වැලිකතරේ ගොවිපළක හිරකරගෙන හිටි අපිව කුවේට් හමුදාව බේරා ගත්තා

440

රට ගියේ ලක්‍ෂ 5 ක් ගෙවලා ආපහු ආවේ හිස් අතින්

කුවේට් ඉරාන දේශ සීමාවේ වැලි කතරක ගොවිපළක හිරකරගෙන අපිට දසවධ දුන්නා. කෑම වේලක් දුන්නෙත් අඬන කොටයි. වැටුපක්වත් ගෙව්වේ නැහැ.

පහර කෑ අපේ සමහරුන්ට ලෙඩ වුණා. දෙවියන් වැනි කුවේට් හමුදාව ඇවිත් අන්තිමේදී අපේ ජීවිත බෙරා ගත්තා. ඒ මෙහෙයුම නොවන්නට අපිට අදත් මරණය සමග සටන් කරන්න වෙනවා.

කුවේට් රාජ්‍යයේ ඉරාන දේශ සීමාවට ආසන්නයේ පිහිටි කාන්තාරයක පවත්වාගෙන ගිය ගොවි පළක බලහත්කාරයෙන් රඳවා ගෙන අපා දුක්විඳි ශ්‍රී ලාංකික තරුණයන් 6 දෙනෙකු ඊයේ (9 දා) කටුනායක ගුවන්තොටින් මව් බිමට පැමිණි අවස්ථාවේ ‘දිවයින’ට එසේ තම දුක්ඛිත අත්දැකීම් අනාවරණය කළහ.

මෙම තරුණයන් ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර කින්නියා ප්‍රදේශයේ නීත්‍යානුකූල නොවන තැරැව්කරුවෙකු මාර්ගයෙන් කුවේටයේ රැකියා සඳහා ගොස් තිබේ. ඔවුන් මෙම ගොවිපළේ සිට රාත්‍රියේ කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලබාදුන් දුරකථන ඇමතුමක් අනුව හමුදා මෙහෙයුමකින් ඔවුන් බේරාගෙන තිබේ.

අතිශය දුෂ්කර මංමාවත් නොමැති මෙම කාන්තාර ප්‍රදේශයේ පිහිටි මෙම ගොවිපළේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් වී නැත.

කුවේට් රාජ්‍යයේ ප්‍රබල ෂේක්වරයාගේ (රජ පවුලට සම්බන්ධ) බලපෑම සහ පරිසරයේ පවතින දුෂ්කරතාවලට මුහුණ දීම සඳහා කුවේටයේ ඉහළම ආරක්‍ෂක අංශ ප්‍රධානි මේජර් ජනරාල්වරියගේ සහාය ලබා ගැනීමෙන් විශේෂ හමුදාමය මෙහෙයුමක් දියත් කර මෙම පිරිස බලවත් පරිශ්‍රමයකින් පසුව බේරාගෙන තිබේ. එසේම එම නිලධාරිවරයාගේ සහ එරට රජයේ සහාය මත මෙසේ මෙම පිරිස ශ්‍රී ලංකාවට එවීම සඳහා වීසා ලබා ගැනීමට ද හැකිවී තිබේ.

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවන තානාපති නිලධාරි අබ්දුල් හලීම් සහ එහි තෙවන ලේකම් ජනක සමරසේකර යන මහත්වරුන් මෙම ශ්‍රී ලාංකික තරුණයන් බේරා ගැනීමට මහත් උනන්දුවකින් කටයුතු කර තිබේ. මෙසේ මෙම ගොවිපළේ මේ ආකාරයට රඳවාගෙන සිටි තවත් ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ පදිංචි තරුණයන් තිදෙනකු මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඔවුන් ඇසුරෙන් මේ වන විට ත්‍රිකුණාමලය ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා මෙම නීති විරෝධී තැරැව්කරුවන් සහ මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනයක් අරඹා තිබේ. මෙම තරුණයන් පිරිස 01/09 දින අලුයම 3.30 ට කුවේට් සිට අල් ජසීරා ගුවන් සේවයේ ජේ. 9551 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි. කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි මෙම තරුණයන් පිරිස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් භාරගෙන ඔවුන්ගේ නිවෙස් වෙත යැවීමට පියවර ගෙන තිබේ.

මෙම තරුණයෝ ‘දිවයින’ට අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළහ.

රටේ පවතින ආර්ථික අපහසුතා නිසා හොඳ අනාගතයක් උදාකර ගන්න තමයි අපි විදෙස් රැකියාවට ගියේ. අපිට කිව්වේ ගොවි පළක සේවය කරන්න තියෙන්නේ. හොඳ වැටුපක් ඇතුළු සියලු පහසුකම් දෙනවා කියලයි. අපි ඒ කීම්වලට රැවටුණා.

අපි කියන්නේ කවමදාකවත් පිටරට රැකියාවකට යනවනම් අතරමැදියන් හරහා යන්න එපා. ලියාපදිංචි විදේශ රැකියා ආයතනයකින් පමණක් රට යන්න. අපි තැරැව්කරුවන් හරහා ගිහින් කරදරයකට මුහුණ දුන්නම අපිට වගකියන්න කෙනෙක් නැහැ. ඒ කිසිම වෙලාවක නීත්‍යනුකූල නොවන තැරැව්කරුවන් හරහා රට යන්න එපා.

අපි රුපියල් ලක්‍ෂ 05 ක් දීලා කුවේට් වැලිකතරට ඇවිත් පඩියක් නැතිව මාස දෙකකට වැඩි කාලයක් ගතවුණා. මේ ආකාරයෙන් දුක්ගැහැටවලට ලක්වූ තවත් 25 ක් විතර වැලිකතරේ ඉන්නවා. ඒ ආයතනය අම්මයි දුවකුයි තමයි කරගෙන යන්නේ.

අපි නීත්‍යනුකූල නොවන ආකාරයට විදේශ රටවලට ඇවිල්ල අමාරුවේ වැටුණාම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ තානාපති කාර්යාලවල නිලධාරීන්ට බැනලා වැඩක් නැහැ. අපිව මේ බේරගෙන ලංකාවට එන්න කටයුතු කළෙත් කුවේට් තානාපති කාර්යාලයේ නිලධාරි මහත්වරුන් කිහිප දෙනෙක්. ඒ නිසා අපි නැවතත් ඉල්ලා සිටින්නේ තැරැව්කරුවන් හරහා නම් විදෙස් රටවලට යන්න එපැයි කියලයි කියන්නේ.

චමින්ද සිල්වා, ටී. කේ. ජී. කපිල- කටුනායක

advertistmentadvertistment
advertistmentadvertistment