වෑන් රථයේ ටයරය පුපුරා එයට යටවූ කාන්තාවෝ තිදෙනෙක් මරුට – අසනීප වූ දරුවා රෝහල් ගතකර එද්දී

380

සමෘද්ධි බැංකුවට යමන් සිටි කාන්තාවන් තිදෙනකු නාරම්මල, බැඳිගමුව මංසන්ධියේ වෑන් රියක් මාර්ගයෙන් ඉවතට පැනීමෙන් (20 දා) මියගොස් ඇතැයි නාරම්මල පොලිසිය කියයි.

ජේ. ඒ. චන්ද්‍රාවතී, බී. ඒ. ශාන්ති චන්ද්‍රලතා සහ එල්. බී. සාමාවතී නමැති නාරම්මල, බැඳිගමුව ප්‍රදේශයේම පදිංචිකාරිනියන් වූ කාන්තාවන් තිදෙනෙකු එසේ මියගොස් තිබිණි.

අදාළ කාන්තාවන් තිදෙනා නාරම්මල සමෘද්ධි බැංකුවට යෑම සඳහා බස් රථයක් පැමිණෙන තෙක් මාර්ගය අයිනේ බස් නැවතුම අසළ රැඳී සිට තිබේ. කුරුණෑගල දෙස සිට දඹදෙණිය දක්වා ගමන් කරමින් තිබූ වෑන්රථයක ටයරය පිපිරී එය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී කාන්තාවන් එයට යටවී අනතුර සිදුව තිබිණි.

එහිදී වෑන්රථයට යටවූ කාන්තාවන් තිදෙනා මඩ සහිත කුඹුරෙන් ගොඩගෙන රෝහල් ගතකර තිබුණත් දෙදෙනකු ඒ වනවිටත් මියගොස් තිබූ අතර එක් කාන්තාවක් වහාම කුරුණෑගල මහ රෝහලට පිටත්කර හැරියද ඇයද ජීවිතක්‍ෂයට පත්ව තිබූ බව පොලිසිය කීය. වෑන් රථය පැදවූ 54 හැවිරිදි රියැදුරා අත්අඩංගුවට ගෙන තිබේ. තම වයස 6ක දරුවා අසනීපව රෝහල්ගත කිරීමෙන් පසු නිවසට ගෙන ඒමෙන් අනතුරුව කනෙහි වූ ලේ ගැලීමක් සම්බන්ධව යළි රෝහලට ගෙනගොස් නිවසට පැමිණෙමින් සිටියදී අදාළ අනතුර සිදුව තිබූ බව පොලිසිය අනාවරණය කරගෙන තිබිණ. එමෙන්ම වෑන්රථයේ ගමන් කර තිබූ එම දරුවාට හා බිරිඳට කිසිදු අනතුරක් සිදුව නොතිබිණ. නාරම්මල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක දිල්රුක් පෙරේරා මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක චන්ද්‍රරත්න, පොලිස් සැරයන් කැලුම් (36989), ප්‍රදීප් (66146) යන නිලධාරීන් සැකකාර රියැදුරු අත්අඩංගුවට ගෙන ඉදිරි පරීක්‍ෂණ මෙහෙයවති.
කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment