වැඩ භාරගත් රංගාට අද වන තෙක් වාරණයක් පෙත්සම යළි අද කැඳවයි

196

පසුගිය 14 වැනිදා පැවැති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයේදී නව සභාපතිවරයා ලෙස තේරීපත් වූ ජේ. ශ්‍රී රංගා මහතා ඇතුළු නව නිලධාරී මණ්ඩලයට රාජකාරි කටයුතු ක්‍රියාත්මක නොකර නිලවරණයට පෙර පැවැති තත්ත්වයෙන්ම කටයුතු කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (18 දා) නියෝග කළේය.

පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමාර් මහතා විසින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ එරාජ් ද සිල්වා මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළහ.

ක්‍රීඩා ඇමැතිවරයා විසින් නිකුත් කළ නව රෙගුලාසි අනුව එකී නිලවරණයට ඉදිරිපත්වීමට නුසුදුස්සකු බවට තමන්ව නම්කර නිලවරණය පැවැත්වීමෙන්, පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී සේවාවක් කළ තමන්ට බලවත් අසාධාරණයක් වී ඇතැයි නීතිඥ දිමුතු කුරුප්පු ආරච්චි මහත්මියගේ උපදෙස් මත ගොනුකර තිබූ එම පෙත්සමෙන් ජස්වර් උමාර් මහතා පෙන්වාදී තිබිණි.

එම පෙත්සම යළි අද (19 දා) කැඳවීමට නියමිත අතර වගඋත්තරකාර ක්‍රීඩා අමාත්‍යවරයා, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා, නිලවරණ කමිටුව හා ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් ඒකකය වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිරංජන් ජයසිංහ මහතා සමග අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා පෙනී සිටියහ.

පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස පත් වූ ජේ. ශ්‍රී රංගා, ලේකම් ටී. එච්. එස්. ඉන්දික, නියෝජ්‍ය ලේකම් එස්. ආර්. එම්. එච්. අශාර්ඩි, භාණ්ඩාගාරික ටී. සුතාගර්, උප සභාපතිවරුන් වන එස්. ඩී. නාගහවත්ත, දීපිකා කුමාරි සහ ටී. අයි. උඩවර යන මහත්ම මහත්මීහු මෙහි වගඋත්තරකරුවෝ වෙති.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment