වැලිමඩ විජිත මඤ්ඤොක්කා, බතලවලින් කන්නයම ගොඩදමයි – ආහාර හිඟය දුර දුටු ගොවියෙක්

677

පවතින රසායනික පොහොර හිඟය හා කෘමි නාශක හිඟයට අනුගත වෙමින් රටේ ඇති වෙතැයි අනාවැකි පළ වන ආහාර හිඟයට යම් හෝ විසඳුමක් ලෙස අක්කර තුනක පමණ මඤ්ඤොක්කා හා බතල වගාවක් සිදු කරනු ලබන ආදර්ශවත් ගොවියකු පිළිබඳව අපට වැලිමඩ දිවුරුම්වෙල ප්‍රදේශයෙන් වාර්තා විය.

වැලිමඩ විජිත මඤ්ඤොක්කා, බතලවලින් කන්නයම ගොඩදමයි - ආහාර හිඟය දුර දුටු ගොවියෙක්

ඔහු නමින් විජිත බණ්ඩාර ඒකනායකයි. වැලිමඩ නුගතලාව ප්‍රදේශයේ පදිංචි විජිත බණ්ඩාර මහතා මෙලෙස අක්කර තුනක පමණ මඤ්ඤොක්කා හා බතල වගාවක් දිවුරුම්වෙල ප්‍රදේශයේ පවත්වාගෙන යයි. මේ වන විට මෙම වගාවන්හි අස්වනු නෙළීම ආරම්භව ඇති අතර මෙම වගාවන් සම්බන්ධව විජිත බණ්ඩාර ඒකනායක මහතා මෙසේ පැවසීය.

වැලිමඩ විජිත මඤ්ඤොක්කා, බතලවලින් කන්නයම ගොඩදමයි - ආහාර හිඟය දුර දුටු ගොවියෙක්

මම වෘත්තියෙන් ගොවියෙක්. මම දැනට වසර විස්සක පමන සිට වගා කටයුතුවල නිරත වෙනවා. පසුගිය කොවිඩ් වසංගත කාලයේ කතාබහක් ඇති වුණා ඉදිරියේදී ආහාර අර්බුදයක් ඇති වෙනවා කියලා. ඒ වගේම අපිට පහුගිය කාලයේ වගා කටයුතු සඳහා රසායනික බෙහෙත් පොහොර තිබුණේ නැහැ. පොහොර නවත්වනවා කියලා කිව්වා. එහෙම කියලා අපේ ඉඩම් නිකන් තියන්න බැහැ. මම ගම්පොලින් හා තවත් ප්‍රදේශ කිහිපයකින්ම මඤ්ඤොක්කා දඬු ගෙනවිත් හිටෙව්වා මගේ අක්කර තුනක විතර දිවුරුම්වෙල තියෙන ඉඩමේ. මේ වන විට හොඳට හැදිලා තියෙනවා. මේ වගාවෙන් අස්වැන්න කිලෝ අටදාහක් විතර ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මට මේ වගාවට එච්චර ලොකු වියදමක් ගියේ නැහැ. මම බෝංචි වගා කරලා තිබුණ එක අතර තමයි මේ මඤ්ඤොක්කා දඬුත් හිටෙව්වේ. බෝංචි වගාව අවසන් වන විට මඤ්ඤොක්කා දඬු පැල වෙලා තිබුණා. වැස්සත් අවශ්‍ය වේලාවට ඇද හැලුනා. බෙහෙත් පොහොර දැම්මේ නැහැ. වගාව හොඳට සාර්ථකයි. නිකන් හිටියානම් මෙහෙම අස්වැන්නක් ගන්න බැහැනේ. බෙහෙත් පොහොර නැහැ කියලා නිකන් උඩ බලාගෙන ඉන්න බැහැ. අපේ ඉඩම් නිකන් තියන්නත් බැහැ. මට ගොඩක් සතුටුයි මේ වගාව දිහා බැලුවහම. රටට කන්න දෙන එකත් ලොකු පිනක්. ලොකු සතුටක්. මම හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ නිකන් ඉන්නේ නැතුව පුළුවන් ආකාරයට මොකක් හරි වගාවක් කරන්න කියලා. මට මේ වගාව කරගෙන යන්න කැප්පෙටිපොල ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් ගොඩක් සහය ලැබුණා. අපේ ගමට ඉන්න කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර පද්මිණී නිශ්ශංක මහත්මියත් මට මේ වගාවට උපදෙස් දීලා උදව් කළා. මම බතල වගාවක්ද පවත්වාගෙන යනවා. එම වගාවත් සාර්ථකයි. බතල අස්වැන්නත් දැන් නෙළනවා. මේ මඤ්ඤොක්කා වගාවයි බතල වගාවයි අඩු වියදමකින් කරන්න පුළුවන් වගාවන් දෙකක්. ඒ නිසා මම සියලු ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා මම වගේ මේ වගාවන්ට යොමු වෙලා රටේ ආහාර අර්බුදයට විසඳුමක් ලබා දෙන ගමන් තමන්ගේ ආර්ථිකය ද ශක්තිමත් කර ගන්නා ලෙස.

 කැප්පෙටිපොල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය නිලධාරි ගීතා කුමුදුනී රත්නායක මහත්මිය මෙසේ පැවසීය.

 පසුගිය කාලයේ කොවිඩ් වසංගතයත් සමගම අපි ගොවි මහත්වරු දැනුවත් කළා නිවසට වෙලා නිකන් ඉන්නේ නැතිව වගාවට යොමු වන්න කියලා. ඒ අපි දුන්න උපදෙස් පිලිඅරන් වගාව නිසි අයුරින් කළ ගොවියෙක් තමයි මේ විජිත බණ්ඩාර ඒකනායක මහතා. ගොවි ජනතාවටම විජිත මහතා ආදර්ශයක්. මේ වගේ සෑම ගොවියෙක්ම සෑම ඉඩමක්ම වගාවට යොදා ගන්නවානම් අපිට ඉදිරියේදී එතැයි අනුමාන කරන ආහාර හිඟයට නොබියව මුහුණ දෙන්න පුළුවන්. වගාවක් කරන්න කිව්වම නොයෙක් ප්‍රශ්න ගැටලු කියන ගොවීන්ට අපි කියනවා මේ වගාව ඇවිත් බලන්න කියලා. විජිත මහත්මයාටත් ප්‍රශ්න නැතිව නොවෙයි. මඤ්ඤොක්කා වගාවක් කියන්නේ සතුන්ගෙන් ආරක්ෂා කළ යුතු වගාවක්. ඒ සෑම අභියෝගයක්ම විජිත ගොවි මහතා ජයගෙන තිබෙනවා. උත්සහය වුවමනාව තිබෙනවානම් ඕනෑම අභියෝගයක් ජයගත හැකියි. අපි නිතරම ගොවි ජනතාවට උපදෙස් හා උදව් දීමට සූදානම්ව සිටිනවා.

 ගොවියන්ගේ උනන්දුවයි අවශ්‍ය.

 බොරලන්ද – සමන්ත කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment