වැලිමඩ දඹවින්න වැව විනාශ මුඛයේ…

209

පාසි හා සැල්වීනියා වැවී ගොඩ වී ඇති දඹවින්න වැව…

වැලිමඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි දඹවින්න වැව නිසි ප‍්‍රතිසංස්කරණයක් සිදු නොකිරීම නිසා පාසි වැවී රොන් මඩ වලින් පිරී පැවතීම නිසා ගොවි පවුල් පන්සියයක් පමණ දැඩි පීඩාවට පත්ව ඇති බව දඹවින්න ප‍්‍රදේශයේ ගොවීහු පවසති.

දඹවින්න හා මැදගෙදරගම ගොවීන් විසින් සිය වගා කටයුතු සඳහා ජලය ලබා ගැනීමට මෙම දඹවින්න වැවේ ජලය ඈත අතීතයේ සිටම ප‍්‍රයෝජනයට ගෙන තිබේ. මේ වන විට වැව සම්පූර්ණයෙන්ම පාසිවලින් වැසී පැවතීම නිසා ගොවීන් මෙලෙස පීඩාවට පත්ව සිටිති.

තමන් පත්ව ඇති අපහසුතාව ගැන අදහස් දැක්වූ ගොවි මහතෙකු වන සරත් රත්නායක මහතා මෙසේ පැවසීය.

මේ වැව දැන් සම්පූර්ණයෙන්ම සැල්විනියා හා පාසිවලින් වැහිලා. වැවේ දැනටත් ජලය අඩි හතරක් විතර තියෙනවා. ඒ වුණාට අපිට මේ වැවේ ජල නිසි පරිදි ගබඩා කරගන්න බැහැ මේ පාසි නිසා. වැව ඉහළ ප‍්‍රදේශවල සිට වැවට වර්ෂා කාලවලදී සෝදා ගෙන පස් වැවේ තැන්පත් වෙලා වැව ගොඩ වෙලා තියෙන්නේ. මේ නිසා වැවේ ජල ධාරිතාව අඩු වෙලා තියෙන්නේ. ගොවීන් එකතු වෙලා කිහිප වතාවක් ශ‍්‍රමදාන මගින් වැව සුද්ද කළත් පලක් වුණේ නැහැ. අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ හරි මේ වැව නිසි අයුරින් ප‍්‍රතිසංස්කරණය කර අපේ වගාවන්ට බාධාවකින් තොරව ජලය ලබා ගත හැකි අයුරින් සකසා දෙන ලෙසයි.

වැලිමඩ දඹවින්න වැව විනාශ මුඛයේ...


දඹවින්න ප‍්‍රදේශයේ ගොවි මහතෙකු වන ඩබ්ලිව්. එම්. රත්නායක මහතා මෙසේ පැවසීය.

මේ දඹවින්න වැවෙන් ජලය ලබා ගෙන කුඹුරු ඉඩම් අක්කර තුන්සියයකට අධික ප‍්‍රමාණයක් වගා කරනවා. මේ වැව තමයි අපිට තියෙන වැදගත්ම ජල මූලාශ‍්‍රය. අපේ වගා බිම් වලට අවශ්‍ය ජලය නිසි අයුරින් ලබා ගැනීම දැන් ගැටළුවක් වෙලා මේ වැවට දැන් අත්වෙලා තියෙන ඉරණම නිසා. වැවේ ජලය කුඹුරු වලට රැුගෙන ගියාම වැවේ තියෙන පාසිත් අපේ කුඹුරු වලට යනවා. ඒවා ගිහින් අපේ වගාවන් පුරාද පැතිරෙනවා. මේ නිසා අපි අසරණ වෙලා ඉන්නේ. මේ වැවේ තියෙන පාසි ටික අයින් කරලා වැවේ තියෙන රොන් මඩ ටික ඉවත් කළානම් අපිට අවශ්‍ය ආකාරයට මේ වැවේ ජලය ගබඩා කර ගන්න පුළුවන්. දැන් එන්න එන්නම අපේ වැව විනාශ වෙනවා. හතර වටින් වැව ගොඩ වෙනවා. අපි ගොවීන් විදිහට ඉල්ලන්නේ මේ වැව අපිට ප‍්‍රතිසංස්කරණය කරලා දෙන්න කියලයි.

දඹවින්න ප‍්‍රදේශයේ ගෙවිලියක වන ඩබ්ලිව්. එම්. චන්ද්‍රාවතී මහත්මිය මෙසේ පැවසීය.

මේ වැවේ ජලය තමයි අපි එදිනෙදා කටයුතු සඳහා ප‍්‍රයෝජනයට ගන්නේ. ප‍්‍රදේශයේ ජනතාව නාන්න, රෙදි සෝදා ගන්න එන්නේ මේ වැවට. දැන් වැව සම්පූර්ණයෙන්ම පාසි වලින් වැවිලා. ජලය ගන්න බැහැ. අපි ගොවියෝ වශයෙන් අසරණ වෙලා ඉන්නේ මේ වැවේ වතුර අඩුවෙන් පිරෙන නිසා. වැව හොඳට හාරලා පාසි ඉවත් කරලා හැදුවේ නැත්තම් අපිට අවශ්‍ය තරම් ජලය ගබඩා කර ගන්න බැරිවෙලා වගාවන් නිසි අයුරින් කර ගන්න බැරි වෙනවා. නියං කාලවලදී අපි ගොඩක් ප‍්‍රයෝජනයට ගන්නේ මේ වැවේ වතුරයි. මේ වර්ෂා කාලයේ අපේ මේ දඹවින්න වැව පුරවා ගන්න බැරි වුණොත් අපිට වගා කටයුතුත් ඉදිරියට නිසියාකාරව කර ගන්න බැරි වෙයි. ඒ නිසා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ දඹවින්න වැව අපිට නිසි අයුරින් ප‍්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි.

බොරලන්ද – සමන්ත කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment