වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමි වැඩ විසූ අම්පිටිය දළුක්ගොල්ල රජමහා විහාරය

1299

කන්ද උඩරට රාජධානීයේ පිහිටි අම්පිටිය දළුගොල්ල රජමහා විහාරයට ප‍්‍රවේෂ වීම සඳහා මහනුවර නගරයේ සිට කිලෝමීටර් 06ක් පමණ ගමන් කළ යුතුය. ඒ අනුව තලාතුඔය

මාර්ගයේ අම්පිටිය සෙමනේරි හන්දියට පැමිණ එතනින් රටේමුල්ල මාවතේ කිලෝ මීටර් 03ක් පමණ ගිය විට දකුණු පසට වන්නට අඩි 20ක් පමණ උස් භූමියක විහාරය පිහිටා ඇති අතර කළුගල් පඩිපෙළ නැ`ගීමෙන් විහාර භූමියට ප‍්‍රවේෂ විය හැකිය. ස්වභාව සෞන්දර්යෙන් අනූන හන්තාන කඳු වැටියේ වාකර් වත්ත හෙවත් දුනුමඩලාව රක්ෂිතයට මායිම්ව දළුක්ගොල්ල රජමහා විහාරය පිහිටා ඇත. එම රක්ෂිතයේ සිට එන හින්පැන්කඳුර හා රජපිහිල්ල ඇළ විහාර භූමියේ සුන්දරත්වය තවත් වර්ධනය කරයි. ජනප‍්‍රවාදයට අනුව පාතහේවාහැට ගංදහය කෝරළයට අයත් මෙම අම්පිටිය ග‍්‍රාමයේ දළුක්ගොල්ල යන නම ලැබී ඇත්තේ වැලිවිට අසරණ සරණ සංඝරාජ හිමි වස්වසන විට ඒ අසලින් වළහෙක් ගමන් කරමින් බාධා කළ නිසා එය වැළැක්වීමට දළුක් පඳුරු සිට වූ නිසාය.

වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමි වැඩ විසූ  අම්පිටිය දළුක්ගොල්ල රජමහා විහාරය

මෙම දළුක්ගොල්ල රජමහා විහාරයේ ඉතිහාසය පිළිබඳව විමසන විට කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු (ක‍්‍රි. ව. 1747 – 1782) විසින් අගනගරය ආසන්නයේ ඉදි කරන ලද ප‍්‍රධාන එකක් බව මන්දාරම්පුර පුවත නම් ඓතිහාසික ග‍්‍රන්ථයේ සඳහන් වේ. ඒ අනුව එහි,

‘‘සුදුහුම් පොල ද අම්පිටි ද නිත්ත – ගංගාරම වෙහෙර ද නුවර සිව්
ගම්වර දෙවා සිප්සැල් වැවස්තා – පත්කර ඉගනීම අත්කළ දන සි’’

වශයෙන් දැක්වේ. එයින් පැහැදිලි වන්නේ උඩරට රාජධානියේ අගනුවර වූ මහනුවර නගරයට ආසන්නයෙන් සිව් දිශාවෙහි සුදුහුම්පොළ, අම්පිටිය, නිත්තවෙල සහ ගංගාරාමය යන රජමහා විහාර සතර ඉදි කර ඒවායේ අධ්‍යාපන මධ්‍යස්ථානත් පිහිටුවා ගම්වර පූජා කළ බවයි. ඒ අනුව කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ ආගමික සේවාවේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම විහාරය ඉදි වී ඇත. රජුගේ උපදෙස් පරිදි විහාරයේ වැඩකටයුතු රාජකරුණා විජේවර්ධන නවරත්න වාසල මුදියන්සේ විසින් සිදු කළ බව සඳහන්ව ඇත. මෙම විහාරය ඉදිකිරීම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් සහිත සන්නසක් විහාරය සතු වූ බව 1896 දී ආච්බෝල්ඞ් කැම්ප්බෙල් ලෝරි විසින් රචිත A Gazetteer of the Central province of Ceylon ග‍්‍රන්ථයේ සඳහන් වේ. එහි සඳහන් අකාරයට,

‘‘මහරාජෝත්තමයාණන් වහන්සේ මහනුවරින් දකුණු දෙස පිහිටි අම්පිටිය දලූක්ගලට වැඩම කොට හට ගත් සද්ධා භක්තිය විසින් පොළඹ වන ලදුයේ සිට නෙලූම් පෙති බඳු දෙතොල් විවර කොට මෙහි විහාරයක් සෑදීමට යෝග්‍ය වන්නේ යැයි කියා සිටියහ. පෝය ගෙයක් සහ ධාතු සහිත පිළිමයක් ද පිහිටවන ලදී,.’’

වශයෙනි. ඒ අනුව පැහැදිලි වන්නේ විහාරය පිහිටුවීමට සුදුසු භූමිය කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු විසින්ම තෝරා ගත් බවයි.

වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමි වැඩ විසූ  අම්පිටිය දළුක්ගොල්ල රජමහා විහාරය

මෙම විහාරය ඇතුළුව මහනුවර නගරයේ සිව් කෝණහි ඉදි කළ සතර වාසල් විහාර ඉදි කිරීමේ ප‍්‍රධාන අරමුණ වී ඇත්තේ අගනගරයේ ආගමික සහ අධ්‍යාපනික දියුණුව ඇති කිරීම මෙන්ම උපසම්පදා විනය කර්මයට පැමිණෙන භික්ෂූන්ට සහ දළඳා වන්සේ වන්දනා කිරීමට, පෙරහැර නැරඹීමට මහනුවරට පැමිණෙන ගිහි පැවිදි පිරිස්වල නවාතැන් පහසුකම් සැලසීමය. ඒ අනුව දළුගොල්ල විහාරය නුවරඑළිය උඩහෝවාහැට ප‍්‍රදේශයෙන් පැමිණෙන පිරිස් සඳහා පහසුකම් සැලසූ බව සඳහන් වේ.

සියලූ විහාර අංග ලක්ෂණ සහිතව ඉදි වූ මෙම විහාරය ශක වර්ෂ 1624 නවන් මස පුර පස 03 වන බුද දිනයේ දී මල්වතු මහා විහාර පර්ශ්වයේ ධම්ම රක්ඛිත අනුනායක හිමියන් වෙත උන්වහන්සේගේ ශිෂ්‍යය පරම්පරාවට බුද්ධ නීතිය ප‍්‍රකාරව භූක්ති විඳීම සඳහා රජු විසින් පූජා කළ බව සඳහන් වේ. මෙම විහාරයේ නඩත්තුව සඳහා විශාල ඉඩකඩම් ප‍්‍රමාණයක් ද පූජාකළ බව සඳහන් වේ. කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගෙන් පසු උඩරට රජ පැමිණි රාජාධිරාජසිංහ රජු විසින් නැවත හැටපස් අමුණක ඉඩම් ප‍්‍රමාණයක් ක‍්‍රි. ව. 1795 දී නිදගමක් ලෙස පූජා කළ බව සඳහන් වේ. මෙයින් සැලකිය යුතු ඉඩම් ප‍්‍රමාණයක් බි‍්‍රතාන්‍ය පාලන සමයේ දී විහාරයට අහිමි වූ අතර 1827.06.20 වන දින පොල්වත්තගේ කෝරාළ ආරච්චි සහ ඉලංගම කුඩා මොහොට්ටාල විසින් විහාරයට අයත් ඉඩකම් මැන ඒ සම්බන්ධ වාර්තාවක් මහනුවර අධිකරණයට ඉදිරිපත් කොට තිබූ බව ලෝරි සඳහන් කරයි. එයින් පෙනී යන්නේ අම්පිටිය රජමහා විහාරය මහනුවර යුගයේ දී ප‍්‍රධාන ආගමික මධ්‍යස්ථානයක් බවට පත්ව තිබූ බවයි.

මෙම විහාරයේ ඓතිහාසිකත්වය සහ පූජනීයත්වය වර්ධනය කිරීම සඳහා බලපෑ හේතුන් අතර කන්ද උඩරට රාජධානී සමයේ සංඝරාජ පදවිය දරු වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් වාසය කිරීම පෙන්වා දිය හැකිය. ජනප‍්‍රවාදයට අනුව කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු මෙම විහාරය ඉදි කිරීමට පෙර විහාර භූමිය ආසන්න කඳු ගැටයක පිහිටි ගල් ලෙනක උන්වහන්සේ වාසය කර ඇත. එමෙන්ම ක‍්‍රි. ව. 1778 ඇසළ මාසයේ දී මල්වතු මහා විහාරයේ දී අපවත් වූ උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ රාජ්‍යය අනුග‍්‍රහය සහිතව මෙම විහාර භූමියේ සකසන ලද සඳුන් දර සෑයක් මත සිදු කළ බව සංඝරාජ සාධු චරියා ග‍්‍රන්ථයේ සඳහන් වේ. එම ස්ථානයේ නා ගසක් සහ අඩි 06ක් උස ගල් ටැබක් පිහිටුවා තිබූ බව ලෝරි විසින් වාර්තා කොට ඇත. එමෙන්ම රජුගේ උපදෙස් පරිදි නිලමේවරුන් විසින් මතක දානයක් පවත්වා අනතුරුව ධාතු තැම්පත් කරවා ස්ථූපයක් ඉදි කළ බව සංඝරාජ සාධු චරියාව ග‍්‍රන්ථයේ සඳහන් වේ. එලෙස ඉදි කරන ලද ස්ථූපය 1965 දී නැවත ප‍්‍රතිසංසකරණය කොට ඇති අතර එම ස්ථූපය අඩි 20 පමණ උසකින් යුක්ත වේ. විහාර මන්දිරයට පිටුපසින් පිහිටා ඇති මෙම දාගැබ වර්තමානයේ ද සැදැහැති බෞද්ධයන්ගේ පූජෝපහාරයට ලක් වෙමින් විරාජමානව වැඩ වසති.

වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමි වැඩ විසූ  අම්පිටිය දළුක්ගොල්ල රජමහා විහාරය

මෙම දළුක්ගොල්ල විහාර භූමියේ කළක් සියම් මහා නිකායේ මල්වතු පර්ශ්වයේ ආදාහන මළුව පැවති බව සඳහන් වේ. 1875 වන විට වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍යය භික්ෂූන් 08 නමකගේ ආදාහන කටයුතු සිදු කර එම ස්ථානයේ ස්මාරක ඉදි කර තිබූ බවත් ලෝරි සඳහන් කරයි. මෙම විහාරය සියම් මහා නිකායේ මල්වතු පර්ශ්වය යටතේ වර්තමානයේ ද පාලනය වන අතර මෙහි විහාරාධිපතිධූරය රඹුක්වැල්ලේ ධර්මරක්ඛිත පරපුරේ භික්ෂූවකට හිමි වේ. මෙම විහාරයේ 1878 – 1893 කාලයේ විහාරාධිපතිධුරය දැරු මැදගම මහා නායක උන්නාසේ සමකාලීන කන්ද උඩරට බෞද්ධයන් අතර ගෞරවාධරයට ලක්ව සිටි භික්ෂුවක් බව ලෝරි සඳහන් කොට ඇත. උන්වහන්සේ අපවත් වූයේ දළදා පෙරහැර අවසානයේ ධාතු කර`ඩුව තැම්පත් කිරීමෙන් පසුව බවත් එබැවින් මරණය වාසනාවන්ත එකක් ලෙස සමකාලීන ජනයා විශ්වාස කළ බවත් ලෝරි සඳහන් කරයි.

කන්ද උඩරට රාජධානීයේ රජවරුන්ගේ ඍජු අනුග‍්‍රහය යටතේ ඉදි වූ මෙම විහාරයේ ද දළඳා මැඳුර සහ සතර දේවාලවල පවත්වන වර්ෂික සතර මංගල්‍යයන් රාජ්‍යය නියමය අනුව වර්තමානය තෙක් අඛණ්ඩව සිදු කරයි. එහිදී ඇසළ පෙරහැර මංගල්‍යය හැර අනිත් මංගල්‍යයන් වන අලූත් සහල් මංගල්‍යය, අලූත් අවුරුදු මංගල්‍යය සහ කාර්තික මංගල්‍යය පවත්වනු ලබයි. ඒ අනුව අලූත් සහල් මංගල්‍යය සඳහා ගුරුදෙණිය රාජකීය වී අටුවේ දී (වර්තමාන කුණ්ඩසාලය වී අටුවේ දී) සහල් බෙදීමේ දී පළමු ලැයිස්තුව යටතේ සහල් සේරු 03 ක් හා වී සේරු 02ක් හිමි වන අතර ඉල් මාසයේ පවත්වන කාර්තික මංගලෝත්සවය සඳහා මහනුවර ශ‍්‍රී නාථ දේවාලයේ දී තෙල් බෙදන විට තෙල් නැලි දෙකක ප‍්‍රමාණයක් අම්පිටිය දළුගොල්ල රජමහා විහාරයට හිමි වේ. අලූත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ මංගල්‍යයට නාථ දේවාලයේ දී තෙල් බෙදීමේ දී මෙම විහාරයට ද තෙල් හිමි වේ.

මෙම විහාරයේ ගෘහනිර්මාණය ගැන විමසීමේ දී මහනුවර යුගයේ දී ඕලන්ද සම්ප‍්‍රදායට අනුව ඉදිකරන ලද පෞරාණික විහාර මන්දිරය ඉතා වැදගත්ය. අඩි 21ක් දිග අඩි 25ක් පළල මෙම විහාර මන්දිරය බි‍්‍රතාන්‍ය අවධියේ දී ද ප‍්‍රතිසංකරණය කළ බව ලෝරි වාර්තා කොට ඇත. විහාර මන්දිරයේ ගර්භ ගෘහය තුළ මහනුවර කලා සම්ප‍්‍රදාය නිරූපිත හිඳි බුද්ධ ප‍්‍රතිමාවක් සහ දෙපස බිත්තිවල හිටි බුද්ධ ප‍්‍රතිමා දෙකක් ඉදි කර ඇත. හිඳි බුද්ධ ප‍්‍රතිමාව වටා විශාල බුද්ධ රශ්මි මාලක් නිරූපණය කර ඇත. හිටි බුද්ධ ප‍්‍රතිමාවට ආසන්නයෙන් දකුණු පස බිත්තියේ සුමන සමන් දෙවියන්ගේ සහ වම් පස බිත්තියේ විෂ්ණු දේවියන්ගේ ප‍්‍රතිමා ඉදිකර ඇත. මෙම විෂ්ණු දේව ප‍්‍රතිමාව කලා ඉතිහාසඥයන්ගේ විශේෂ අවදානයට ලක්ව ඇති අතර එය නිත්තවෙල හා සුදුහුම්පල විහාරවල ප‍්‍රතිමාව සේම දකුණතින් සංඛයත් වමතින් හෙල්ලක් ද ගෙන සිටින ආකාරයට නිරූපණය කොට ඇත. මෙම විහාරය සතුව කිර්තී ශ‍්‍රී රාජසිංහ රජු විසින් පූජා කරන ලද අඩි 03ක් පමණ උස සඳුන් හිඳි බුද්ධ ප‍්‍රතිමාවක් ඇත. විහාර මන්දිරයේ බිත්ති මහනුවර යුගයේ සිතුවම්වලින් අලංකාර කොට ඇත. මහනුවර යුගයේ විහාර සිතිවම්වල උසස්ම සිතුවම් කිහිපයක් මෙම විහාරය සතුව පවතින බව කලා ඉතිහාසඥයන්ගේ මතයයි. විහාර බිත්තියේ ඉහළම අර්ධය දහසක් බුදුවරු නිරූපිත සිතුවම්වලින් සමන්විත අතර හිඳි බුද්ධ රූප 56ක් නිරූපණය කොට ඇත. ඊට පහළින් බුදු පුදට යන රහතන් වහන්සේලා නිරූපණය කර ඇත. ඒ අනුව ශ‍්‍රාවක රූප 18ක් සිතුවම් කොට ඇත. ප‍්‍රවේෂ දොරටුව දෙපස උඩරට සිතුවම් කලාවේ අනිවාර්ය තේමාවක් වන සොළොස්මස්ථානය නිරූපිත සිතුවම් සඳහා වෙන්ව ඇත. විහාර මන්දිරයේ වියන නෙලූම් මල් සහ දිව්‍ය විමාන වසන දේව රූප චිත‍්‍රණය කොට ඇත. එම වියන් චිත‍්‍ර අතර මහා බ‍්‍රාහ්ම දෙවියන් නිරූපිත සිතුවම රේඛා භාවිතයෙන් නිරූපණය කර ඇති අතර මහනුවර යුගයේ චිත‍්‍ර ශිල්පීන්ගේ ප‍්‍රතිභා ශක්තිය නිරූපනය කරන සිතුවමක් වශයෙන් කලා විචාරකයන්ගේ සම්භාවනාවට මෙම චිත‍්‍රය ලක් වී ඇත. එමෙන්ම මහනුවර යුගයේ බුදු දහමට සිදු වූ හින්දු ආගමික බලපෑමත් මනාව පෙන්නුම් කෙරේ.

විහාරයට මන්දිරයට ප‍්‍රවේෂ වන දොරටුවේ උළුවස්ස දෙපස ඉදි කර ඇති දොරටුපාල ප‍්‍රතිමා දෙකත් සිංහ රූප ද්විත්වය සහ මකර තොරණ බි‍්‍රතාන්‍ය යුගයේ එක් කරන ලද

අංග බව කලා ඉතිහාසඥයන්ගේ මතයයි. කලාත්මක අතින් ද එම නිර්මාණ එතරම් උසස් නිර්මාණ නොවේ. මෙම විහාරය මහනුවර යුගයට අයත් පෙති උළුවලින් සෙවිලි කර ඇති අතර පියස්ස දරා සිටීමට ඕලන්ද ගෘහනිර්මාණ ශිල්පය අනුව යමින් රවුම් කුලූනු 14ක් නිර්මාණය කර ඇත. විහාර මන්දිරයට සම්බන්ධව ඉදිකරන ලද හේවිසි මණ්ඩපයක් දැකිය හැකි අතර එහි පියස්ස ද ඕලන්ද කුලූනු 06කින් දරා සිටී.

මෙම විහාරයේ දැකිය හැකි තවත් වැදගත් අංගයක් වන්නේ විහාරයට ප‍්‍රවේෂවන විට මුලින්ම හමුවන විශාල සංඝාරමයයි. සුදුහුම්පළ රජමහාවිහාරයේ ඇති සංඝාරාමයට සමාන වන මෙය උඩරට රජධානියේ අගනගරයට පැමිණි භික්ෂූන්ගේ නවාතැන් කටයුතු සඳහා කීර්ති ශ‍්‍රී රාජසිංහ රාජ්‍යය සමයේ ඉදි කරන ලද්දක් බව පෙනේ. විශාල සංඝාරාමයක් වන මෙය මැටියෙන් ඉදිකර කපරාරු කර ඇත. මැද මිදුලක් සහිතව වලව් ගෘහනිර්මාණය අනුව නිර්මිත මෙම සංඝාරාමයේ මැද මිදුල වටා භික්ෂු කුටි ඉදිකර ඇත. පියස්ස දරා සිටීමට දැවමය රවුම් ලී යොදා ඇත. අතීතයේ දී පියස්ස පෙති උළුවලින් වසා තිබුණත් වර්තමාන ප‍්‍රතිසංස්කරණවල දී කොකු උළු යොදා ඇත. ඒ අනුව මෙම සංඝාරාමය විහාරයේ ඓතිහාසිකත්වය වර්ධනය කිරීමට හේතු වී ඇත.

ඩබ්ලිව්. එම්. එම්. සංජය වීරකෝන්.
ශාස්ත‍්‍රවේදී (ගෞරව) ඉතිහාසය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment