වැසිකිළිය ඉදිකිරීමේදී සැලකිය යුතු වාස්තු කරුණු

696

නිවසේ ඇති මරමස්ථාන 16 තුළ හෝ නිවසේ ද්වාර ඉදිරිපිට ජනෙල් මධ්‍යයට හසුවන සේ වැසිකිළි වළ ඉදිකිරීම සුබ නොවේ. මුදුන් යට ලීයට, බිත්ති යට ලීයට ඍජුව වැටෙන ආකාරයට වැසිකිළි වළ පැවැතීම එම නිවසේ දූ දරුවන්ගේ විවාහ ප්‍රමාදවීම්වලට හේතු දේ.

මෙයට වර්ෂ ගණනාවකට ප්‍රථම මෙම භූමියේ ඉඩම් හිඟයක් නොවීය. ජනයා සීමිත වූ අතර භූමියෙහි අසීමිතම ඉඩ තිබිණි. එකල ඉඩම් කොටස් කළේ පර්චස් ප්‍රමාණයට නොව අක්කර 05, 03, 02 අක්කර 01 ආදී වශයෙන් වූ අතර විශාල භූමියක් තුළ ඉදිකරන ලද නිවසේ වැසිකිළි වළ නිවසට අඩි 300 – 200 හෝ එයටත් ඈතින් වැසිකළි වළ හා වැසිකිළිය ඉදිකරන ලදී. එදා ඔවුන් එසේ කළේ නිවසට දුර්ගන්ධය පැමිණෙයි සිතා හා නිවස අසල වැසිකිළිය සාදා තිබීමෙන් නිවසට එන අය වැසිකිළියට යෑම දැකීම ලැජ්ජාවට කරුණක් ලෙසින් සිතා සිටි නිසා ය. මෙසේ කාලයෙන් කාල ගත වෙද්දී ඉඩම කොටස් වී දරුවන්ට බෙදී යෑමෙන් නිවස අසලට පැමිණි වැසිකිළිය නාන කාමරය ලෙසින් නිවස තුළට ම පැමිණ ඇත. අද වනවිට නිවාස සැලසුමක නාන කාමරයක්, දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් අනිවාර්්‍යයෙන් පවතී. එය අසුබම නොවේ. නමුත් වාස්තු විද්‍යාවේ විශ්ව නීතියට අවනතව ආපෝ – තේජෝ – වායෝ – පඨවි යන ධාතූන්ට අනුකූලව සිදුකෙරෙනවා නම් ගැටලු නොවේ. නමුත් එසේ නොවීම නිසා ගොඩක්ම නිවාස සැලසුම් ශිල්පීන්ගේ වරදින් හෝ ගෘහයක් ඉදිකරන නිවැසියන්ගේ හිතුමතයට වැඩ කිරීමෙන් ශ්‍රී ලංකාවේ නිවාසවල 50% කට වඩා වාස්තු දෝෂ ඇති වී ඇත්තේ නාන කාමරය හා වැසිකිළිවල වැරදි ඉදිකිරීම් නිසා බව නිවාස පරීක්ෂාවේදී අවබෝධ වී තිබේ.

ඊශාන දිශාවේ නාන කාමරය (නෑමට + වැසිකිළිය) වැසිකිළි වළ ඉදිකිරීමෙන් ඊශාන, නිරිතට දිවෙන නිවසේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ඇනහිටිනු ඇත. ඒ නිසා සුව නොවන රෝගාබාධවලට නිවැසියන් ලක්වනු ඇත. පිළිකා, ස්නායු පද්ධතිය ආශ්‍රිතව රෝග බහුලව පවතින්නේ ඊශාන දිශාවට වැසිකිළිය, වැසිකිළිවළ ඇති නිවාසවල ය. වැසිකිළි වළක් ඉඩමක තනන විටදී ඉඩමේ ප්‍රේත පාදයම තෝරාගත යුතුය. ඉඩමේ මධ්‍ය ලක්ෂ්‍යයේ ගිනි කතුර පිහිටි ස්ථානයේ හෝ ඉඩමේ නිවසේ මරමස්ථාන පිහිටි ස්ථානවල වැසිකිළි වළ ඉදිකිරීම නැති කරදර දුක්කම්ටොලුවලට හේතු දේ.

ඊශාන දිශාවේ වැසිකිළිය නිසා එම නිවසේ රෝග පීඩා කෙළවරක් නොමැත. ධනය විනාශ වනු ඇත. දරුවන්ගේ අධ්‍යාපනයට ද බලපෑම් ඇති වේ. දරුවන් කොපමණ උත්සාහ කළ ද ඔවුනට හොඳ ප්‍රතිඵල නොලැබේ. නැතහොත් අධ්‍යාපනයට ඇති ආශාව නැති වේ. උතුරු දිශාවේ ද වැසිකිළිය, වැසිකිළි වළ පැවැතීම එම නිවසේ ආදායම් මාර්ග අවහිර කරයි. රැකියා කරන අයට උසස්වීම් අහිමි කරයි.

නැඟෙනහිර දිශාවට ද වැසිකිළිය, වළ සඳහා යෝග්‍ය නොවේ. එසේ පැවැතීම ගෘහ මූලිකයා මෙන්ම දරුවන්ගේ ද සෞඛ්‍ය පිරිහෙනු ඇත.

ගිනිකොණ දිශාව තුළ වැසිකිළිය වැසිකිළි වළ ඉදිකිරීමෙන් හොඳ බවට සමහරුන් පවසන්නේ තේජෝ හෙවත් ගින්දර කලාපයේ ශක්තියෙන් වැසිකිළි වළේ අපද්‍රව්‍ය දහනය වන බවයි. නමුත් මා සාක්ෂි සමගින්ම එයට පෞද්ගලිකව එකඟ නොවෙමි. ඒ මා ලත් අත්දැකිම්වලිනි. ගිනිකොණ දිශාව තුළ නාන කාමරය හා වළ පැවැතීම එම නිවසේ බිරිඳගේ සෞඛ්‍ය කෙරෙහි ඍජු බලපෑම් ඇති වේ. බඩේ ගෙඩි, වකුගඩු ආශ්‍රිත රෝග බඩේ පිළිකා හා නිවසේ සමගිය ද බිඳෙන හේතු කරුණු වේ.

දකුණු දිශාවේ 450 කෝණය තුළ 22 1/20 ක් ගිනිකොණ, දකුණ හා නිරිත දකුණ වශයෙන් බෙදේ. එහිදී ගිනිකොණ දකුණට අයත් 22 1/20 තුළ වැසිකිළිය වළ ඉදිකිරීමට හැකිය. නමුත් ඉතා ප්‍රසිද්ධ දේශපාලනඥයන්ට කලාකරුවන්ට දකුණ වැසිකිළිය පැවැතීම ඔවුන්ගේ කීර්ති නාමයට සුබ නොවේ. නිරිත දිශාව ද ඊශාන මෙන්ම වැසිකිළියට වැසිකිළි වළට සුදුසුම නොවේ. එමගින් නිවසේ තැන්පත් ධනය සිඳී යයි. අඹු සැමි ගැටලු, ගෘහ හිමියාට හදිසි අනතුරු ඇති වේ. බටහිර, වයඹ දිශාවන් වැසිකිළි සඳහා සුදුසු වේ.

ඒ වගේම නිවසේ ඇති මරමස්ථාන 16 තුළ හෝ නිවසේ ද්වාර ඉදිරිපිට ජනෙල් මධ්‍යයට හසුවන සෙ වැසිකිළි වළ ඉදිකිරීම සුබ නොවේ. මුදුන් යට ලීයට, බිත්ති යට ලීයට ඍජුව වැටෙන ආකාරයට වැසිකිළි වළ පැවැතීම එම නිවසේ දූ දරුවන්ගේ විවාහ ප්‍රමාදවීම්වලට හේතු දේ.

වැසිකිළි වළක් මතුපිටින් ආවරණය කිරීමේදී ඒ මත ඇති කොන්ක්‍රීට් එකට උස බටයක් දමා තැබීමෙන් වළ අභ්‍යන්තරයේ විෂ වායු තත්ත්වයන් ඉවත් වේ. එසේ නොමැති වූ විට කොමඩ් එක තුළින් දුර්ගන්ධය නිවස තුළ පැතිරි අසුබ ශක්තීන් නොපෙනෙන අසුබ බලවේග ඇදී එනු ඇත. නිවසේ මුල්ගල තැබූ බිත්තියට වැසිකිළිය ගැනීම අසුබය. නිවසින් අත්තිවාරමෙන් අගල් 06 ක් හෝ වෙන්කර බිත්ති 04 ක් ලෙසින් වැසිකිළිය ඉදිකිරීමට හැකි නම් ඉතාම සුබ වේ. ඒ වගේම නන්දා, ජය, පූර්ණා යන සුබ පාදයන්ගේ ද වැසිකිළිය ඉදිකිරීම සුබ නොවේ. නිවසක මුදුන් බිත්ති පීතෘ බිත්ති වශයෙන් ද අනෙක් තිරස් බිත්ති මාතෘ බිත්ති වශයෙන් ද හැඳින්වේ. යම් නිවසක පිතෘ බිත්තියට සම්බන්ධ කර වැසිකිළිය ඉදිකිරීම ද බලවත් වාස්තු දෝෂ ගෙන දෙනු ඇත. ඒ වගේම දෙමහල් නිවාසවල පඩිපෙළ යට නිදන කාමරය යට මුළුතැන්ගෙය හෝ කෑම කාමරය යට කොටසට හසුවන සේ ඉදිකිරීම ද ප්‍රබල වාස්තු දෝෂයකි. වැසිකිළිය අභ්‍යන්තරයේ වර්ණ ගැන්වීම හා ටයිල් ඇල්ලීමේ දී රතු, කළු වර්ණ සුදුසු නොවේ. කොමඩ් එක නිවසේ විකරණ රේඛාවට කැපී යන ආකාරයට ඉදිකිරීම ද අසුබ වේ. ප්‍රධාන ද්වාරයට ඉදිරියෙන් වැසිකිළියේ ද්වාරය පැවැතීම බ්‍රහ්ම පාදයට ඉදිරියෙන් බ්‍රහ්ම පාදය තුළ වැසිකිළිය ඉදිකිරීම ද ප්‍රබල වාස්තු විද්‍යා දෝෂයන්ය.

දෙමහල් නිවාසවල වැසිකිළි බට උතුරු ඊශාන දිශාවන් තුළින් උඩින් හෝ යටින් සම්බන්ධ කිරීම සුබ නොවේ. ඒ වගේම දෙමහල් නිවාස තුළ වැසිකිළි බට මුළුතැන්ගෙයි බිමින්, උඩින් පවතී නම් එම නිවසේ ගෘහණිය දරුණු ස්නායු ආබාධවලට ලක්වේ.

මුළුතැන්ගෙයි පෝරණුවට වැසිකිළිය සම්බන්ධ කිරීමෙන් එම නිවසේ කොපමණ මුදල්, ආදායම් ලැබුණ ද වෙන දෙයක් සොයා ගැනීම අපහසු වේ. සමහර මුළුතැන්ගෙයි ද්වාරයෙන්ම (මුළුතැන්ගෙට ඇතුළු වන දොර) වැසිකිළියට ගමන් කිරීම ද ඉතා අසුබයි. සමහර නිවෙස්වලට ප්‍රවේශ වන ගේට්ටුවට කෙලින්ම වැසිකිළිය දකින්නට ඇත. මෙය ද වාස්තු දෝෂයකි.

නිවස තුළ ඇති වැසිකිළිය සැමවිටම අත්තිවාරමට අගලක් හෝ පහතින් පැවැතිය යුතුය. එය අත්තිවාරමට උසින් තැබීම ද වාස්තු විද්‍යා දෝෂයකි. මේ ආකාරයට මනුෂ්‍යයාගේ බහිශ්‍රාවිය පද්ධතියෙහි ක්‍රියාකාරීත්වයට දායක වන වැසිකිළි පද්ධතිය අක්‍රමව පැවතුණහොත් ලැබෙන්නා වූ දෝෂකාරීත්වයන් මනුෂ්‍යයාගේ විනාශයට හේතු වේ. එම නිසා වැඩිම වාස්තු දෝෂයන් නිර්මාණය කරන මේ වැසිකිළිය, වැසිකිළි වළ ස්ථාපිත කිරීමේදී සෑම විටම වාස්තු විද්‍යා ශිල්පියෙකුගේ උපදෙස් මත කළ හැකි නම් ඉතා සාර්ථක වනු ඇත.

වැසිකිළිය ඉදිකිරීමේදී සැලකිය යුතු වාස්තු කරුණු

දේශබන්ධු දේශමාන්‍ය විශ්වශක්ත
වාස්තු විද්‍යා විශාරද ඩබ්.කේ.බී.එම්. චන්ද්‍රසිරි
සෙන්දිරියාමුල්ල
සඳලංකාව – 0777856649

advertistmentadvertistment
advertistmentadvertistment