වැවක් තනා රටට බත දෙන උපාධිධාරී ගොවියා

716

ඇතැම් අයට එක් දිනක් කියන්නේ පැය අටක් වුණාට මට දිනයක් කියන්නේ පැය විසිහතරම. මේ පැය විසි හතරෙ වෙලාව කුමක්ද කියා අදාළ නැහැ අපිට වැඩ කරන්න පුළුවන්.

තරුණ පරපුරට මම කියන්නේ රටක් වශයෙන් අපේ ලංකාව දැන් වැටෙන්න තැනක් නැහැ. වැටෙන්න පුළුවන් අන්තිම අගාධයට වැටිල තියෙන්නේ. මේ රට ගොඩනගන්න ජවය තියෙන හයිය තියෙන පිරිසක් හැටියට තරුණ පරපුරට විශාල කාර්යභාරයක් තිබෙනව. ඒ කාර්යභාරය ඉටු කිරීමේදී තම තමන්ට පුළුවන් ක්ෂේත්‍රවල කටයුතු රට වෙනුවෙන් ඉෂ්ට කරන්න ඕන. මොකද අපේ රට ඉතිහාසයේ මේ වගේ දරිද්‍රතාවයෙන් පෙළුණ රටක් නෙවෙයි. අපේ රටේ වියළි කලාපයේ වැව් 15000ක් තිබෙන රටක් මේක. ඉතිහාසයේ පිටරටටත් හාල් යවපු රටක් මේක. අපේ රටේ හැම තැනම සරු පොළොවක් තියෙනව. ඕනෑම දෙයක් හදන්න පුළුවන් රටක් මේක.

අපි මෙහෙම දුප්පත් වෙන්න ඕන රටක් නෙවෙයි. ඒ නිසා විශේෂයෙන්ම මතක් කළ යුතුයි. මේ රටේ පුරවැසියෝ විදියට අපේ අයිතිවාසිකම් දිනාගන්න අරගල කරන තරමට, හඬ නගන තරමටම රටක් හැටියට අපේ යුතුකම් මේ රටට ඉෂ්ට කරලද කියන කාරණය තමන්ගේ හදවත්වලින් අහන්න ඕන කාලය ඇවිත් තියෙන්නේ. මොකද අපේ යුතුකම හරියට කරනවා නම් මේ රට ගොඩදාන එක එතරම් ප්‍රශ්නයක් නෙවෙයි.

ඒ ඇඹිලිපිටිය උඩවලව සංඛපාල පදිංචි මොරගොඩ ලියනගේ ප්‍රසාද් හරීන්ද්‍ර කුමාර ගේ අදහසක්. ඔහු වයස අවුරුදු 40ක තරුණයෙකි. මේ වන විට තමන් විසින්ම වැවක් ඉදිකර අක්කර 30ක් පමණ සරුසාරයට වවන අපේ රටට බත සපයන උපාධිධාරී තරුණයෙකි ප්‍රසාද්. ඔහුගේ මේ යෝධ වැඩ බලන්නට අපි ප්‍රසාද්ගේ වගා බිමට ගියෙමු.

සංඛපාල පන්සල ඉදිරිපිට පදිංචි වුවත් ප්‍රසාද්ගේ ගොවිපළ ඇත්තේ පනහඩුව මාර්ගයේ ගොස් පනහඩුව ලයිට්පාරේ කරවිලයාය ප්‍රදේශයේය. මෙම ඉඩම සංඛපාල විහාරස්ථානයට අයත් නින්දගම් ඉඩමකි. අපි එම ගොවිපළට ඇතුළු වන විටත් ප්‍රසාද් ගොවිතැන් කටයුතුවල නිරත වෙමින් සිටින අයුරු දක්නට විය.

ප්‍රසාද් තිත්තවැල්පත විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව උසස් අධ්‍යාපනය සඳහා පල්ලේබැද්ද මහා විද්‍යාලයට ඇතුළත්ව ඇත. ඉන් අනතුරුව 2007 දී රුහුණ විශ්වවිද්‍යාලයේ උපාධිය ලබාගෙන ඇති අතර පශ්චාත් උපාධිය ලෙස ජනසන්නිවේදනය කැලණිය විශ්වවිද්‍යාලයෙන් හදාරා ඇත. පසුව පරිසර කළමනාකරණය හා සංරක්ෂණය විවෘත විශ්ව විද්‍යාලයෙන් හදාරන ඔහුට 2008 දී රජයේ රැකියාවකට යන්න අවස්ථාව ලැබුණ ද එය සඳහා යොමු නොවී ගොවිතැන් කටයුතු කරන්නට විය.

වැවක් තනා රටට බත දෙන උපාධිධාරී ගොවියා

ප්‍රසාද් කියන්නේ මට මගේ පවුලේ ගොවිතැනට ගොඩක් ඉඩ තිබුණා හොඳ පසුබිමක් තිබුණා. අපේ පවුලේ අම්මයි තාත්තයි නංගියි මායි ඉන්නේ. මට පොඩි කාලයේ ඉඳලම ගොවිතැන් පිළිබඳව හොඳ අත්දැකීමක් තිබුණා.

මම එදා රැකියාවට ගියා නම් අද මේ වගේ වැවක් ඉදිකරල විශාල පිරිසකට රැකියාවන් දෙන්න වෙන්නේ නැහැ. මේ වන විට දිනපතාම 20ක් පමණ මගේ ගොවිපළේ සේවය කරනව. මේ අයගේ පවුල් රැකෙන්නේ ඒ ගන්නා මුදලින්.

2012 දී තමයි මම වැව හදන්න පටන් ගත්තේ. වැවක් හදනවිට සම්පූර්ණ පරිසර පදිධතියම වෙනස් වන බව මම විශ්වවිද්‍යාලය තුළදී ඉගනගෙන තියෙනව. භූගත ජල මට්ටම ඉහළට එන බව මම දැනන් හිටියා. මේ වැවේ ධාරිතාවය අක්කර දෙක හමාරක පුරා විහිදී තියෙනවා. කුරුල්ලන් සිටි ස්ථාන පොඩි දූපත් හැටියට මේ වන විට ඒ ආකාරයෙන්ම තියල තියෙනව. හොඳට වැස්ස ලැබුණොත් මේ වැව පිරෙනව. ඉතින් මට කන්න දෙක වගා කරන්න හොඳටම මේ ජලය ප්‍රමාණවත්. ඒ කාලේ හැටියට මට ලක්ෂ 30ක් පමණයි මේ වැව හදන්න ගියේ.

මගේ මේ ඉඩම දෙපැත්තෙන්ම ඇළවල් දෙකක් යනවා. මේ ඇළක් මට හරස් කරල දුන්නොත් මීට වඩා යමක් කරන්න පුළුවන්. මේ වැවේ වැව් බැම්මේ දිග අඩි 165යි. පළල අඩි 15ක් හා උස අඩි 16ක් වෙනවා. ඔහු මේ වැව සඳහා කොහොඹ ගහ වැව තියා නම් තබා ඇත.

මේ වන විට ප්‍රසාද් පාන්දරින්ම නැගිට තම ගොවිපළට පැමිණෙන අතර පැය කිහිපයක් එහි වැඩ කර මේ වන විට ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරියකු ලෙස වැඩ කරන අතර පසුව ඒ සඳහා පිටත්ව යයි. ඉන් අනතුරුව තම රාජකාරිය නිමා කොටද එන්නේ තම ගොවිපළ වෙතය.

මේ වන විට ප්‍රසාද් පොල් ගස් දහසක් සිටුවා ආදායම් ලබමින් පවතී. ඔහුම සාදාගත් වැවෙන් ජලය ගෙන කුඹුරු අක්කර 5ක් අස්වද්දා ඇත. මේ රටේ හැදෙන සෑම එළවළුවක්ම පලතුරක්ම කාලයෙන් කාලයට වගා කරන බව ප්‍රසාද් පවසයි.

මේ වන විට ටී.ජේ.සී අඹ වගාවක්, කජු, කවුපි, මුං, එළබටු, තම්පලා, තණ, කංකුන්, තක්කාලි කැරට්, බීට්, වට්ටක්කා යන බෝග වගාකර ඒවායින් සරු ඵලදාවක් ලබමින් පවතී.

අපි මේ වැඩ කරන්නේ සංඛපාල පන්සලේ ඉඩම්වල. මේවට අපි බදු ගෙවනවා. සෑම බෝගයකම මුල් කොටස අපි පන්සලට පූජා කරලයි අස්වනු නෙළීම ආරම්භ කරන්නේ.

මෙම වැව ආශ්‍රිතව ප්‍රසාද් විසින් සංචාරකයින් සඳහා නවාතැන් පලක්ද මේවන විට ඉදිකරමින් පවතිනවා. ප්‍රසාද් කියා සිටින්නේ විදේශිකයන්

ගොවිබිම්වල ඇති සංචාරක බංගලා සම්බන්ධයෙන් වැඩි කැමැත්තක් දක්වන බවත් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන ඒමට හැකියාව ලැබෙන බවයි.

රාජකාරියක් කරන ගමන් තමන්ගේ මහන්සියෙන් වැවක් තනා රටට බත සපයන මේ තරුණයා රටටම ආඩම්බරයකි.

ඕමල්පේ
ප්‍රගීත් ජනක

advertistmentadvertistment
advertistmentadvertistment