වැලිකන්දේ ගෑස් සිලින්ඩරයක් පිපිරී තුවාල ලැබූ කාන්තාව දින 19 කට පසු මියයති

159

පොලොන්නරුව, වැලිකන්ද සඳුන්පිටිය ගම්මානයේ නිවසක ගෑස් සිලින්ඩරයක් පුපුරා යෑමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දින 12 ක් ප‍්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි තරුණ කාන්තාවක පෙරේදා (25 වැනිදා) සවස මරණයට පත් වූවාය.

මෙම ගෑස් සිලින්ඩර් පිපිරී යෑමේ සිද්ධියත් සමග දැනට වාර්තා වී ඇති මුළු ගෑස් සිලින්ඩර් පිපිරීමේ සිද්ධීන් ගණන 06 කි.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ පොලොන්නරුව වැලිකන්ද, සඳුන්පිටිය පදිංචිව සිටි බී. ජී. අයේෂා කුමුදුනී නමැති කාන්තාවකි.

ඇය මෙම අනතුරට මුහුණපාන අවස්ථාවේ නිවසේ කිසිවකුත් සිට නැත. ඇය මුළුතැන්ගෙයි තිබූ ගෑස් උදුනට ගිනි කූරක් ගසා දැල්වීමට උත්සාහ දරා තිබේ. එම ගිනි කූර දැල්වීමත් සමග මෙම පිපිරීම සිදුව ඇත. පිපිරීම් සිද්ධියත් සමග අසල්වාසීන් පැමිණ ඇයව වැලිකන්ද ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. එහිදී ඇයව පරීක්‍ෂා කළ වෛද්‍යවරුන් ඇයගේ තත්ත්වය බරපතළ වූ බැවින් කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගත්හ. මියගිය තරුණ කාන්තාවගේ පියා වන දිඹුලාගල, පැලටියාව පදිංචි බී. ජී. ජයසූරිය මහතා පැවසුවේ මෑතකදී ගත් ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් තම දියණිය මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑ බවය.

මියගිය කාන්තාවගේ මරණ පරීක්‍ෂණය ඊයේ (26 වැනිදා) කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂණ උසාවියේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ රොෂාන් තුෂාර තෙන්නකෝන් – පොලොන්නරුව

advertistmentadvertistment
advertistmentadvertistment