වැඩේ යන්නේ අනෙක් පැත්තටය

2241

අවසාන විග්‍රහයේදී අපට මෙසේද කිව හැකිය. මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වරද පමණක්ම නොවේ. ඡන්දය දීම හැර වෙන කිසිදු ආකාරයක දේශපාලනයක් මුළු ජීවිතේටම නොකළ, ඒ නිසාම කිසිදු දේශපාලන පළපුරුද්දක් නැති වෘත්තිකයකුට රට භාර දීමට මේ රටේ ජනතාව ගත් සංවේදී තීන්දුවත් මේ තත්ත්වයට වගකිව යුතුය. දැනට හටගෙන තිබෙන ඛේදවාචකයෙන් මේ රටේ ජනයා ගත යුතු පාඩමක් තිබේ. ඒ වූකලී දේශපාලනය ගැන පළපුරුද්දක් නැති වෘත්තිකයකුට රට භාර නොදීමට අදිටන් කර ගැනීම ය. දැනට යෝජනා වී ඇති භාරකාර ආණ්ඩුවේ අගමැති තනතුරට ප්‍රමුඛ නම් දෙකක් යෝජනා වී තිබේ. ඉන් පළමුවැන්න කරු ජයසූරියගේ නමය. දෙවැන්න සජිත් ප්‍රේමදාසගේ නමය. මේ දෙදෙනාම දේශපාලනඥයෝ වෙති. මේ රට භාර ගැනීමට සුදුසු තුන්වැන්නෙක් ගැන ද ජනතාව සිතා බැලිය යුතුය. කෙසේ වුවද ලංකාවේ දේශපාලනඥයන් තවදුරටත් ඇද ඇද ඉන්නවා නම් පිටරටින් දේශපාලනඥයකු ආනයනය කර හෝ භාරකාර අගමැති තනතුරට පත් කිරීමේ අවශ්‍යතාව දැඩිව මතුව තිබේ. ආණ්ඩුව මේ ආකාරයෙන් පණ නැති මළ මිනියක් මෙන් තිබුණොත් හමුදා පාලනයක් හට ගනිතැයි ජනතාව තුළ භීතියක් පවතී. ඒත් එවැන්නක් සිදුවීමට ඉන්දියාව කිසිසේත්ම ඉඩ දෙන්නේ නැත. එයට හේතු වන්නේ ලංකාවේ සිද්ධිය පාඩමකට ගනිමින් ඉන්දියාවේ ද හමුදා කුමන්ත්‍රණයක් ඇතිවී හමුදා ආණ්ඩුවක් පත්වීමට ඉඩ තිබීමය. ඉන්දියාව නිතරම ඉන්නේ ලංකාව දෙස බලාගෙනය. මේ රටේ සිදුවන හැම දේශපාලන සංසිද්ධියකම විභවය ඉන්දියාවට දැනේ. ප්‍රභාකරන් ට කොතරම් උදව් කළත් අන්තිම මොහොතේදී හෝ ඊළම බිහිවීම වැළැක්වීම ඉන්දියාවේ අරමුණ විය. ලංකාවේ ඊළමක් බිහිවුණේ නම් තමිල්නාඩුව තමන් ද වෙනම රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත්කර ගෙන ඉන්දියාවේ මහ ආණ්ඩුවෙන් වෙන් වනවා ඇත. තමිල්නාඩුව කැඩුණ ගමන් එහි අල්ලපු වැටේ තිබෙන ආන්ද්‍රා ප්‍රදේශයට ද වෙනම රාජ්‍යයක් අවශ්‍ය වේ. එයත් වෙනම රාජ්‍යයක් බවට පත්වුණොත් සතියක කාලයක් තුළ ඉන්දියාවේ සියලු ප්‍රාන්ත වෙනම රාජ්‍යයන් බවට පත්වන්නේය. එවිට ඉන්දීය අගමැතිට පාලනය කිරීමට ඉතිරි වන්නේ ඔහුගේ නිල නිවසත් එය පිහිටි ඉඩමත් පමණි. මේ නිසා හමුදා ආණ්ඩුවක් ගැන අප ඒ තරමටම බිය විය යුතු නැත. ඒත් ඉතින් මේ අස්ථිර ලෝකයේ මොනවා නම් සිදුවෙන්නට බැරිද?

 ගෝල්ෆේස් විරෝධතාවට පොහොට්ටුවේ දාමරිකයන් පහර දීමෙන් පසු රට පුරා පැතිර ගිය ප්‍රචණ්ඩ ක්‍රියා මාලාව වෙනත් පැත්තකට හැරී තිබේ. දැන් සිදුවන්නේ ගෝඨාභයට සහ මහින්දට එරෙහි වීමේ නාමයෙන් විරුද්ධවාදීන්ගේ ගෙවල් ගිනි තැබීම සහ දේපළ කොල්ලකෑමය. මේ වනවිට පොහොට්ටු මන්ත්‍රීවරුන් 53 කුගේ ගෙවල් ගිනිබත් කර ඇත. වාහන ගණනාවක් බේරේ වැවට තල්ලු කරන ලද අතර තවත් සුඛෝපභෝගී වාහන 194 ක් ගිනි තබා අළුකර ඇත. පොහොට්ටුවේ ආධාරකරුවන් ලෙස හඳුනාගත් අයගේ තරු පහේ හෝටල් කිහිපයක් ද තරු එකක් වත් නැති හෝටල් ද යෝෂිත රාජපක්ෂට අයත් යැයි කියන එහෙත් තමන්ට එබන්දක් අයත් නැති බව යෝෂිත රාජපක්ෂ කියන සුඛෝපභෝගී හෝටලයක් ද ගිනි තබා විනාශ කර ඇත. මේ අතර සමගි ජනබලවේගයේ සංවිධායකයන් කිහිපදෙනකුගේ ගෙවල්වලට ද පහර දී තිබේ. කඩ ගණනාවක් ද කඩන ලද අතර ඒවායේ තිබූ බඩු කොල්ලකා ඇත. මෙයින් හැඟී යන්නේ මෙතන වෙනත් සෙල්ලමක් ඇති බවය. 83 ජාතිවාදී කෝලාහලයේදී හටගත් ජාති ආලය මෙයට සම කළ හැකි බව පෙනේ. එම සිද්ධියේදී බඩු භාණ්ඩ පිරුණු කඩවල් දුටු ඇතැම් රට වැසියන්ගේ කටට කෙළ උනා අපමණ ජාති ආලයක් ඇති විය. එසේම ලස්සන තරුණ ගෑනු ළමයින් සිටින ගෙවල් ඉදිරිපිටදී ඔවුන් සතු මේ ජාති ආලය දෙගුණ විය. කඩ කොල්ල කෑමත් ස්ත්‍රී දූෂණයත් සිදුවීමට පටන් ගත්තේ මේ තිරිසන් ජාති ආලයේ ඊළඟ ප්‍රතිඵලය ලෙසිනි. 88, 89 දී යුද හමුදාව සහ ප්‍රා සංවිධානය පොලිසිය සමග එක්ව ජේවීපීකාරයන් හොය හොයා මරණ විට ක්ෂණිකව බිහිවූ සන්නද්ධ කණ්ඩායම් සමූහයක් ස්වකීය විරුද්ධවාදීන් සොය සොයා මරන්නට පටන් ගත්හ. කෙසේ වුවද පසුගිය දින කිහිපය තුළ හටගත් සිද්ධි සමූහයෙන් මේ රටේ රුපියල් බිලියන 500 කවත් දේපළ අළුවී යන්නට ඇති. මේ ගිනි තැබීම් හා විනාශ කිරීම් සඳහා බැස සිටියේ ඉතාම තරුණ අලුත්ම සෙට් එකකි. මේ සෙට් එක එන්නේ ටේ්‍රල් බයික්වලිනි. ඔවුහු ආ සැණින් පහර දීම සිදුකර පලා යති. පත්තු වෙන්නට පටන් ගත් ගින්දර බොහෝ විට නිවී යන්නේ වැඩේ ඉවර වී අළුත් ඉතිරි වූ පසුය. මේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන අතර මෙන්ම අදටත් පොලිසිය හෝ යුද හමුදාව බෙහෙතකටවත් සොයා ගැනීමට නැත. ආණ්ඩුව කොල්ලකෑම සඳහා මැරයන්ට ඉඩදී නිහඬව සිටි බවක් මෙයින් හැඟේ. සජිත් ප්‍රේමදාසට පහරදීම පවා අන්තිම තුච්ඡ වැඩකි. ඒ මනුස්සයා මේ රටේ විපක්ෂ නායක බව අප මතක තබාගත යුතුය. සජිත්ට පහර දුන් අයගේ හතර හන්දි කැඩිය යුතුය. එසේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ටොකු ඇනීම ද හෙල්මට් එකකින් ඔළුවට ගැසීම ද ඉතාම නීච වැඩකි. දේශබන්දු තෙන්නකෝන් සිවිල් පිට පාරට බැස්සේ කවර හේතුවක් මතද යන්න ව්‍යාකූලය. එනමුදු ඒ පහර දීම මගින් මේ රටේ පොලිස් සේවයේ ඉහළ ධුරාවලිය සම්පූර්ණයෙන්ම බාල්දු වෙයි. දේශබන්දු තෙන්නකෝන් වරදක් කර ඇත්නම් ඔහුට දඬුවම් දීමට අයිතියක් සිවිල් ජනතාවට නැති අතර එය නීතිය හරහා සිදුවිය යුත්තකි. දැනට මේ රටේ තිබෙන කෲර සහ තුච්ඡ තත්ත්වයට මුහුණ දිය හැකි දැඩි අගමැතිවරයකුගේ සම්ප්‍රාප්තිය අපි අපේක්ෂා කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment