වැල් පාලම වෙනුවට කොන්ක්‍රීට් පාලමක්

826

සුරුට්ටු කඩයක් වැනි ආර්ථිකයක් බවට පත්ව තිබූ ශ්‍රී ලංකාවට IMF සංවිධානය ඩොලර් බිලියන 2.9 ක ණයක් දීමට පොරොන්දු වීමත්, එහි පළමුවන වාරිකය වශයෙන් ඩොලර් මිලියන 339 ක් ලැබීමත්, ලෝක ඉතිහාසයේ විශාලතම ණය ගනුදෙනුව නොවීමට පුළුවන. එහෙත් ලංකාව හාන්චිපයිස් ගසා සිටින මේ උන්මාදනීය අවස්ථාවේ මෙවැනි ණය ගනුදෙනුවක් පටන්ගැනීම අපේ රටේ ආර්ථික බලාපොරොත්තු අලුත් කර ඇත. ඩොලර් මිලියන 339 න් රටට අවශ්‍ය හය මාසයක ඉන්ධන ප්‍රමාණය මිලට ගැනීමටවත් බැරි බව මේ අවස්ථාවේදී ඉදිරි ආණ්ඩු බලය අපේක්ෂාවෙන් සිටින විපක්ෂය කීමට ඉඩ තිබේ. විපක්ෂය එහෙම කිව්වොත් එහි ද වරදක් නැත්තේ බලය පවතින ආණ්ඩුව කරන හැම වැඩකටම කෙළවීම විපක්ෂයේ අරමුණ විය යුතුය යන ස්ථාපිතයක් ලංකාවේ විපක්ෂය 1948 පටන් අද දක්වාම කල්පනා කිරීම ය. මෙබඳු ස්ථාපිතයන්ට පහරදී ඒවා බිඳ දමා අලුතින් හිතන්නට මේ රටේ විපක්ෂයට පුරුදු කරන්නට පුළුවන් වුණොත් රටත් විපක්ෂයත් යන දෙකම ගොඩය. ස්ථාපිතයන්ට පහරදී ඒවා වෙනස් කිරීම SHIFT OF PARADIGMS ලෙස හඳුන්වනු ලැබේ. ශ්‍රී ලංකාව යනු ස්ථාපිතයන්ට පහරදීම තබා එහි ඉංග්‍රීසි වචනයේ සිංහල තේරුමවත් දැනගැනීමට අකැමැති බයි රටකි. මෙහිදී අප බයියා යන වචනය යොදන්නේ කිසියම් ජන කොටසකට අපහාස කිරීමකට නොව මිනිසුන්ගේ චින්තන ක්‍රමයට අපහාස කරනු පිණිසය. මේ රටේ විපක්ෂය සදාකාලිකව රටේ ආණ්ඩුවේ හතුරෙක්ව සිටියොත් අප කාටත් ගොඩ ඒමක් නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පොරොන්දුවත් සමගම මේ රට තුළ තවත් අලුත් ණය යුගයක් ආරම්භ වේ. මෙය නව යුගයක් ලෙස ද අර්ථ නිරූපණය කළ හැකිය. අතේ සතේ නැතිව කන්න බොන්නත් නැතිව සාගින්නේ වේලෙමින් නන්නත්තාරව සිටින මිනිහකුට බත් පතක් ණයට දිය හැකිය. ඒ මිනිහා ඒ ණයට ලැබෙන බත් පත කා කෙළින් හිටගෙන වැඩක් පලක් කර කීයක් හෝ උපයාගෙන බත් පතේ ණය මුදල ද ගෙවා පසුදින සිට අලුත් විදිහකට හැඩ ගැහෙන්නට පුළුවන. ඩොලර් බිලියන 50 ට වඩා විදේශ ණය තිබෙන ශ්‍රී ලංකාව නමැති රටට ණය දීම ජාත්‍යන්තර ප්‍රජාව විසින් අත්හිටුවනු ලැබ තිබිණ. ඉන්පසු ලෝකයේ තිබෙන ආර්ථික RATING එක්වී මේ රට බංකොලොත් රාජ්‍යයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදී. FITCH RATING, STANDARD & POOR යනාදී වශයෙන් වූ මේ කියන රේටින්ග් සමාගම් කිසිම රටක ආණ්ඩුවේ සමාගම් නොවන අතර පුද්ගලික අංශයට අයත් සුපර් මාර්කට් වැනි විශාල කඩ වෙති. මේවා පුද්ගලික අංශයට අයත් කඩ වුවද ඔවුන් දෙන RATING වාර්තාව ලෝකයේ සෙසු රටවල්ද, බැංකුද, ණය දෙන ආයතනද පිළිගනිති.

පහුගිය කාලයේදී FITCH RATING සහ STANDARD & POOR යන ආයතන ලංකාවට සෑහෙන ඩැමේජ් එකක් කළහ. ලංකාව බංකොලොත් ගැට්ටේ සිටින බව ටික දිනක් පැවසූ ඔවුහු ලංකාව බංකොලොත් ළිඳේ පහළට වැටුණු බව ප්‍රකාශයට පත් කළහ. මෙය ඉතා නරක තත්ත්වයකි. මෙවැනි කතාවක් කියූ විට ඒ වනවිටත් විදේශ ණය ගෙවා ගැනීමට බැරිව BLACK LIST වී සිටි අපේ රට ලෝකයේ අන්තම දුගී රටවල මට්ටමට පත්වෙයි. එහෙත් මේ සියලු කාරණා අතර මේ රටේ ආර්ථිකයේ සියුම් උච්චාවචනයන් තාර්කික ලෙස විග්‍රහ කළ බුද්ධිමතෙක් ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික පර්යේෂණ අංශය භාරව සිටියේය. ස්ටීව් හැන්කේ නමැති ඔහු මහාචාර්යවරයෙකි. මේ රටේ උද්ධමනය ඉතාම සියුම් ලෙස අධ්‍යයනය කළ එකම බුද්ධිමතා ඔහුය. ලෝක උද්ධමන දර්ශකයේ දෙවැනි තැන තිබූ ශ්‍රී ලංකාව පසුගිය මාස හතක පමණ කාලය තුළ 18 වැනි තැන දක්වා පහතට ගමන් කරන හැටි ඔහු පෙන්වා දුන්නේය. STANDARD & POOR සහ FITCH RATING වැනි කඩකාරයන්ගේ කතාවට වැඩි විභවයක් විද්‍යාර්ථියකු වූ ස්ටීව් හැන්කේ ට තිබේ. ජාත්‍යන්තර මූල්‍ය ආයතන රටවල්වලට ණය දෙන විට මේ බුද්ධිමතුන්ගේ ප්‍රකාශ ගැන ද සලකා බලයි. ස්ටීව් හැන්කේ ගේ ප්‍රකාශ සහ IMF ණය අතර සම්බන්ධයක් ඇත්දැයි අප දන්නේ නැත. එහෙත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකාවේ සිට පෙනී සිටි ඒ මිනිහාට අපගේ ස්තුතිය හිමිවිය යුතුය.

ලංකාවට තවත් ඩොලර් බිලියන 5 ක ණය ප්‍රදානය කිරීමට රටවල් කිහිපයක් මේ වනවිට කැමැත්ත පළකර තිබේ. මේ ණය කළමනාකරණය කර ගත්තොත් අපට ක්‍රමානුකූල ලෙස ගොඩඒමට ලැබෙනවා ඇත. හැබැයි ඩොලරය ඕනෑවට වඩා බැස්සොත් එමගින් දේශීය අපනයනකරුවන්ට හානිවීමට ඉඩ තිබේ. ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කර තිබේ. රනිල් වික්‍රමසිංහ වැල් පාලමෙන් රට එතෙර කර ඇත. අප බලා සිටින්නේ මේ වැල් පාලම ගලවා දමා ඔහු කොන්ක්‍රීට් පාලමක් තනන තුරුය.

ශ්‍රී ලංකාවට ණය මුදාහැරීම සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙබ් සයිට් එකේ තිබේ. ශ්‍රී ලංකාව අර්බුදයක් කරා ගමන් කරමින් සිටින අතර කොරෝනා වසංගතය නිසා එම අර්බුදය ඉක්මන් වී රටටම කෙළවුණු හැටි මෙම වාර්තාවේ සඳහන් වී තිබේ. කොරෝනාවෙන් පුපුරා ගිය මේ රටේ ආර්ථික අර්බුදය පටන්ගන්නේ 1948 දීය. එදා සිට ගත් ණය ක්‍රමයෙන් එකතු වී ලෝකයේ උසම ණය කඳුවලින් එකක් 2019 වනවිට අප ඉදිරිපිට තිබිණ. කොරෝනාවත් සමගම සිදුවන්නේ මෙකී ණය කන්ද නාය යෑමය. අපි තවමත් එම කන්දට යටවූ මළ මිනී ගොඩගැනීමෙහි නියුතුව සිටිමු. මෙතැනින් එහා කතාව සිතා ගැනීම හෝ තනා ගැනීම පාඨකයාට භාර කරමු. සෑම සංවර්ධන ක්‍රියාවලියකටම රජතුමාගේ සහභාගීත්වය මෙන්ම වැසියන්ගේ සහභාගීත්වය ද අවශ්‍යය.

advertistmentadvertistment
advertistmentadvertistment