වැලිගම නගරාධිපති අම්මා සහ කෑම කොල්ලකෑ දරුවෝ

1239

ශ්‍රී ලංකාවේ දැනට තිබෙන ආහාර අර්බුදය පටන් ගන්නේ මෙයට අවුරුද්දකට පමණ පෙර කොවිඩ් කතන්දරය යම් ප්‍රමාණයකට අවසන් වී රට විවෘත කරන ලද කල්හිය. කොවිඩ් අවුරුදු එකහමාර පුරා ණයට කෑමට පුරුදුව සිටි මේ රටේ ජනතාවට අතේ සතයක්වත් තිබුණේ නැත. ඒ තත්ත්වය තුළ හටගත් උද්ධමනය හේතුවෙන් ආහාර මිල ඉහළ ගියේය. කාබනික පොහොර නමැති පිස්සු කෙලිය නිසා සහල් මිලත් එළවළු මිලත් ඉහළටම ගියේය. මෙවිට සුදුසු කෑම ගැනීම සඳහා මහජනතාවට මුදල් නැති විය. ඒ තත්ත්වය තවමත් ඒ ආකාරයෙන්ම පවතී. ලෝක ආහාර වැඩපිළිවෙළ මේ තත්ත්වය කෙරෙහි අවධානයෙන් කටයුතු කරන අතර ශ්‍රී ලංකාවට ආහාර ආධාර සපයන ලෙස ධනවත් රටවලින් ඉල්ලා තිබේ. ඒ අතර ශ්‍රී ලංකාව ලෝක මන්දපෝෂක දර්ශකයේ 6 වෙනි තැනට පත්ව සිටින බවද දැනගන්නට ඇත. ඉහත සඳහන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් පහත සඳහන් කතාව කියවා එහි පාර්ශ්වකරුවන් සම්බන්ධයෙන් කුමක් කළ යුතුද යන්න අපි ජනතාවගෙන් විමසමු.

 වැලිගම නගර ශාලාවේ පැවති විවාහ උත්සවයක ඉතිරි ආහාර අනුභව කිරීමට තැත්කළ අසරණ දරුවන් පස්දෙනෙක් බොරළු පොලවේ දණගස්වා තබා පොලිසියට භාරදී ඇතැයි දැනගන්නට තිබේ. මෙය ඉකුත් 4 වැනිදා සිදුවිය. සිද්ධියට මුහුණ දුන් දරුවෝ අවුරුදු 12, 13, 16, 17 යන වයස්වල පසුවූ අය වෙති. එදා වැලිගම නගර ශාලාවේ පැවතියේ ඉස්ලාමීය විවාහ මංගල්‍යයකි. එවැනි විවාහ මංගල්‍යයවල විශාල වශයෙන් ආහාර පිළියෙල කරන අතර ආහාර අපතේ යෑමද විශාල වශයෙන් සිදුවේ. මේ බව දන්නා අරක්කැමියකු ඉතිරි කෑම කෑමට එන ලෙස මේ දරුවන්ට දන්වා තිබේ. එම දරුවන් පැමිණි විට වැලිගම නගරාධිපතිනිය සිය දාමරිකයන් ලවා දරුවන් බිම දණගස්වා එම දරුවන් අපවාදයට ලක්කොට පොලිසියට භාරදී තිබේ. පොලිසිය පැය තුනක් පුරා එම දරුවන් අත්අඩංගුවේ තබාගෙන දෙමාපියන්ට භාරදී ඇත. වැලිගම පොලිසිය මේ දරුවන්ට ප්ලේන්ටියක්වත් දී නැත. එහෙත් ඊට සති කිහිපයකට පෙර සිය දරුවන්ගේ කුසගින්න නිවීම සඳහා හාල් කිලෝ 4 ක් සහ ධාන්‍යමය ආහාර පැකට්ටුවක් සොරකම් කර අත්අඩංගුවට පත්වූ පියකුගේ එම බිල මුදලාලිට ගෙවා ඔහුට නිදහසේ ගෙදර යෑමට සැලැස්වූ උතුම් උප පොලිස් පරීක්ෂකවරයකු ගැනද දැනගන්නට ලැබිණ. වැලිගම නගරාධිපතිනිය කියන්නේ මේ දරුවන් ආහාර ගැනීමට පැමිණි අය නොව, ආහාර කොල්ලකෑමට පැමිණි අය බවය. අවුරුදු 12, 13 වයසේ පසුවන දරුවන් ආහාර කොල්ලකන්නේ කෙසේද? බඩගින්නට බත් ටිකක් සොරාගැනීම හෝ අනාරාධිතව උත්සව ශාලාවකට ඇතුළු වී බත් ටිකක් කෑම සොරකමක් ලෙස අර්ථ නිරූපණය කළ හැකිද? තම ප්‍රදේශය තුළ එදා වේල නැතිව කුසගින්නේ පසුවන දරුවන් සිටීම ගැන වැලිගම නගරාධිපතිනියට ද යම් ප්‍රමාණයක වගකීමක් යයි. මෙවැනි කාන්තාවෝ මධ්‍යකාලීන ප්‍රංශයේත් ධනවාදී සාර් රුසියාවේත් ජීවත් වූහ. ඔවුහු කුසගින්නට පාන් කැබැල්ලක් ඉල්ලූ තරුණයන් සොරුන් සේ සලකා පොලිසියට භාරදුන්හ. සොරුන් නිර්මාණය කරන්නේ වැලිගම නගරාධිපතිනිය වැනි දුෂ්ට මතධාරී ජනයා සිටින සමාජ ක්‍රමය විසිනි. මධ්‍යකාලීන ප්‍රංශයේ විසූ දුගී තරුණයෙක් සිය සහෝදරියගේ දරුවා කුසගින්නේ හඬන විට පාන් ගෙඩියක් සොරාගැනීම හේතුවෙන් දරුණු සොරකු ලෙස හංවඩු ගසා හිරේට දැමූ ආකාරය වික්ටර් හියුගෝ නමැති මහා ප්‍රංශ ගත්කරුවා ලියූ Les Miserables නමැති පොතේ සඳහන් වේ. වැලිගම නගරාධිපතිනිය වැනි කාන්තාවන් සමූහයක් අතට මේ රට ගියොත් ඉතා ඉක්මනින් මේ රට චෞර රාජ්‍යයක් බවට පත්වීම ස්ථිරය. ඒ නිසා ඇයට එරෙහිව නඩු පවරා වහාම ඇය තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස අපි සිවිල් සමාජයෙන් ඉල්ලමු. අප දන්නා පරිදි මෙවැනි සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම නගරාධිපතිනියගේ වැඩ තහනම් කිරීමට තරම්වත් බලයක් රජය නමැති ඒකකයට නැත. අප ඒ සඳහා සිවිල් සමාජයේ ආධාර පතන්නේ එබැවිනි.

 ආහාර සොරුන් ලෙස අපහාසයට ලක්කොට බිම දණගස්වනු ලැබූ දරුවන් සිව්දෙනා මනෝමය වශයෙන් විශාල පරිහානියකට පත්වන්නට ඇතැයි අපි විශ්වාස කරමු. එම මානසික පරිහානිය තුළින් මේ දරුවන් සමාජයේ වෛරක්කාරයන් බවට පත්වීමට ඉඩ තිබේ. මේ දරුවන්ට වූ අගතිය වෙනුවෙන් කටයුතු කිරීමට ළමා හා කාන්තා කාර්යාංශයට බලයක් තිබේදැයි අප දන්නේ නැත. මේ රටේ අනාථ නිවාසවල සිටින දරු දැරියෝ ඇතැම් විට දූෂණයට ලක්වෙති. ඔවුන් සම්බන්ධයෙන් පියවර ගැනීමට පොලිසියත් කාන්තා කාර්යාංශයත් පිනුම් ගසාගෙන එන නමුත් එම පිනුම් වලින් පසු කවර ප්‍රතිඵලයක් හටගත්තේ ද යන්න වාර්තා වන අවස්ථා විරලය. වැලිගම නගරාධිපතිනිය දූ දරුවන් සිටින මවක දැයි අප නොදනිමු. ඉන් එහා ඒ ගැන කතා නොකරමු.

 වැලිගම නගර සභාව සහ එම ප්‍රදේශයට අදාළ වෙනත් දේශපාලන අංශ ගැන හැමදාමත් කළු පැල්ලම් තිබිණ. උදාහරණ වශයෙන් එක්තරා කාලයක වැලිගම ප්‍රාදේශීය සභාවේ සිටි සභාපතිවරයකු අහල පහල සිටින ටුවරිස්ට් හෝටල්කාරයන්ගෙන් ගසා කෑවේ අමුතුම විදිහකටය. ටුවරිස්ට් හෝටල්කාරයෙක් කිසියම් කාරණයක් සඳහා ලයිසන් එකක් ගැනීම පිණිස ප්‍රාදේශීය සභාවට ගිය විට පෙර කී සභාපතිතුමා ප්‍රාදේශීය සභාවේ තිබෙන ලක්ෂ ගණනක අඩුපාඩුවක් පෙන්වා එය ඉටුකරදෙන ලෙස ටුවරිස්ට් හෝටල්කාරයාගෙන් ඉල්ලයි. බැලූ බැල්මට මෙය සද්භාවයෙන් කරන ඉල්ලීමකි. ඒ නිසා ටුවරිස්ට් හෝටල්කාරයාද අදාළ වැඩේ කරදී ප්‍රාදේශීය සභාවෙන් අදාළ ලයිසන් එක ලබාගනී. ඉන්පසු ප්‍රාදේශීය සභාවේ සභාපති කරන්නේ කුමක්ද? ටුවරිස්ට් හෝටල්කාරයා ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ඉදිකිරීමට අදාළව හොර බිල් හදන ප්‍රාදේශීය සභා සභාපති එම ඉදිකිරීම තමා විසින් කරන ලද්දක් යැයි කියා මුදල් පාස් කරගනී. වැලිගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රවණාගාරයේ තිබෙන පුටු තොගයද මේ ආකාරයෙන්ම පරිත්‍යාග ලෙස ලබාගෙන පසුව මුදල් බවට පත්කර ගත් දේපළ වෙත්. මේ කතාවේ නිමක් නැති නිසා අපි මේ තීරුව මෙතැනින් අවසන් කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment