතරම උද්ධමනය මහජනයාට මුහුණ දීමට සිදුවන ලොකුම බද්ද ලෙස ද ප්‍රකාශ වේ. එනම් රජය භාණ්ඩ හා සේවා මත වක්‍ර බදු වැඩි නොකළත් උද්ධමනය පාලනය කර ගැනීමට අසමත් වන්නේ නම් මහජනයාට භාණ්ඩ හා සේවා මිල දී ගැනීම සඳහා දිගින් දිගටම පෙරට වඩා වැඩි මිලක් ගෙවීමට සිදු වේ. එසේ වීම හරහා ද සිදු වන්නේ මහජනයා විශාල බද්දකට යටත් වීමයි. දැන් සිදුව ඇත්තේ සියයට 15 දක්වා වැඩි කළ වැට් බද්ද ඇතුළු රජය විසින් වැඩි කරන ලද වක්‍ර බදු බරට අමතරව උද්ධමනය වැඩි වීම හරහා ද ඊට අතිරේකව විශාල බද්දකට මහජනයා යටත් වීමයි. මේ හරහා මේ වන විට දුප්පත් සහ අඩු ආදායම්ලාභී ජනයා පමණක් නොව මධ්‍යම ආදායම් මට්ටම් ලබමින් සිටි ජනයාට පවා විශාල බරක් පැටවී ඇත. විශේෂයෙන් මාසික වැටුප් ආදායම් ලබන ජනයා විශාල වශයෙන් අසරණ වී ඇත. ඔවුන්ගේ මාසික වැටුප එතනම තිබියදී පසුගිය කාලයේ භාණ්ඩ මිල ගණන් අහස උසට වැඩි වීම නිසා මේ වන විට ඔවුන්ගේ වැටුපෙන් ජීවත් වීම බෙහෙවින් දුෂ්කර වී ඇත. වැඩි වූ ප්‍රවාහන ගාස්තු හමුවේ දිනපතා රැකියාවට යෑම පවා දුෂ්කර තත්ත්වයක් බවට පත්ව ඇත. මීට පෙර කොරෝනා වසංගතය හමුවේ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම සහ ලොක් ඩවුන් කිරීම හමුවේ දිනපතා රැකියාවට සේවකයන් ගෙන්වා ගැනීම වෙනුවට දින කිහිපයක් නිවසේ සිට වැඩ කිරීමට ඉඩ දෙනු ලැබිණි. එහෙත් පසුව රාජ්‍ය සේවකයන්ට මෙන්ම පෞද්ගලික අංශවල සේවකයන්ට ද සතියේ දින පහේම සේවයට වාර්තා කිරීමට දැනුම් දෙනු ලැබිණි. එහෙත් මේ ලියුම්කරු සිතන්නේ වැටුප් එතනම තිබියදී පසුගිය කාලයේ වැඩි වූ අධික ප්‍රවාහන ගාස්තු හමුවේ තවදුරටත් සතියකට දින කිහිපයක් නිවසේ සිට වැඩ කිරීමට ඉඩ දීම වඩාත් සුදුසු බවයි. ඇතැම් ආයතන එසේ කරමින් ද සිටියි. බොහෝ අංශවල පෞද්ගලික ආයතනවලට රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ සේවක වැටුප් වැඩි කිරීමට තබා දැනට ගෙවන වැටුප ගෙවීම පවා අමාරු තත්ත්වයකට පත්ව ඇත. ඒ හමුවේ නිවසේ සිට වැඩ කිරීමට ඉඩ ලැබීමෙන් ඒ සේවකයාට බස් එකට දෙන ගාස්තුව හෝ ඉතුරු වීමෙන් යම් සහනයක් සැලසේ. උදාහරණයක් ලෙස ඇතැම් සේවකයන්ට මේ වන විට බස් ගාස්තුව ලෙස දිනකට රු.500 කට අධික මුදලක් වැය කිරීමට සිදුව ඇත. සතිකට දින දෙකක් නිවසේ වැඩ කිරීමට ඉඩ ලැබෙන්නේ නම් එම සේවකයාට සතියකට රු.දහසකට වැඩි මුදලක ඉතුරුවක් ඇති වෙන අතරම ආයතනයේ රාජකාරිය ද ඉටු වේ.

වැඩි වූ උද්ධමනය අඩු වන ලකුණු…

සැප්තැම්බර් මස උද්ධමනය

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ සැප්තැම්බර් මාසයේ උද්ධමනය ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළේය. ඒ අනුව 2022 අගෝස්තු මාසයේ පැවැති සියයට 70.2 ක් වූ උද්ධමනය ඉකුත් සැප්තැම්බර් මාසයේ දී සියයට 73.7ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු වී ඇත. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවැති සියයට 84.6හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 85.8 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 57.1හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 62.8 දක්වා ඉහළ ගොස් තිබේ.

මෑතකාලීනව පෙන්නුම් කළ මාසික උද්ධමනයෙහි පහළ යෑම 2022 සැප්තැම්බර් මාසයේදී ද දක්නට ලැබුණි. ඒ අනුව, 2022 සැප්තැම්බර් මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 2.34ක් වූ අතර, ආහාර නොවන සහ ආහාර කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින් සියයට 1.96කින් සහ සියයට 0.38කින් ඉහළ යෑම මේ සඳහා හේතු විය. ආහාර නොවන කාණ්ඩය තුළ 2022 සැප්තැම්බර් මාසයේ දී, නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (විදුලි ගාස්තු, භූමිතෙල් සහ ජල ගාස්තු) හා විවිධ භාණ්ඩ සහ සේවා යන උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහළ ගියේය. මේ අතර, ආහාර කාණ්ඩය තුළ පලතුරු, තිරිඟු පිටි සහ කුකුල් මස් මිල ගණන් ඉහළ යන ලදි. එසේ වුවද සහල්, සීනි සහ පරිප්පු මිල ගණන් 2022 සැප්තැම්බර් මාසයේදී පහළ ගොස් තිබේ.

මේ අතර වාර්ෂික සාමාන්‍ය උද්ධමනය, 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 31.3හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 36.9 දක්වා ඉහළ ගොස් ඇත. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 60.5හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 64.1 දක්වා ඉහළ ගිය අතර වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 26.0හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 31.0 දක්වා ඉහළ ගියේය.

උද්ධමනය ආපසු අඩු වෙයි ද?

මෙසේ දිගින් දිගටම පසුගිය කාලයේ උද්ධමනය වේගයෙන් ඉහළ ගියේය. මේ හමුවේ අප ගමන් කරමින් සිටින්නේ අධි උද්ධමන තත්ත්වයකට ද යන ප්‍රශ්නය ද අපට මතු විය. එහෙත් අධි උද්ධමන තත්ත්වයකට රට ගමන් කිරීමෙන් වළක්වා ගැනීම මහ බැංකුවේ උත්සාහය වී ඇත. දැනට ඇති ඉහළ පොලී අනුපාත

ගැන බොහෝ අයට විවේචනයක් තිබුණත් පොලී අනුපාත වැඩි කිරීම ඇතුළු ප්‍රතිපත්තිමය පියවර ගත්තේ ඒ සඳහාය. කෙසේ හෝ මහ බැංකුවේ පසුගිය මූල්‍ය ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කිරීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ වූයේ උද්ධමනය ඔක්තෝබර් මස සිට අඩු වනු ඇති බවයි. එනම් නුදුරු කාලීනව මතුපිට උද්ධමනය අඛණ්ඩව පහළ යනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි. මේ බව එම මාධ්‍ය හමුවේ දී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද කීවේය. ඒ අනුව ඔහු කීවේ මේ මස අග සිට කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය ඊට පෙර මාසයට සාපේක්ෂව අඩුවනු ඇති බවයි. මෙසේ ඉදිරියේ දී උද්ධමනය අඩු වීමේ අපේක්ෂාව ගැන මහ බැංකුවේ පසුගිය මූල්‍ය ප්‍රතිපත්ති විවරණ වාර්තාවේ සඳහන් වන්නේ මෙසේය.

‘ප්‍රධාන වශයෙන් මෑත කාලීනව සිදු කළ විදුලි හා ජල ගාස්තු සංශෝධන සහ එකතු කළ අගය මත බද්ද ඉහළ දැමීම හේතුවෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී ඉහළ ගියේය. කෙසේ වෙතත් ඉදිරි කාලය තුළ මතුපිට උද්ධමනය අඛණ්ඩව පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් සමස්ත ඉල්ලුම් පීඩන අඩු වීම, දේශීය සැපයුම් තත්ත්වයන්හි අපේක්ෂිත වර්ධනයන්, ගෝලීය ආහාර සහ අනෙකුත් වෙළෙඳ භාණ්ඩවල මිල ගණන් පහළ යෑම සහ එවැනි මිල ගණන් අඩු වීම කාලානුරූපීව දේශීය මිල ගණන් අඩු වීමට දායක වීම මෙන්ම හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම මැදිකාලීනව උද්ධමනය අඩු වීමට උපකාරී වනු ඇත.’

දැඩි මුදල් ප්‍රතිපත්තිය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පසුගිය ඔක්තෝබර් මස 05 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළ බව අපි දනිමු. මුදල් මණ්ඩලය විසින් දැනට පවතින දැඩි මුදල් තත්ත්වය, උද්ධමනය ඉහළ යෑමේ වේගය අඩු වීම සහ දේශීය හා ගෝලීය සාධකවල සහාය ලබමින් නුදුරු කාලීනව අපේක්ෂිත උද්ධමනය අඛණ්ඩව පහළ යෑමේ ක්‍රියාවලිය සලකා බලා මේ තීරණය ගෙන ඇත. ඉදිරි කාලය තුළ අපේක්ෂිත උද්ධමනය අඛණ්ඩව පහළ යෑමේ ක්‍රියාවලිය සාක්ෂාත් කර ගැනීම සඳහා මුදල් තත්ත්වය ප්‍රමාණවත් තරම් දැඩිව පවතින බව මුදල් මණ්ඩලයේ අදහස වී ඇත. දැනටමත් ක්‍රියාත්මක වන දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම් සඳහා දැඩි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සහාය වනු ඇති බවත් සමස්ත ඉල්ලුම් පීඩන ගොඩනැගීම අවම කිරීමටත් එමගින් උද්ධමන අපේක්ෂා පාලනය කිරීමටත් හැකිවනු ඇති බව මහ බැංකුවේ අදහස වී ඇත. එසේම මැදිකාලීනව මතුපිට උද්ධමනය ඉලක්කගත සියයට 4-6 මට්ටම දක්වා පහළ දැමීමට එම ක්‍රියාමාර්ග උපකාරී වනු ඇතැයි ද මහ බැංකුව අපේක්ෂා කරයි. මේ සියලුම කරුණු අනුව පැහැදිලි වන්නේ උද්ධමනය ඉහළ යෑම පාලනය වී එය අඩු වීමට පටන් ගනු ඇති බවයි. එහි අදහස මුලින් සඳහන් කළ පරිදිම බඩු මිල අඩුවන බව නම් නොවේ. වාහනයක් පැයට කිලෝ මීටර් 70 ක වේගයෙන් යමින් තිබියදී එහි වේගය පැයට කිලෝමීටර් 65 දක්වා අඩු වූයේ යැයි සිතන්න. එහි අදහස වන්නේ වාහනය ඉදිරියට යන වේගය අඩු වූ බවයි. එහෙත් වාහනය තවදුරටත් පැයට කිලෝ මීටර් 65 ක වේගයෙන් යන්නේ ඉදිරියටම මිස පසුපසට නොවේ. බඩු මිල වැඩි වෙන වේගය හෝ පාලනය වී අධි උද්ධමන තත්ත්වයකට නොයා ක්‍රමයෙන් බඩු මිල වැඩි වීමේ වේගය පාලනය කරගත හැකි නම් එය ද සහනයකි. මීටත් වඩා අමාරු තත්ත්වයකට පත්වීම වළක්වා ගැනීමකි. කෙසේ වෙතත් මේ වැඩිවෙන බඩු මිලට මුහුණ දීම නම් විශාල අභියෝගයකි. ඒ සඳහා පඩිපත වැඩි නොවන තත්ත්වයක් තුළ ජනයාට හැකිතාක් තම වියදම් තවදුරටත් සීමා කර ගැනීමට සහ තවත් ආදායම් මාර්ග සොයා ගැනීමට ද සිදුවනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@ gmal.com

advertistmentadvertistment
advertistmentadvertistment