වැසිකිළි පෝච්චිය උස්සලා වසර තුනක් හිරේ

77

රත්ගම ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයකින් වැසිකිළි පෝච්චියක් (කොමඩ් එකක්) සොරකම් කිරීම සහ සොරබඩු ළඟ තබා ගැනීම සම්බන්ධ චෝදනා දෙකට වරදකරුවූ විත්තිකරුවකුට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා රු. තුන්දහසක දඩ මුදල් සහ වසර තුනක සිර දඬුවම් නියම කළේය.

මෙසේ දඬුවම් නියම වූයේ රත්ගම තොම්මාදුර සුදේශ් පුෂ්පකුමාර නමැති 37 හැවිරිදි විත්තිකරුවකුටය. රත්ගම ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක පාවිච්චි කරන ලද වැසිකිළි පෝච්චියක් වෙනත් තැනක සවි කිරීම සඳහා ගළවා තිබියදී විත්තිකරු එය සොරකම් කරගෙන ගොස් කැලෑවක සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.

පසුව සොරකම් කිරීම සහ සොරබඩු ළඟ තබා ගැනීම යන චෝදනා දෙක යටතේ විත්තිකරුට එරෙහිව අධිකරණයේ නඩු පවරා ඇති අතර පළමුවන චෝදනාවට රුපියල් එක්දහස් පන්සීයක දඩයක් සහ එක් වසරක සිර දඬුවමක්ද දඩ නොගෙවන්නේ නම් තවත් මාසයක සිරදඬුවමක්ද නියමවූ අතර දෙවැනි චෝදනාවට රුපියල් එක්දහස් පන්සීයක දඩයක් සහ වසර දෙකක සිරදඬුවමක්ද, දඩ නොගෙවන්නේ නම් තවත් මාසයක සිරදඬුවමක්ද නියම විය. විත්තිකරු වෙනුවෙන් නීතිඥවරයකු පෙනී නොසිටි අතර රත්ගම පොලිසියේ සැරයන් ප්‍රියන්ත (13413) මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.

අහංගම – සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment