වැල් පාලමෙන් ලක්මාතාව එගොඩ කළා – මං වැටුණත් රට වට්ටන්නේ නෑ

237

පළමුවත් දෙවනුවත් – තෙවනුවත් ඉලක්කය – රට ගොඩනැගීමයි
2025 දේපළ බදු වෙනුවට ධන බද්දක්
නව මූල්‍ය සංස්කෘතියක්: දූෂණයෙන් තොර පරිසරයක්
දුක දරා ගත් ජනතාවට ස්තූතියි
බදු සහන ලැබුණු අයගේ නම් ප්‍රසිද්ධ කරනවා
ඉන්ධන මිල තීරණය කරන්නේ මිල සූත්‍රයෙන් විතරයි
IMF‍ සහනය ගැන ජනපති මැතිසබේ කළ හෙළිදරව්ව
IMF ‍ එකඟතාවය ගැන මැතිසබේ විවාදයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලද ණය පහසුකම හේතුවෙන් මෙරටේ ශක්තිමත් නව ආර්ථිකයක් ගොඩ නැංවීමේ පදනම සකස් වන බවත් මෙතෙක් නොතිබූ නව මූල්‍ය සංස්කෘතියක් සහ දූෂණයෙන් තොර පරිසරයක් නිර්මාණය වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22 දා) සඳහන් කළේය.

අයිඑම්එෆ් එකඟතා ලියවිල්ල සභාගත කරමින්, අතීත අත්දැකීම් ඔස්සේ තමන් ඇතිකරගත් විශ්වාසය මත තමන් වැටුණත්, රට වට්ටන්නෙ නෑ යන අදහස ඇතිව තමන් රට ගොඩ නැංවීමේ අභියෝගය භාරගත් බව ද කියමින් ජනාධිපතිවරයා මෙරටට ලැබුණු ණය පහසුකම පිළිබඳ පළමු නිල ප්‍රකාශය ඊයේ සිදු කළේය.

වැල් පාලමෙන් ලක්මාතාව එගොඩ කළා - මං වැටුණත් රට වට්ටන්නේ නෑ

“මැර කණ්ඩායම් තැන තැන පහරදීම් කළ රටක්, ප්‍රතිවාදීන්ගේ ගෙවල් ගිනිතියන රටක්, මහදවල් මහමඟ මිනිස්සු මරා දාපු පසුබිමක වගකීම් භාරගන්න කිසිවෙක් කැමති වුණේ නෑ. සමහරු රට භාර ගැනීමට පස්ස ගැහුවා. සමහරු කේන්දරේ බලන්න කල් ඉල්ලුවා. සමහරු ලිස්සලා ගියා. සමහරු බය වුණා” යැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

එහෙත් තමන් කිසිම කොන්දේසියකින් තොරව රට ගොඩ නැගීමේ අභියෝගය භාර ගත් බවත් මගේ ආදරණීය රට යළි ගොඩ ගන්න මට පුළුවන් කියන විශ්වාසය සහ එම විශ්වාසය තහවුරු කරන අතීත අත්දැකීම් ගණනාවකුත් තමාට තිබූ බවත් හෙතෙම කීය.

මේ ණය පහසුකම යටතේ වසර 4ක කාලයක් තුළ අපට ඇමරිකානු ඩොලර් බිලියන තුනක පමණ ආධාරයක් හිමි වන බවත් ඇමරිකානු ඩොලර් මිලියන 330 ක ප්‍රමාණයක් එහි පළමු වාරිකය වශයෙන් දැන් ලැබී තිබෙන බවත් හෙතෙම කියා සිටියේය.

අයිඑම්එෆ් විස්තීරණ ණය කියන්නෙ වැටුණු රටක් යළි යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා දෙන පහසුකමක් බවත් ලෝක බැංකුව සහ වෙනත් ණය ආධාර ලබා දෙන පාර්ශ්වයන් වෙතින් තවත් ඩොලර් බිලියන 7ක පමණ කඩිනම් ණය ආධාර බලාපොරොත්තු වන බවත් ඒ මහතා පැවසීය.

මෙම ණය මුදල ලැබීමත් සමගම වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ඉතා අඩු පොලියට ණය ආධාර ලබා ගැනීමට පසුබිමක් සැකසෙන බවත් විදේශ ආයෝජකයන් යළිත් ලංකාවට ගෙන්වා ගැනීම සහ ජාත්‍යන්තරයේ පුළුල් අවස්ථා ගණනාවකට දොරගුළු හැරෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

විවිධ පක්ෂ නායකයින් පළාත් පාලන ඡන්දය පවත්වන්නේ නැති නිසා අයිඑම්එෆ් සහයෝගය ලැබෙන්නේ නැති බවට නොයෙකුත් බොරු ප්‍රචාර කරමින් රටේ ජනතාව පාරට බස්සන්න ක්‍රියා කළ නමුත් බහුතර ජනතාව මේ කඩාකප්පල්කාරී වැඩවලට සහාය නොදැක්කුවේ යැයි ද හෙතෙම කීය.

විවිධ දුෂ්කරතා මැද, නොයෙකුත් පීඩනයන් මැද, ඒ සියල්ල ඉවසමින් දුක් කරදර විඳ දරා ගනිමින්, රටේ බහුතර ජනතාව සන්සුන්ව ඉවසීමෙන් කටයුතු කිරීම ආණ්ඩුවට අයිඑම්එෆ් එකඟතාව ලබාගැනීමට විශාල ශක්තියක් වූ බවත් එම ජනතාවට ස්තූතිවන්ත වන බවත් ජනාධිපතිවරයා කීවේය.

අප මේ මුල පුරන්නේ අලුත් ගමනකට, මේ ගමනේ දී ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කළ යුතු වෙනවා යැයි ද හෙතෙම පැවසීය.

මේ අතර උද්ධමනයට සරිලන පරිදි, වැටුප් සහ විශ්‍රාම වැටුප් ගැලපීමට අපේක්ෂා කරන බවත් ඉදිරියේදී ඉන්ධන මිල තීරණය කිරීම දේශපාලන අධිකාරියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවත් ඉන්ධන මිල තීරණය කරන්නේ 2018 මිල සූත්‍රය අනුව පමණක් බව ද සඳහන් කළේය.

ඊට අමතරව සහනදායී බදු පදනම මත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබාගත් පුද්ගලයන්, ආයෝජන මණ්ඩලයේ බදු සහන බදු විරාම ලබා ගන්නා ආයතන ලේඛනය ජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කරන බවත් විශාල ප්‍රමාණයේ රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු පිළිබඳ විස්තර ද ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවත් ය ජනපති කීය.

අපේ මූලික ඉලක්කය විය යුත්තේ රට ගොඩ නැංවීම පමණක් බවත් පළමුවත්, දෙවනුවත්, තුන්වෙනුවත් අපේ ඉලක්කය රට ගොඩ නැංවීම පමණයි යැයිද කීය. මේ අතර අයිඑම්එෆ් සංවිධානය සමග අප ඇති කරගත් සැලසුම වසර හතරකදී ක්‍රියාත්මක කර අවසන් කළ යුතු යැයි ද ඒ මහතා පැවසීය.

එහිදී ජනාධිපතිවරයා මෙසේද කීය.

ඩී. එස්. සේනානායක අගමැති සමයේ අපේ රට කිසිදු විදේශ ණයක් ලබා ගත්තේ නෑ. පසුව අපේ රටේ ආදායමෙන් වැඩ කටයුතු කරනවා වෙනුවට, පිටරටින් ණය ගෙන රට කරවීමේ සම්ප්‍රදායක් ඇති වුණා. අප සියලු දෙනා අද මේ දුකට, පීඩාවට පත්ව සිටින්නේ ඒ සම්ප්‍රදාය පිළිකාවක් බවට පත්වූ නිසයි. අපට හැමදාමත් ණය ගන්න බෑ. අප උත්සාහ ගත යුත්තේ ණය නොගන්නා ජාතියක් බවට පත්වීමටයි. මේ අසීරු සමයෙන් ගොඩ එන්නට අප සියලුදෙනා එක්විය යුත්තේ ඒ නිසයි. ඉදිරි අවුරුදු 10 තුළ අප මෙතෙක් ගෙන ඇති සියලු ණය ගෙවා අවසන් කළ යුතුයි. මේ මාර්ගයේ නිවැරදිව ඉදිරියට ගියොත් අපට ඒ තත්ත්වය උදා කරගන්නට පුළුවන් බව මට විශ්වාසයි.

මෑතකදි එක් මතයක් ප්‍රකාශයට පත්වුණා. ථෙරවාදී බෞද්ධ රටවල් හැම විටම ආර්ථික අතින් දුප්පත් කියලා. දැන් තායිලන්තය මේ මතය බිඳ දමන්නට වෙහෙසෙනවා. ලෝකයේම ථෙරවාදී කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන අපිත් ඒ මතය බිඳ දමන්නට වෙහෙසිය යුතුයි. අප සියලු දෙනාම එක මවකගේ දරුවන් ලෙස, එක හිතින් වෙහෙස වූවොත් ඒ මතය බිඳ දමන්නට අපට පුළුවන්. ශ්‍රී ලංකාව යළිත් ලෝකයේ ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස කීර්තියට පත් කරන්නට අපට පුළුවන්.

මගේ අරමුණ රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම නෙවෙයි, රාජපක්ෂලා බේරා ගැනීම කියලා සමහරු කිව්වා. අසීරු වැල් පාලමෙන් මම එගොඩ කරන්නේ ශ්‍රී ලංකා මාතාව නෙවෙයි, නාමල් රාජපක්ෂ කියලා කිව්වා. නමුත් ශ්‍රී ලංකා මාතාව ආර්ථික වැල් පාලමෙන් එගොඩ කරන්නට මම ක්‍රියා කළ බව දැන් ජාත්‍යන්තරයම පිළිගෙන තියෙනවා. මගේ කාර්යය අනාගතය ගොඩ නැංවීමයි. අතීත වැරදි යළි සිදු නොවන අන්දමට නීති රීති සහ පසුබිම සකසමින් අනාගතය ගොඩ නැංවීමට මම වෙහෙසෙනවා. කැපවෙනවා. ක්‍රියා කරනවා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment