130,000ක් ආපදාවට ලක්වෙලා 26ක් මිය ගිහින්…

පරිසරයට කරන හානිය නතර නොකරන්න ස්වභාවික විපත් වැඩි වෙනවා…

සහනාධාර බෙදාදීම විධිමත් නෑ…

හැම අවුරුද්දකම මැයි මාසේ ගංවතුර ගලනවා…

කොළඹ කානුවල ඇළ මාර්ගවල කුණු හිරවෙලා වතුර බහින්නෙ නෑ…

වැඩියෙන්ම මැරිලා තියෙන්නෙ ගංවතුරේ ආතල් ගන්න ගිහින්…

වර්ෂ 1972 ජුනි මස 05 වැනිදා ස්විඩනයේ ස්ටොක්හෝම් නුවර දී ආරම්භ වූ මානව පරිසරය සුරැකීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ සමාරම්භක සමුළුවේ දී ගත් තීන්දුවට අනුව වාර්ෂිකව පැවැත්වෙන ලෝක පරිසර දින සමුළුවට මේ වසර වනවිට වසර 52ක් සම්පූර්ණ වේ. ලෝක පරිසර දිනය ලෙස නම් කර තිබෙන පසුගිය 05 වැනිදා එය සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ උත්සවයක් ද සංවිධානය කර තිබිණි. පසුගිය වසරවලදී ද මෙරට නායකයන් ලෝක පරිසර දිනය උත්සවශ්‍රීයෙන් සැමරූ බව සැබෑය. එම උත්සවයන්හි දී පරිසර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් මහා උජාරුවෙන් කතා කළ බව ද සැබෑය. එහෙත් සෑම වසරකම නිරිතදිග මෝසම් වැසි තත්ත්වයත් සමග උද්ගත වන ගංවතුර තත්ත්වය පාලනය කර ගැනීමට මෙරට නායකයන්ට සහ අදාළ නිලධාරීන්ට තවම වැඩපිළිවෙළක් නැත. වැස්සට ගෙවල් හදන්න කතා කරන වඳුරෝ මෙන් ගංවතුර
ගැටලුවට විසඳුම් සාකච්ඡා කරන නායකයන් සහ නිලධාරීන් සහිත මෙරට, පසුගිය දිනවල පැවැති ගංවතුර තත්ත්වයෙන් සිදු වූ විපත අතිවිශාලය.

වැහි වතුර ගංවතුරක් කළ අපේ මෝඩකම

එහෙත් මේ ඛේදවාචකය රටට අරුමයක් නොවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන ආකාරයට වාර්ෂිකව මේ කාලයට මෙවැනි වැසි සහිත කාලගුණික තත්ත්වයක් නිර්මාණය වේ. එය වසර ගණනාවක සිට අඛණ්ඩව සිදුවන්නකි. මේ වර්ෂාවෙන් රටේ ගංවතුර තත්ත්යක් ඇති වේ නම්, කඳු නාය යන්නේ නම්, වැව් අමුණු පිටාර ගලා යන්නේ නම්, මේ ආපදාව සම්බන්ධයෙන් පූර්ව දැනුවත් වීමක් තිබේ. එහෙත් වාර්ෂිකව ඇති වන මේ විපත කළමනාකරණය කර ගැනීමට අදාළ ආයතනවල බුද්ධියක් සහිත නිලධාරීන් නැත. ඒ මන්දබුද්ධිකකමේ ප්‍රතිඵලයක් සහ දියුණු තාක්‍ෂණි උපකරණ නොමැතිකම නිසා ඇහැළියගොඩ ප්‍රදේශයට ඇදහැළුණු මිලිමීටර් 400ක වර්ෂාපතනය හඳුනාගැනීමට නොහැකි විය. එමෙන්ම එක දිගට ඇදහැළුණු වාර්ෂාව හේතුවෙන් උද්ගත වූ ගංවතුර තත්ත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 262ක පවුල් 33,422කට අයත් පුද්ගලයන් එක්ලක්‍ෂ තිස් දහසකට වැඩි සංඛ්‍යාවක් ආපදාවට ලක් වී සිටින අතර 26දෙනකු ජීවිතක්ෂයට පත් වී සිටිති.

ගංවතුරට ගසාගෙන යෑම, ගොඩනැඟිලි කඩා වැටීම, ගස් කඩා වැටීම ආදී හේතුවෙන් අනතුරුට ලක් වී තුවාල ලබා ඇති සංඛ්‍යාව 41කි. පසුගිය 04 වැනිදා වනවිට සුරක්‍ෂිත මධ්‍යස්ථාන 116ක පවුල් 2368ක පුද්ගලයන් 9248ක් රඳවා සිටින බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගිය 4 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවසුවේය. ආපදා තත්ත්වයට පත් ජනතාවට පහසුකම් සැලසීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සියලුම රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක සාමාජිකයන් මෙන්ම ග්‍රාමීය කමිටුවල සහන කණ්ඩායම් යොදා ඇති බව ද අමාත්‍යවරයා පැවසුවේය.

එහෙත් ගංවතුරට කොටු වී පසුගිය 04 වැනිදා හැන්දෑව වන තෙක් බත් පැකට් එකක් තරමේ සහනයක් නොලැබූ මිනිස්සු අපට කතා කළහ. බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 820 දියකඩුව නැඟෙනහිර ග්‍රාමසේවා වසමේ පවුල් විශාල සංඛ්‍යාවක් ගංවතුරට කොටු වී සිටින බවත්, කිසිදු නිලධාරියෙක් හෝ ජනතා නියෝජිතයෙක් එම ප්‍රදේශයට නොපැමිණි බව ප්‍රදේශවාසීහු අප සමග පැවසූහ. එමෙන්ම බත් මුලක් තරමේ සහනාධාරයක් නොලැබුණු බව ද ඔව්හු අපට පැවසූහ. තවත් ප්‍රදේශ රාශියක ආපදාවන්ට ලක් වූ මිනිස්සු අපට කතා කර දුක කීහ. ඒ සියලු දුක්ගැනැවිලි මේ සටහනට අන්තර් ගත කිරීමට අපහසුය. විපතට පත් ප්‍රදේශවල ජනතාවට සහනාධාර බෙදාදීමේ දී ‘කොළඹට කිරි, ගමට කැකිරි’ ක්‍රමවේදය අගේට ක්‍රියාත්කම වෙමින් තිබෙන බව පැහැදිලිය. පවතින ආණ්ඩුව කොළඹට විශේෂයක් දක්වන බව පෙනේ. එහෙත් පසුගිය වසරේ නොවැම්බර් මාසයේ 19 වැනිදා ‘ඉරිදා දිවයින සංග්‍රහයෙහි’ පුංචි වැස්සකටත් කොළඹ යට වන ස්ථාන 20ක් ගැන විස්තරාත්මකව පළ කළ ලිපියට උණුසුම් අවධානය යොමු වුව ද එම ස්ථාන 20 ගංවතුරෙන් යටවීම පාලනය කිරීමට සාර්ථක පිළියමක් ලබාදීමට අදාළ ආයතන අපොහොසත් විය. මෙවර ගංවතුර තත්ත්වයේදී ද කොළඹ යට කරන එම ස්ථාන ගැන විශේෂ අවධානයට යොමු වී තිබිණි. කොළඹ මහ නගර සභාවේ සැලසුම් ඉංජිනේරු එස්. පී. සී. ඉලුක්කුඹුර මහතා පවසන ආකාරයට 2014 වර්ෂයේ සිට කොළඹට ලැබෙන වාර්ෂාපතනය එකට එකක් වැඩි වී තිබේ. පැයට මිලිමීටර් 30ක් පැවැති වර්ෂාපතනය පසුගිය වර්ෂයේ අවසාන වෙනකොට පැයට මිලිමීටර් 60ක් දක්වා වැඩි වී ඇත.

වැහි වතුර ගංවතුරක් කළ අපේ මෝඩකම

එමෙන්ම පැය ගාණක් එකදිගට ඇදහැළෙන වැස්සෙන් එකතු වන ජලය පවතින කානු පද්ධතියට දරාගැනීමට නොහැකිය. එහෙත් මෙරට වෙන ප්‍රදේශවල මෙන් කොළඹ දින ගණන් ගංවතුර නොරැඳේ. පැයෙන්, දෙකෙන් ජලය බැස යන්නේ ය. ජලය බැස යන කානු පද්ධතිය සහ කානුවල ජලය බැස යන ඇළ පද්ධතිය නිසියාකාරව නඩත්තු කෙරේනම් කොළඹ යටවීම සැලකිය යුතු මට්ටමකින් පාලනය කරගත හැකි බව ද ඉලුක්කුඹුර මහතා අප සමග පැවසුවේය. 2023 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී ඒ මහතා එසේ පැවසුව ද කොළඹ ජලය බැස යන කානු, ඇළ මාර්ග නිසියාකාරව නඩත්තු වී නොමැති බව මෙවර ගංවතුර තත්ත්වයේදී ද ප්‍රදර්ශනය විය. එමෙන්ම කොළඹ මහල් නිවාසවල සහ වතුවල ඇතැම් පදිංචිකරුවෝ කැළිකසළ බෑග් මලුවල දමා ගෙනැවිත් මාර්ගය අද්දරට විසි කරති. වැහි ජලයට ගසාගෙන යන එම බෑග් මලු කානුවල හිර වේ. ඇතැම් වෙළෙඳසැල් සේවකයන් සේවා ස්ථානය අතුගාගෙනවිත් එකතු වන කුණු මාර්ග දෙපස ජලය බැස යන ගලි කටට දමයි. එම කුණු සහ බෑග් මලු ගසාගෙන ගොස් උමං ඇතුළේ හිර වේ. ඒ කුණු මත වැලි මඩ තැන්පත් වේ. එවිට ජල බැස්ම අඩාල වේ. එමෙන්ම මාර්ගය දෙපස ගලාගෙන යන වැහි වතුර උමං කානු පද්ධතියට ගලා බහිනා ගලිවලට දමා තිබෙන හතරැස් යකඩ කටවල් මත්ලෝලීන් ගලවාගෙන ගොස් පරණ යකඩවලට විකුණන බව ද වාර්තා වේ. එම යකඩ රාමුවක වටිනාකම රුපියල් 35000කි. හෙරොයින්, අයිස්, හෝ වෙනත් මත්ද්‍රව්‍යයකට ලොල් වූ කාලකණ්ණි එම යකඩ රාමු සොරාගෙන ගොස් රුපියල් දාහට, දෙදාහට පරණ යකඩවලට විකුණති. උමං මාර්ගවලට ජලය බැස යන ස්ථාන නිරාවරණය වීම නිසා තද වැස්සට කොළඹ මාර්ග දෙපස දැඩි අනාරක්‍ෂිත තත්ත්වයකට පත් වන බව ද වාර්තා වේ.

කොළඹ පමණක් නොව, මෙරට සෑම ප්‍රදේශයකම ජනතාව අවිධිමත් ආකාරයට පරිසරයට මුදාහරින හිස් භාජන ඇතුළු කුණු මළජරාව අතිවිශාලය. එම අපද්‍රව්‍ය වැස්සට සේදී ගොස් කානු, ඇළ, දොළවලට එකතු වේ. කාලයත් සමග අඛණ්ඩව අපද්‍රව්‍ය ගසාගෙනැවිත් පස්, වැලි සමග එකතු වූ විට ජල බැස්ම දුර්වල වේ. එමෙන්ම තෙත්බිම්, කුඹුරු ඉඩම් ගොඩ කිරීම, ජලාපවහන මාර්ගවල අනවසර ඉදිකිරීම් රට පුරා සුලබව දැකගැනීමට තිබේ. අදාළ රාජ්‍ය ආයතනවලින් ද එම අකටයුතුකම්වලට අවසර ලබා දී තිබේ. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ පහත්බිම් ගොඩ කිරීම විශාල වශයෙන් සිදු වේ. ජාවාරම්කාර ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්ගේ සහාය ඇතිව මුතුරාජවෙල තෙත් බිමත් ගොඩ කර ඉදිකිරීම් කරන බව වාර්තා වේ. කොළඹ අවට පමණක් නොව, නගරයෙන් ඈතට වෙන්න ද දුම්රිය මාර්ගය දෙපස අනවසර ඉදිකිරීම් බහුලය. රට පුරා අනවසර ඉදිකිරීම් විශාල වශයෙන් සිදු වී ඇත්තේ ජලය බැස යන පහත් බිම්වලය. සොබාදහමට දරාගැනීමට නොහැකි තරමට අව කෙළිනවිට විපත දොරකොඩට පැමිණෙන මොහොත ගැන පෙර දැනුම් දීමක් නැත. පසුගිය සෙනසුරාදා බොහෝ නිවාස ගංවතුරෙන් යට වී තිබුණේ පාන්දර හතරට පමණය. බොහෝ නිවෙසියන්ට දොර පළු හෝ විවෘත කර ගැනීමට ඉඩ නොදීමට තරම් සැඩ දිය අමානුෂික වී තිබිණි. බොහෝ නිවෙස් තුළ සියලු බඩු භාණ්ඩ ජලයෙන් යට වී හානියට පත් වී ඇති බව ද වාර්තා විය. එහෙත් වැපිරූ බීජවලට අස්වැන්න ලැබෙනවිට සතුටින් හෝ දුකෙන් භාර ගතයුතු බව සැබෑය. ඒ ගැන සරල භාෂාවෙන් මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න මහතා ද පැහැදිලි කළේය. මේ ඒ කතාවය.

“මේ වෙනකොට මෙරට බොහෝමයක් පහත්බිම මිනිස් පරිභෝජනයට අරගෙන අවසානයි. ගං මිටියාවතෙත් දුප්පත් මිනිස්සු පැල්පත් අටව ගෙන. ව්‍යාපාරිකයෝ හෝටල්, විවිධ ගොඩනැඟිලි ඉදිකරලා. කඳුකරයේ කැලෑව විනාශ කර වගාබිම් බවට පරිවර්තනය කර අවසානයි. කඳු පහත් කර පුළුල් මාර්ග, ගොඩනැඟිලි ඉදිකර තණකොළ ගහක් නැති වෙන තරමට පොළොවත් කොන්ක්‍රීට් කර අවසානයි. එවැනි පසුබිමක කඳුකරයට වහිනකොට පහළට සෝදාගෙනවිත් ගං මිටියාවත ජලයෙන් යට කරන එක නතර කරන්න බෑ. පුංචි වැස්සකටත් ගම් බිම්, නගර ජලයෙන් යට වෙන එක නතර කරන්න බෑ. පහත් බිම්, කුඹුරු ගොඩ කිරීමට, කැලෑ විනාශ කිරීමට රජය පමණක් නොව, මේ රටේ ජීවත්වන බහුතරය වගකියන්න ඕනෑ. ඒ වගේම බිලියන අටක් පමණ ජීවත්වන ලෝක ජනගහනයෙන් බහුතරය පරිසරය විනාශ කිරීමට දායක වෙමින් සිටිනවා. විවිධ තාරාතිරම්වල මිනිස්සු විවිධාකාර අවස්ථා වෙනුවෙන් පරිසරය විනාශ කරනවා. බඩගෝස්තරය වෙනුවෙන් අඩු, වැඩි වශයෙන් පරිසරය විනාශ කරනවා. විශේෂයෙන්ම පරිසරය විනාශ කරන්නේ එදිනෙදා උලා කෑම වෙනුවෙන්. හානිය දරුණු වෙනකොට පරිසරයේ දරා ගැනීමේ ශක්තිය හීන වෙනවා. එහි භායානක ප්‍රතිඵලයක් විදිහට කාලගුණයේ දරාගැනීමේ ශක්තිය හීන වෙනවා. එවැනි පසුබිමක වැස්ස කාලයට මෙවැනි ගංවතුර තත්ත්වයන් බලාපොරොත්තු වෙන්න ඕනෑ. මේ නිරිත දිග මෝසම් කාලයේ දී විතරක් නෙමෙයි, ලබන අවුරුද්දේ මැයි මාසයේදීත් මේ ගංවතුර ගලනවා.

සෑම අවුරුද්දකම මැයි මාසේ ගංවතුර එන බව පහත්බිම්වල නිවාස, වෙනත් ගොඩනැඟිලි ඉදිකරගෙන ඉන්න මිනිස්සු බලාපොරොත්තුවෙන් ඉන්න ඕනෑ. වහින කාලෙට ගංවතුර තත්ත්වයක් වගේම පායන කාලයට බොන්න වතුර පොදක් නැති වෙන තරමට පොළොව වියළෙන බවත් අපි තේරුම්ගෙන ඉන්න ඕනෑ. ඒ ව්‍යසනවලට ගොදුරු වෙලා මිනිස්සු මැරෙයි. දේපළ විනාශ වෙයි. මේ විනාශයන් නිර්මාණය කර ගත්තේ මිනිස්සු. ස්වභාවික විපත් අවම කරගන්න පුළුවන්කම තියෙන්නෙත් මිනිස්සුන්ට. ස්වභාවික ව්‍යසනවල බරපතළකම තේරුම් ගෙන අඩු, වැඩි වශයෙන් පරිසරයට කරන විනාශය නතර කරන්න ඕනෑ. සෑම කෙනෙක්ම කැලෑ ප්‍රදේශ, තෙත්බිම් ආරක්‍ෂා කිරීමට උපරිමයෙන් කැපවෙන්න ඕනෑ. හැකි පමණින් ගස් රෝපණය කරන්න ඕනෑ. එම වගකීම රජයට, ආයතනයකට, කණ්ඩායමකට පමණක් සීමා වූවාක් නෙමෙයි. මේ රටේ සියලු පුරවැසියන්ගේ වගකීමක්. එසේ කරන්න අපිට රටක් ඉතිරි වෙයි…” මහාචාර්ය සම්පත් සෙනෙවිරත්නයන්ගේ කතාව තව දීර්ඝය. ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් නොව, පරිසරයට සිදුවන හානිය සම්බන්ධයෙන් හේ අතිශය සංවේගයෙන් කතා කරන බව ද හැඟේ. එහෙත් මේ රටේ මිනිසුන්ට ගංවතුර බැස ගිය පසු විපතක් වූ බව අමතකය. තම ගම්, බිම් මහ ජල කඳකින් යට වූ බව අමතකය. අසල්වාසීන් සැඩ දියට බිලි වූ බව අමතකය. සිදු වූ දේපළ හානි, වගා හානි අමතක වේ. ඒ මේ රටේ මිනිසුන්ගේ හැටිය. එවැනි කාලකණ්ණි ජන්ම ගති වෙනස් කිරීම අසීරුය.

එමෙන්ම ආපදා මරණවලින් බොහෝමයක් සිදු වී ඇත්තේ ගංවතුර නැරඹීමට යෑමෙන් සහ එහි ක්‍රීඩා කිරීමට යෑමෙන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කර තිබිණි. බුලත්සිංහ ප්‍රදේශයේ දිවලකඩ ගමේ පදිංචි විසිදෙනෙකුගෙන් යුත් තරුණ පිරිසක් පදමට සූර් වී බෝට්ටුවක නැඟී ගංවතුරේ විනෝද වීමට ගොස් ඇත්තේ පාරු පදවන්නාක් මෙන් ආධාරක ලීයක් පොළොවට ගසමිනි. විටෙක ආධාරක ලීය එසැවීමේදී අධිබලැති විදුලි රැහැනක ගැටී ලීය අත රැඳි තරුණයා ගංවතුරට වැටී මිය ගියේය. බෝට්ටුව තුළ සිටි පිරිසට විදුලි සර වැදී තිබුණ ද අනතුරක් සිදු වී නැත. තවත් අටුවාටීකා ඇවැසි නැත. ව්‍යසනය තුළ කාලකණ්ණි ආතල් ගන්න, බත් කන මීහරක් සිටින රටක් වහලක් නොමැති නිවසක් වීම සාමාන්‍ය තත්ත්වයකි. වැස්සට ජල ගැලීම්, නියඟයට පිච්චීම නතර කළ නොහැකිය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment