‘වැඩ ලක්‍ෂයෙන්’ 70%ක් පුස් – විගණනයෙන් හෙළිවෙයි

332

දේශීය බැංකු පද්ධතියෙන් රුපියල් කෝටි 8500 (බිලියන 85) ක් ලබාගෙන ග්‍රාමසේවා වසම් 14021 ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ ‘වැඩ ලක්‍ෂයක්’ වැඩසටහනේ ව්‍යාපෘති වලින් සියයට හැත්තෑවක්ම කිසිදු ප්‍රතිඵලයක් නොමැති ඒවා යැයි රජයේ විගණනයේදී තහවුරු වී ඇත.

අයවැය යෝජනාවකට අනුව මෙම ගත් මුදල් අදාළ බැංකුවලට පියවාගත නොහැකි වී තිබෙන අතර ආර්ථිකයට ඉන් තදබල හානියක් වී ඇතැයි ද විගණන නිලධාරීහු කියා සිටිති.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක විසිපහම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 336 ක ග්‍රාම නිලධාරි කොට්ඨාස 14021 ක් ආවරණය වන පරිදි සෑම ගමකටම රුපියල් මිලියනය බැගින් ලබාදෙමින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිවලට ලබාගත් දේශීය ණය පියවා ගැනීමට ද නොහැකි වී ඇතැයි විගණනයේදී හෙළිවී ඇත.

මොණරාගල, බදුල්ල, නුවරඑලිය ආදී දිස්ත්‍රික්කවල දියත් කළ ‘වැඩ ලක්‍ෂය’ට අදාළ ව්‍යාපෘති වලින් සියයට අසූ තුනක්ම අසාර්ථක බව ද විගණන වාර්තාවල දැක්වේ.

මෙම ව්‍යාපෘති ලබාගත් ඇතැම් කොන්ත්‍රාත්කරුවන්ට තවමත් මුදල් ලබාදී නැතැයි ද හෙළිවී ඇත.

හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා අයවැය මගින් මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් වැය කරමින් 2022 පෙබරවාරි 03 වැනිදා වැඩ ලක්‍ෂයක් ව්‍යාපෘතිය ආරම්භ කළේය.

ග්‍රාමීය ජීවනෝපාය නැංවීම, යටිතල පහසුකම් සැකසීම, සමාජ සංවර්ධනය, පරිසර සහ තිරසර සංවර්ධනය ඇති කිරීම ප්‍රධාන ඉලක්ක මත වැඩ ලක්‍ෂයේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබිණි.

කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කර තිබූ බොහෝ ව්‍යාපෘතිවලදී හිතවතුන්ගේ පෞද්ගලික මාර්ග පිළිසකර කිරීම සඳහා එම මුදල් වැයකර ඇත. ඊට අමතරව බොහෝ ග්‍රාමීය මාර්ග දෙවන වතාවට කාපට් හෝ ගල්කැට අතුරාලීම සඳහා මුදල් වැයකර ඇතැයි ද විගණනයේදී හෙළිවී ඇත.

ග්‍රාමීය ජීවනෝපාය නැංවීම, සමාජ සංවර්ධන හා පරිසර හා තිරසර සංවර්ධන ව්‍යාපෘති මුළුමනින්ම පාහේ අසාර්ථක වී ඇතැයි ද විගණනයේදී හෙළිවී තිබේ. ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු ඵලදායී ලෙස සිදුවී නැතැයි ද එම වාර්තාවල දැක්වේ.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment