වැසි ජල පිරුණු කාණුවකට වැටී මියගිය සජිතගේ ශෝකාන්තය

737

මගේ දරුවාට මෙහෙම දෙයක් කොහොමද වුණේ දෙවියනේ…. මියගිය සජිතගේ මව හඬාවැටෙයි
මගේ දරුවාගේ මරණයට අනවසර ඉදිකිරීම හේතුවක් වුණා

අධික වර්ෂාව මධ්‍යයේ පාසල් අවසන් වී නිවෙස බලා යමින් සිටියදී පාසල් වෑන්රථයකට යෑමට ඉඩ දීමට මාර්ගයේ අයිනට යෑමේදී වැසි ජලය පිරුණු කාණුවකට ඇදවැටී සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් බෝක්කුවක සිරවීමෙන් වයස අවුරුදු 14ක සිසු දරුවකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියෙන් මුළු කුරුණෑගලම එකම මළගමක් බවට පත් වී තිබේ.

මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් තිබුණේ කුරුණෑගල මලියදේව ආදර්ශ විදුහලේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සජිත සහන් ගුණරත්න නමැති සිසුවා වේ.

සජිත පුතු මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පෑවේ කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ අතුරු මාර්ගයකදීය.

වැසි ජල පිරුණු කාණුවකට වැටී මියගිය සජිතගේ ශෝකාන්තය

ජල කාණුවේ බෝක්කුවක සිරවී සිටි සජිත පුතු සොයා ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසීහු සිදුකළ විශේෂ මෙහෙයුමකින් පසුව පුතුව පිටතට ගැනීමට ඔවුහු සමත් වූහ. පසුව සජිත පුතු රථයකින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ද ඔහු ඒ වනවිටත් මියගොස් තිබිණි.

පෙරේදා (05 දා) පස්වරු 1.30ට පමණ පාසල නිමා වීමෙන් පසු අතුරු මාර්ගයක් ඔස්සේ සිය නිවස කරා පාගමනින් යමින් සිටි සජිත පුතු මාර්ගයේ පටු ස්ථානයකදී මාර්ගයේ පැමිණි සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ පාසල් වෑන් රථයකට යෑමට ඉඩ දීමට උත්සාහ කර තිබේ. එහිදී කාණුවේ ජලය, මාර්ගයේ මට්ටමට පිරී ගොස් තිබීම නිසා පුතුට කාණුව හරි හැටි නිරීක්ෂණය වී නොමැත. එහිදී වැසි ජලය පිරුණු කාණුවට ඇදවැටී තිබේ. එලෙස ඇදවැටුණු පුතු අධික සැඩ පහරට හසුව ගසාගෙන ගොස් මාර්ගයේ යටින් ජල පහර ගමන් ගන්නා බෝක්කුව තුළ සිරවී තිබිණි. සැඩ පහරට හසුව එක්වරම අතුරුදන් වූ සජිත සොයා ගැනීමට ප්‍රදේශවාසීන් කළ උත්සාහය ව්‍යර්ථ වුවත් පසුව ආරක්ෂක අංශ සමග එකතුව සිදුකළ මෙහෙයුමේදී දරුවා සොයා ගනු ලැබීය.

වැසි ජල පිරුණු කාණුවකට වැටී මියගිය සජිතගේ ශෝකාන්තය

සජිත පුතු පදිංචිව සිටියේ කුරුණෑගල, වැහැර, කොටුවේවත්ත, පන්සල පාර ප්‍රදේශයේය.

සිය පුතුගේ වියෝවෙන් සජිතගේ මව හා පියා දැඩි කම්පනයට පත්ව සිටිති.

“මම අලුතෙන්ම ගෙනා ඇඳුම ඇඳගෙන තම පුතා එදා ඉස්කෝලේ ගියේ. අනේ මගේ රත්තරන් පුතාට වෙච්ච දෙයක්. පුතාට මෙහෙම දෙයක් වෙයි කියලා කවුද දෙයියනේ හිතුවේ. අම්මව පිස්සියක් කරලා ගියා මගේ පුතේ. දරුවා ඉගෙනගන්න දක්ෂයි. අපේ පුතා නැතුව දැන් කොහොමද අපි ඉන්නේ” යැයි පුතුගේ මව හඬා වැලපෙමින් කියා සිටියාය.

දරුවා මේ අනතුරට මුහුණ පෑවේ අනවසර ඉදිකිරීමක් නිසයි. ප්‍රදේශයේ පාසල් තුනක් තියෙනවා. ඒ පාසල්වලට මේ ස්ථානය හරහා දරුවෝ ගමන් කරනවා. රටට වටිනා දරුවෙක් නැති වුණා. තවත් දරුවෙකුට මෙවැනි විපතක් නොවෙන්න බලධාරින් දැන්වත් ඇහැ ඇරලා මේ ගැන අවධානය යොමු කරනවා නම් හොඳයි. අවුරුදු ගානක ඉඳන් මේ ප්‍රශ්නය කියන්නේ” යැයි ප්‍රදේශවාසීහු චෝදනා කර සිටියහ.

වැසි ජල පිරුණු කාණුවකට වැටී මියගිය සජිතගේ ශෝකාන්තය

සජිත පුතුගේ මේ අවාසනාවන්ත මරණය සැලවීමෙන් කුරුණෑගල මලියදේව ආදර්ශ විදුහලේ ආචාර්ය මණ්ඩලය හා සිසු දරුවන් දැඩි කම්පාවට පත්ව සිටිති.

මියගිය සජිත පුතුගේ හදිසි මරණ පරීක්ෂණය ඊයේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාගරික හදිසි මරණ පරීක්ෂක ආර්. යූ. ඩී. කේ. අමරසිංහ මහතා හමුවේ පැවැත්විණි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ බණ්ඩාර – කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment