වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණෝ අපවත් වෙති: ආදාහන පූජෝත්සවය ඉරිදා සවස පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව

330

මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කොළඹ, හලාවත දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක පෑලියගොඩ විද්‍යාලංකාර මහා පරිවේණාධිපති සහ අධ්‍යක්‍ෂ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ත‍්‍රිපිටක වාගීශ්වරාචාර්ය සාහිත්‍ය විශාරද, දර්ශන විශාරද, ආචාර්ය අග්ගමහා සද්ධම්මජෝතිකධජ, මහෝපාධ්‍යාය අතිගෞරවාර්හ වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ ඊයේ (28 දා) අලූයම අපවත් වී වදාළ බව ‘දිවයින’ සාතිශය සංවේගයෙන් යුතුව දැනුම් දෙයි.
අපවත් වී වදාළ වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ ශ‍්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (28 දා) උපදෙස් දුන්නේය.

උන්වහන්සේගේ ශ‍්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය 31 වැනි ඉරිදා පස්වරු 3.00 ට කැලණිය විශ්වවිiාල ක‍්‍රීඩාංගණයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතය.

විචිත‍්‍ර ධර්මදේශකයාණන් වහන්සේ නමක වූ වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ අපවත් වනවිට 84 වැනි වියේ පසු වූහ.

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ දේවමැදි හත්පත්තුවේ දඹදෙණිය, උඩුකහ, උතුරු කෝරළයේ වැලමිටියාවේදී 1937 පෙබරවාරි 20 වැනිදා උන්වහන්සේ ජන්මලාභය ලැබූහ.

පළිහවඩන ආරච්චිලාගේ ටිකිරි බණ්ඩාර නම් වූ මෙම කුලකුමරු කුඩා කල සිටම ආගමට දහමට දැක්වූ ලැදිකම නිසාම දෙමවුපිය ආශිර්වාදයෙන් 1954 වසරේ ජනවාරි 07 වැනි දින කිරිවත්තුඩුවේ ශ‍්‍රී පඤ්ඤාසාර නාහිමිපාණන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් පැවිදි දිවියට පත්විය.

විiාලංකාර පිරිවෙනෙන් ධර්මශාස්ත‍්‍ර සේවාව ආරම්භ කළ නාහිමිපාණන් වහන්සේට විද්‍යාලංකාර සම්ප‍්‍රදාය, භික්ෂු ආකල්ප හා ධර්ම ඥානය ලබාගැනීමට යක්කඩුවේ ශ‍්‍රී ප‍්‍රඥාරාම නාහිමියන්ගෙන් ලැබුණේ විශාල පිටිවහලකි.

නිසි වයස් සම්පූර්ණවීමෙන් පසු ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර උපෝස්ථාගාරයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබාගත් උන්වහන්සේ 60 දශකයේ මුල් භාගයේදී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ගෞරව උපාධියක් ලබාගත්හ.

ඉන්පසු පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙන මුල්කර ගෙන ධර්මශාස්ත‍්‍ර සේවාව ආරම්භ කළ නාහිමිපාණන් වහන්සේ එහි ප‍්‍රථම කෘත්‍යාධිකාරි ධුරයට ද පසුව එහි පරිවේණාධිපති ධුරයට ද පත්ව පිරිවෙනේ දියුණුවට සුවිශාල මෙහෙයක් ඉටු කළහ.

1983 වර්ෂයේදී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් අධ්‍යක්‍ෂ ධුරයට පත් උන්වහන්සේ 1989 දී පරිවේණාධිපති ධුරයට නම් කෙරුණත් අප‍්‍රමාණ ගුරු භක්තිය හේතුවෙන් එම ධුරය නාත්තන්ඩියේ ප‍්‍රඥාකර නාහිමියන්ට පිරිනැමීමට තරම් කුසලධම්ම නාහිමිපාණෝ පරමාදර්ශී වූහ.

නාත්තන්ඩියේ ප‍්‍රඥාකර නාහිමියන් වහන්සේ 1990 දී අපවත්වීමෙන් අනතුරුව පරිවේණාධිපතිත්වයට පත් කුසලධම්ම නාහිමිපාණෝ එතැන් සිට අපවත් වන තුරුම විශාල ශාසනික සේවාවක් සිදු කරමින් පිරිවෙනේ දියුණුවටත් කළ මෙහෙවර සුවිශාලය.

මල්වතු මහා විහාරයෙන් කොළඹ හලාවත දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක හා උපාධ්‍යාය ධුරයෙන් පිදුම් ලැබූ කුසලධම්ම නාහිමිපාණෝ බුරුම රජයෙන් අග්ගමහා සද්ධම්මජෝතිකධජ ගෞරව නාමයෙන්ද පුද ලැබූහ.

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයෙන් ද සම්මානිත වූ නාහිමිපාණෝ තමාට කෙතරම් තනතුරු ලැබුණත් තව තවත් නිහතමානි වෙමින් සසුන් කෙතට දැක්වූ ආදර්ශය අතිමහත්ය.

බුදු සසුන බැබළවූ මහා යථිවරයාණන් වහන්සේ නමක වූ නාහිමිපාණන් වහන්සේ මෙරට දහම් අධ්‍යාපනය න`ගාසිටුවීමට හා එහි උන්නතිය වෙනුවෙන් කැපවී කටයුතු කළ මහා සංඝපීතෘන් වහන්සේ නමකි.

ලෝක බෞද්ධ සම්මේලනයේ හා සමස්ත ලංකා ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ සභාපති ධුරය හා බුද්ධ ශාසන කොමිෂන් සභාව හා ආයතන ගණනාවක තනතුරුවලින් පිදුම් ලැබූ උන්වහන්සේගෙන් ආගමට හා සමාජයට ඉටුවූ සේවාව අති විශාලය.

උන්වහන්සේගේ අපවත්වීම සැළ වූ වහාම ස්වදේශ කටයුතු හා බුද්ධශාසන අමාත්‍යාංශවල ලේකම්වරු ඇමතූ ජනාධිපතිවරයා අදාළ සියලූ කටයුතු සම්බන්ධීකරණය කරමින් ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහයෙන් සිදුකිරීමට උපදෙස් දී ඇත.

අනුර බාලසූරිය, කැලණිය මංගලා මදුරප්පේරුම

advertistmentadvertistment
advertistmentadvertistment