වැල්ලවින් අතුරුදන් වූ සිසුවිය ගම්පහ කුඩු තිප්පළකින් හමුවෙලා

630

වැල්ලව පොලිසියට බාලවයස්කාර අවුරුදු 15ක දැරියක් පැහැරගෙන යෑම පිළිබඳව 2024-05-26 දා කළ පැමිණිල්ලකට අනුව එම කරුණ සම්බන්ධයෙන් කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පුළුල් විමර්ශනයක් වැල්ලව පොලිසිය මගින් ආරම්භ කර තිබිණ.

මේ අතර ගම්පහ මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජේ. එම්. එස්. ජයකොඩි මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් අයිස් මත්ද්‍රව්‍ය ඉතා සූක්ෂම ලෙස ජාවාරම් කරන පුද්ගලයෙකු පදිංචි අකරවිට ප්‍රදේශයේ කුලී නිවසක් පරීක්ෂා කිරීමේ දී එම නිවෙසේ සිටි තවත් පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තවදුරටත් විමර්ශනය කිරීමේ දී බාලවයස්කාර දැරියක් හා තවත් පුද්ගලයෙකු එම නිවස තුළ සිට ඇත.

මේ සම්බන්ධයෙන් සැකපිට දැරිය හා එම පුද්ගලයා පොලිස් භාරයට ගෙන විමර්ශන කරන විට අනාවරණය වූයේ අවුරුදු 15ක් වයසැති එම දැරිය මීට පෙර වැල්ලවින් අතුරුදන් වූ දැරිය බවයි.

එම දැරියගේ මව පවසා ඇත්තේ සාමාන්‍ය පෙළ විභාගයට මාස කිහිපයක් තිබියදී තමා නිවසේ නොසිටි අවස්ථාවක පුද්ගලයකු විසින් පැහැරගොස් ඇති බවය.

දැරියට පුරා මාසයක් තිස්සේ ලිංගික අතවර කළ 19 හැවිරිදි වැල්ලව තරුණයා අත්අඩංගුවට ගෙන දූෂණ හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මොහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බව නිගමනය කර ඇත.

සැකකරු හා අතවරයට පත් බාලවයස්කාර දැරිය පෙරේදා (26 දා) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගම්පහ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජේ. එම්. එස්. ජයකොඩි මහතා ඇතුළු පො.කො. වරුන් වන හේරත් (102528), කරුණාතිලක (99268), ජයවර්ධන (10383) යන නිලධාරීන් මෙම වැටලීමට එක් විය.

ගම්පහ සමූහ – සුසිල් රණමුක

advertistmentadvertistment
advertistmentadvertistment