වැලේ වැල් නැති රටකත් පොත් සල්පිලට මහා සෙනඟක්…

188

නවකතා, කෙටිකතා අලෙවියේ අඩුවක්

වැඩි පිරිසක් එන්නේ පාසල් උපකරණ ගන්න

කවි පොත් සඳහා මෙවරත් හොඳ ඉල්ලුමක්.

මුද්‍රණ වියදම් එක්ක අඩුවට පොත් දෙන්න බෑ.. කර්මාන්තය අනතුරේ…..

දහවල හිරු ගිනියම විඩාව ගෙනදෙන සුළුය. දැඩි හිරු රැසින් යුත් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා එළිමහන් භූමිය තුළ ද එහි වෙනසක් නැත. මේ දිනවල එහි පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන බැවින් එය දැකබලා ගැනීමට, පොතපත මිලදී ගැනීම පිණිස එහි පැමිණෙන ජනතාව රළු හිරු එළිය යට වුවද ඔබ මොබ ගමන් කරන ආකාරය දැක ගත හැක. දැනුම් පිපාසය මිනිසුන් බහුල ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය දැකබලා ගැනීම පිණිස අප එහි ගමන් කළ දිනය සතියේ දිනයක් බැවින් දෝ එතරම් ජනකායක් දැක ගැනීමට නොවුවත් ප්‍රදර්ශන භූමියේ ජීවමය බවට ඉන් කිසිදු බලපෑමක් නැත. ඉකුත් සති අන්තයේ ඇවිස්සූනු කඩිගුලක් බඳු ස්වරූපයක් ගත් ප්‍රදර්ශන භූමිය තුළ දකින්නට ලැබුණු උද්යෝගය අප එහි ගමන් කළ දෙවන දිනයේ දකින්නට නොවූවත් පොතපත මිලදී ගැනීම පිණිස පැමිණි විශාල පිරිසක් තුළ තමන් කැමති පොතපත මිලදී ගැනීම, ලේඛක ලේඛිකාවන් හමුවීම සහ ප්‍රදර්ශන භූමිය පැවැත්වෙන සාකච්ඡා, සංවාද ආදියට සහභාගි වීම පිණිස ලොකු උනන්දුවක් පැවති බව දැකගත හැකි වූහ.

තැන තැන ඉදි කොට ඇති ප්‍රදර්ශන කුටි අසලත් එළිමහන් භූමිය තුළ බහුලව දකින්නට ලැබෙන ආහාරපාන අලෙවි සල් අසලත් විශාල වශයෙන් පිරිස් එක් රැස් වී සිටින ආකාරය අපගේ නිරීක්ෂණයට ලක් විය. විශේෂයෙන්ම තරුණ පිරිස් කණ්ඩායම් වශයෙන් ද තනි තනිව ද ප්‍රදර්ශන භූමියට පැමිණෙන ආකාරයත් පොතපත මිලදී ගන්නා ආකාරයත් දැකගත හැකි වූ අතර එහිදී අප හා කතාබහට එක් වූ සාහිත්‍ය ලැදි තරුණ තරුණියන් කිහිප දෙනකු සඳහන් කර සිටියේ වසරකට වරක් උදාවෙන ජාත්‍යන්තර ප්‍රදර්ශනය තුළින් තමන් කැමති පත පොත වට්ටම් සහිතව මිලදී ගැනීමට තමන්ට අවස්ථාව හිමිවන බවත් දැනුම කේන්ද්‍රීය සමාජයක් නිර්මාණය කිරීම පිණිස පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් වසරකට වරක් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය තුළින් ඉමහත් සේවාවක් සිදු වන බවත්ය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් තංගල්ල ප්‍රදේශයේ සිට පොත් මිලදී ගැනීම පිණිස පැමිණි තරුණයෙක් අප හා අදහස් දක්වා සිටියේ මේ අයුරින්ය.

“මම වසර ගණනාවක සිට පොත් ප්‍රදර්ශනය නරඹන්න, පොත පත මිලදීගන්න මේ ප්‍රදර්ශන භූමියට පැමිණෙනව. ඒ විතරක් නොවෙයි, කියාවෙන් උපයන මුදලින් යම්කිසි කොටසක් පොත් මිලදී ගැනීම පිණිස සෑම මාසයකම ඉතුරු කරන එකත් මම පුරුද්දක් වශයෙන් කරන දෙයක්. නමුත් වෙනත් වසරවල රුපියල් දහ පහළොස් දාහක් අරන් පොත් ප්‍රදර්ශනයට ආවනම් ඒ මුදලින් මිලදී ගන්න පොත් අරන් යන්න දෙන්නෙක් වත් ඕන වෙනව. නමුත් මේ වසරේදී ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයකට තමයි මුහුණ දෙන්න සිද්ධ වුණේ. හොඳ පොතක් අලුතින් මිලදී ගන්න ඕන වුණොත් එදා පැවැති මිලට වඩා දෙතුන් ගුණයක් ඒ සඳහා වැය කරන්න වෙනව. ඒ හින්ද පෞද්ගලිකව මටත් මෙතැනට එන තවත් විශාල පිරිසකටත් වෙනදා වගේ තමන් කැමති පොතපත මිලදී ගන්න පුළුවන් කමක් නෑ. බඩගින්නට ආහාර සොයන මිනිස්සු වගේම දැනුම් පිපාසයෙන් පෙළෙන මිනිස්සු ඒ අය කැමති පොතපත මිලදී ගන්න ලොකු කැමැත්තකින් හිටියත් අද ඒ අයට කරන්න පුළුවන් එකම දේ බවට පත් වෙලා තියෙන්නෙ ලොකු මුදලක් වැයකරල සීමිත පොත් ප්‍රමාණයක් මිලදී ගැනීම පමණයි. මෙවර උසස් නිර්මාණ කෘතීන් ගණනාවක් අලුතින් මුද්‍රණය වෙලා තිබෙනවා. මීට පෙර රුපියල් හාර පන්සියයකට මිලදී ගන්න පුළුවන්කම තිබුණු ඒ පොතක් මේ වෙද්දි රුපියල් එක්දහස් පන්සියයක්, දෙදහසක් වගේ මිලකට තමයි අලෙවි වන්නේ. පොත අතපත ගාලා උඩින් පල්ලෙන් බලල එනව මිසක් හුඟ දෙනකුට ඒ පොතක් මිලදී ගන්න වත්කමක් නෑ කියල තමයි පේන්න තිබෙන්නේ..”

වැලේ වැල් නැති රටකත් පොත් සල්පිලට මහා සෙනඟක්…

මෙම තරුණයා ගේ ප්‍රකාශය මෙවර පොත් ප්‍රදර්ශනය තුළ පොත් මිලදී මිලදී ගැනීමට පැමිණෙන බහුතරයක් දෙනාගේ පොදු ප්‍රකාශනයක් බඳුය. රට තුළ පවතින ආර්ථික අර්බුදයෙන් වියුක්තව පැවතීමට මුද්‍රණ කර්මාන්තයට නොහැකි වීම හේතුවෙන් අලුත මුද්‍රණය වන පොතපත සඳහා ඉහළ මිල ගණන් නියම කිරීමට පොත් ප්‍රකාශකයන් ගත් තීරණය මත උසස් නවකතා, කෙටිකතා, පරිවර්තන කෘති ආදිය මිලදී ගැනීමේ යම් අඩුවක් දකින්නට ලැබෙන අතර ඒ සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් ඔස්සේ අප කළ සොයා බැලීමකදී හෙළිදරව් වූවේ පවතින අමුද්‍රව්‍ය මිල ගණන් යටතේ පොතපත මුද්‍රණය කිරීම සහ අලෙවිය මේ වන විට මහත් අභියෝගයක් බවට පත්ව තිබෙන බවය. ඒ සම්බන්ධව අදහස් දක්වමින් පොත් ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේ මෙවැන්නක්ය.

“ඇත්තටම ගත්තොත් වෙනත් වසරවලට සාපේක්ෂව අලෙවියේ යම් අඩුවීමක් දකින්නට ලැබෙනව. සිය ගණනක් වන මේ ප්‍රදර්ශන කුටි ගත්තොත් මේවා ඇතුළේ ඉන්නේ තීන්ත, කඩදාසි එක්ක ජීවත්වෙන මිනිස්සු. වසරකට වරක් ඒ අය සංවිධානය වෙලා පවත්වන මේ දැවැන්ත පොත් ප්‍රදර්ශනය පාඨක සමාජයට මෙන්ම මේ කර්මාන්තයේ නිරත ලොකු කුඩා කාටත් එක සේ වැදගත් වෙනව. නමුත් අද තිබෙන ආර්ථික දුෂ්කරතා එක්ක මේ දෙපාර්ශ්වයම අසීරුතාවට පත් වෙලා ඉවරයි. තමන් කැමති පොතක් මිලදී ගන්න නම් ලොකු මුදලක් වැය කරන්න වෙනවා. ප්‍රකාශකයන් වශයෙන් අපටත් කරන්න දෙයක් නෑ. මුද්‍රණ වියදමට අමතරව පුංචි ලාභයක් තියල තමයි අලෙවිය සිද්ද කරන්නේ. පාඨකයට යම් වට්ටම් මුදලක් යටතේ පොත් අලෙවි කරන්න කටයුතු කරත් මෙවර නිර්මාණාත්මක කෘතීන් අලෙවියේ යම් අඩුවක් පවතිනව…”

වැලේ වැල් නැති රටකත් පොත් සල්පිලට මහා සෙනඟක්…

එම කතාබහෙන් අනතුරුව කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ තවත් ප්‍රදර්ශන කුටි රාශියක් වෙත ගමන් කළ අපට දැකගත හැකි වූවේ මෙවර පාසල් පොත් පත් සහ උපකරණ මිලදී ගැනීම පිණිස එහි පැමිණෙන බොහෝ දෙනෙක් තුළ විශාල කැමැත්තක් පවතින බවක්ය. සාමාන්‍ය වෙළෙඳ පොළ තුළ එවැනි දෑ මිලදී ගැනීමේදී වැය වන මුදලට වඩා අඩු මුදලක් වැය කොට පාසල් පොත් පත් සහ උපකරණ මිලදී ගැනීමේ පහසුකම් ප්‍රදර්ශන භූමියේ පැවතීම හේතුවෙන් ඒ සඳහා ලොකු ඉල්ලුමක් පවතින බව එම අලෙවි කටයුතුවල නිරතවන කීපදෙනෙක් සමග සිදුකළ කතාබහින් පැහැදිලි වීමත් සමග එම ස්ථාන අසලින් ඉවත් වූ අප ඉන් අනතුරුව ළඟා වූවේ ප්‍රදර්ශනය සඳහා පැමිණෙන බොහෝ දෙනකුගේ අවධානය දිනාගත් තවත් එක් ප්‍රදර්ශන කුටියක් වන කවි පොත් සල්පිල වෙතය. කාව්‍ය ලැදි බොහෝ දෙනෙක් නිතර යන එන ස්ථානයක් ලෙස ප්‍රකට කවි පොත් සල්පිල් අසල එවේලෙහි ද කීප දෙනෙක් තමන් කැමති නිර්මාණ එකතුන් මිලදී ගන්නා ආකාරයක් දකින්නට ලැබුණු අතර එම සංවිධාන කටයුතුවල නිරත තරුණ කවියෙකුගෙන් කවි පොත් අලෙවිය පිළිබඳ විමසීමේදී ඔහු සඳහන් කර සිටියේ වෙනත් වසරවලට සාපේක්ෂව මෙවර කවිපොත් සඳහා සැලකිය යුතු ඉල්ලුමක් පවතින බවත් එය අලෙවිය අතින් පමණක් නොව රස වින්දනය අතින්ද හොඳ තත්ත්වයක් ලෙස තමන් තුළ විශ්වාසයක් පවතින බවත්ය.

“කවි පොත් සඳහාම පමණක් වෙන්වූ ප්‍රදර්ශන කුටියක් ලෙස වසර 13ක් පුරා කොළඹ ජාත්‍යන්තර ප්‍රකාශ භූමියේ කවි පොත් සල්පිල නමින් ප්‍රදර්ශන කුටියක් අපි විසින් පවත්වාගෙන යනව. මේක ආරම්භ කළ පළමු අවුරුදු දෙක තුන ගත්තොත් කවි පොත් සඳහා ඉතාම අඩු අලෙවියක් තමයි පැවතුණේ. නමුත් මේ වන විට දකින්නට ලැබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක්. මොකද තමන් කැමති කවිපොත හෝ පොත් කීපයක් එකම තැනකින් මිලදී ගන්න නම් ඒ සඳහා හොඳම තැන මෙතන කියල මේ වෙද්දි හුඟ දෙනෙක් දන්නව. ලංකාවේ මුද්‍රණය වන කවි පොත් ගත්තොත් 90% පමණ මෙතනදී මිලදී ගන්න පුළුවන්. අපි විශ්වාස කරන විදිහට එහෙම පහසුකමක් වෙන කොතනකවත් නැහැ. ඒ හින්දම වර්ෂයෙන් වර්ෂයට කවි පොත් මිලදී ගැනීම සඳහා පැමිණෙන පිරිස වැඩි වෙන්න ගන්නව. මෙවරත් ඒ තත්ත්වයේ වෙනසක් නෑ. ඇතැම් තරුණ නිර්මාණකරුවන්ගෙ කවි පොත් මෙවර විශාල වශයෙන් අලෙවි වන තත්ත්වයක් දකින්නට ලැබෙනව. දින පහ හයක් ඇතුළත පිටපත් දාහක් අලෙවි වනවා කියන්නේ ඉතා හොඳ තත්ත්වයක්. ඈත දුර බැහැරින් පැමිණෙන පාසල් සිසුන් ඒ වගේම කාව්‍ය ලැදි තවත් පිරිස් ඒ අය කැමති කවි පොත මිලදී ගන්න කවි කිවිඳියන් මුණගැහිල කතාබහ කරන්න මෙම ස්ථානය සාකච්ඡා මණ්ඩපයක් බවටත් පත්කරගෙන තිබෙනව. ඒක හොඳ ප්‍රවණතාවක් විදිහට තමයි අපි දකින්නේ..”

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ සිරි විසිතුරු ලියා තැබීම පිණිස මෙවැනි සටහනක් කිසිසේත් ප්‍රමාණවත් නැත. දිනපතා පැවැත්වෙන නාට්‍ය වැඩමුළු සාහිත්‍ය සංවාද, පොත් එළිදැක්වීමේ වැඩසටහන් ආදී මෙකී නොකී බොහෝ විශේෂාංගයන්ගෙන් සමන්විතව මෙවර ද දින ගණනාවක් පුරා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය තුළින් නැවුම් පොතක ආශ්වාදය විඳ ගැනීම මෙන්ම බර සාර සංස්කෘතිකාංගයක් වන පොතපත ඇසුරේ රිසි සේ කාලය ගත කිරීමට ද මෙරට ජනතාවට අවස්ථාව උදාවන අතර අනවරත ජීවිත අරගලයෙන් මොහොතකට හෝ මිදෙන මෙරට සාහිත්‍ය ලැදි ජනතාව මේ වන විට පොත් ප්‍රදර්ශනය හඳුන්වනු ලබන්නේ වසරකට වරක් තමන් සොයා පැමිණෙන සමීපතමයෙකු ලෙසින්ය.

රුවන් ජයවර්ධන.

advertistmentadvertistment
advertistmentadvertistment