විකල්ප අතේ තියාගෙන ළතවෙන විදුලි අර්බුදයට මෙන්න විසඳුම්

923

අලූත් විදුලි බලාගාර ඉදිනොකර ගබඩා පහසුකම් දියුණු කිරීම තුළින් විදුලි අර්බුදයට විසඳුම් සොයන්න පුළුවන්…

මෙරට වැඩිම විදුලි පරිභෝජනය සවස 6 සිට රාත‍්‍රී 10 දක්වා කාලය තුළයි…

සූර්ය, සුළං විදුලි බලාගාර ගැන රජය මීට වඩා අවධානය යොමු කළ යුතුයි…

ඇමරිකාවට කිවිසුමක් ගියොත් අපේ රටවලට නිවුමෝනියාවත් හැදේවී… ඒ තෙවැනි ලෝක රටවල ආර්ථිකමය ක‍්‍රියාදාමයන් විග‍්‍රහ කිරීමේදී ආර්ථික විශ්ලේෂකයන් භාවිත කරන සුලභ යෙදුමකි. ලෝකය පුරා පැතිරී ගිය කොවිඞ් වසංගතය හේතුවෙන් මේ වන විට අපේ රට ආර්ථිකමය වශයෙන් දරුණු අවපාතයකට මුහුණ දී සිටින බව සැබෑය. ගමේ පැල්පතේ කුස්සියේ සිට මෙරට සෑම ක්‍ෂේත‍්‍රයකම ආර්ථික මෙන්ම විවිධ අර්බුදය. මේ දිනවල දැඩිව කතාබහට ලක්වෙමින් තිබෙන්නේ විදුලිබල අර්බුදය
ගැනය. එහෙත් විදුලිබල අර්බුදය අපේ රටට නොපුරුදු අර්බුදයක් නොවේ. කාලයක් තිස්සේ සිට කළමනාකරණය කරගෙන පවත්වාගෙන එන අර්බුදයකි. ඩොලර් හිඟය සමඟ උද්ගත වූ තෙල් ගැටලූවත්, දැඩි පෑවිල්ලත් සමඟ මේ වන විට විදුලිබල අර්බුදය උච්චත්වයට පැමිණ තිබේ.

‘අපි විදුලිය කපන්නේ නෑ…’ කියා අදාළ බලධාරීන් ජනතාව මුළා කිරීමට කතා කීවද රටේ විවිධ ප‍්‍රදේශවල හිටි හැටියේ විදුලිය කැපෙති. අර්බුදය තවත් තීව‍්‍ර වන විට පෙර දැනුවත් කිරීමකින් තොරව පැය දෙක, තුන විදුලිය කැපෙන්නට ඉඩ තිබේ. ඒ අල්ල පනල්ලේ ඛනිජ තෙල් ඇමැති සහ විදුලිබල ඇමැති කියන හතරබීරි කතාවලට ජනතාවට ඌරුජුවල් නඟින බව ද සමාජය තුළින් ඇසෙන කතාවකි. එහෙත් පවතින අර්බුදය තුළ ඇවැසි තව, තවත් විවේචන නොවේ. කාලයක් තිස්සේ නඩත්තු කර පවත්වාගෙන එන මේ විදුලි අර්බුදයට යම් හෝ පිළියමක් ලබාදීමට හැකි නම් එය ගැටලූවලින් දැවෙන මේ රටට සහනයකි. එහෙයින් පවතින විදුලි අර්බුදයට ලබාදිය හැකි විසඳුම් ගැන සාකච්ඡා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි ඒ. ආර්. නවමනි මහතාට දුරකථනය ඔස්සේ අපි කතා කළෙමු.

‘‘දැන් නම් කතා කරන්න වෙලාවක් නෑ. ඔයාගේ වට්ස්ඇප් නම්බරය දාන්න. වට්ස්ඇප් එකට මම විස්තර දාන්නම්…’’ උපරිම තාක්‍ෂණයත් සමඟ වැඩ කරගෙන යන ඒ මහතාගෙන් මට ලැබුණේ එවැනි පිළිතුරකි. අනතුරුව ජෙන්ෂෝ පවර් ටෙක්නොලජි ආයතනයේ ප‍්‍රධාන නිලධාරී වෛද්‍ය අවන්ත අතපත්තු මහතාට දුරකථනය ඔස්සේ අපි කතා කළෙමු. මේ ඒ මහතා දැක්වූ අදහස්ය.

විකල්ප අතේ තියාගෙන ළතවෙන විදුලි අර්බුදයට මෙන්න විසඳුම්

‘‘අපේ රටට විදුලිබලය ලබාදෙන සාම්ප‍්‍රදායික බලශක්ති උත්පාදන ක‍්‍රමය ජල විදුලි බලාගාර. සූර්ය, සුළං විදුලි බලාගාර නව විදුලි උත්පාදන ක‍්‍රම. මේ ක‍්‍රම දෙකෙන් සීයට දහයක්වත් අපේ රටේ විදුලිය උත්පාදනය කරන්න බැරි වෙලා තියෙනවා. ඒත් මේ විදුලි උත්පාදන ක‍්‍රම ලෝකයේ වේගයෙන් දියුණු වෙමින් පවතිනවා. අපේ රටෙත් දියුණු කරන්න පුළුවන්. ඒත් මෙරට බලධාරීන්, නිලධාරීන් මේ සම්බන්ධයෙන් උනන්දු නෑ. ඒ වගේම අලූත් විදුලි බලාගාර ඉදිනොකර ගබඩා පහසුකම් දියුණු කරලා මේ විදුලි අර්බුදයට විසඳුම් සොයන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම සූර්ය බලශක්තියේ උපරිම ප‍්‍රයෝජන ලබාගැනීමට නම් ගබඩා පහසුකම් අවශ්‍යයි…’’

‘‘ලෝකයේ වෙනත් රටවල සූර්ය පැනලවල තාක්‍ෂණය දියුණු වෙලා යම්කිසි ස්ථාවර මට්ටමකට ඇවිත් තිබෙනවා. ඒ වගේම ලෝකයේ බැටරි තාක්‍ෂණය දියුණු වෙලා තියෙන නිසා අතීතයට සාපේක්‍ෂව දැන් විදුලිය ගබඩා කිරීමේ පහසුකම් අපිට තියෙනවා. රටක් විදිහට විශාල බැටරි පද්ධති ස්ථාපනය කිරීමට පුළුවන්කම තියෙනවා. රජය විසින් අලූත් තාක්‍ෂණය රටේ ජනතාවට හඳුන්වාදිය යුතුයි. ඒ වගේම රටේ ජනතාවට නිවෙස් ආසන්නයේ බැටරි පද්ධතියක් තබාගන්න රජය විසින් අවසර ලබාදෙන්න ඕනෑ. එසේ වූ විට විදුලි පරිභෝජනය අඩු වේලාවට බැටරි පද්ධතිය හරහා ගබඩා කරගෙන විදුලි පරිභෝජනය වැඩි වේලාවට පාවිච්චිට ගන්න පුළුවන්කම් ලැබෙනවා. ඒ තුළින් ජාලයට එන බර විශාල වශයෙන් අඩු වෙනවා…’’

‘‘අපේ රටේ වැඩිම විදුලි පරිභෝජනය 120% ක් වාර්තා වෙන්නේ සවස 6 සිට රාත‍්‍රී 10 දක්වා කාලය තුළයි. ඒ වැඩිවීම අපිට දරාගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා තමයි විදුලිය කැපීම්වලට යන්න වෙලා තියෙන්නේ. ඒත් රාත‍්‍රී 10 සිට පාන්දර 4 දක්වා කාලය තුළ මෙරට විදුලි පරිභෝජනය 30% ක් වැනි අඩු ප‍්‍රමාණයක් වාර්තා වෙන්නේ. බැටරි පද්ධතියක් තියෙනකොට විදුලි පරිභෝජනය අඩු වේලාවට ගබඩා කරගෙන වැඩි වෙලාවට පරිභෝජනයට ගන්න පුළුවන්. අදාළ බලධාරීන් සහ නිලධාරීන් මේ දේවල් ගැන හිතන්න ඕනෑ…’’ උද්ගතව ඇති විදුලි අර්බුදයට වෛද්‍ය අවන්ත අතපත්තු එසේ විසඳුම් යෝජනා කරන විට ජාතික ඉංජිනේරු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ, වින් පෝස් හිටපු ප‍්‍රධාන මූල්‍ය නිලධාරී රිෂ්මින් රාශික් මහතා ද දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් සූර්ය, සුළං බලාගාරවලින් සහ සූර්ය පැනල භාවිතයෙන් පවතින විදුලි අර්බුදයට කොතරම් සහනයක් ලබාදිය හැකිය ද යන්න කරුණු ඉදිරිපත් කළේය. මේ ඒ මහතා දැක් වු අදහස්ය.

‘‘සූර්ය බලයෙන් හෝ සුළං බලයෙන් විදුලිය ජනනය කළාට කෙළින්ම රට තුළ බෙදාහරින්න බෑ. එම විදුලිය ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදෙන්න ඕනෑ. ඒ වගේම ආගමික සිද්ධස්ථාන, පාසල්, විශ්වවිද්‍යාල, රජයේ ගොඩනැඟිලිවලට සූර්ය පැනල භාවිතයෙන් විදුලිය ලබාදීම කාලෝචිතයි. සමස්ත විදුලි පරිභෝජනයෙන් සැලකිය යුතු ප‍්‍රමාණයක් ඉතුරු කරගන්නත් පුළුවන්. එම ගොඩනැඟිලිවල විශාල වහළයක් තියෙන නිසා පහසුවෙන් සූර්ය පැනල සවිකරන්නත් පුළුවන්. ඒ වගේම සූර්ය බලශක්තිය භාවිතය වැඩි කිරීම තුළ තාප බලාගාරවලට දැවි තෙල් ආනයනය කිරීමට මෙරටින් එරටට ඇදී යන ඩොලර් විශාල වශයෙන් ඉතිරි වෙනවා.

මෙරටට ගෙන්වන බොර තෙල්වලින් වැඩි ප‍්‍රමාණයක් යන්නේ විදුලිය ජනනය කිරීමට. ඒ නිසා සූර්ය බලශක්තිය භාවිතය තුළ විශාල වශයෙන් රටට විදේශ විනිමය ඉතිරි කරන්න පුළුවන් වෙනවා. කාබන් විමෝචනයත් අඩු වෙලා පරිසර හානියත් අවම වෙනවා…’’

‘‘ඒ වගේම සූර්ය, සුළං බලශක්තිය උත්පාදනයේ ප‍්‍රායෝගික ගැටලූ කිහිපයකුත් තියෙනවා. විදුලි අර්බුදයට සූර්ය බලශක්තිය තමයි විසඳුම කියලා රටේම තියෙන නිවාසවල සූර්ය පැනල සවි කිරීමත් විසඳුමක් නෙමෙයි. සූර්ය පැනලවලින් දවල්ට ලැබෙන බලශක්තිය ?ට ලැබෙන්නේ නෑ. සුළං බලාගාරයකින් වුණත් මැයි සිට ජුනි දක්වා කාලය තුළ තමයි හොඳට සුළං ලැබිලා විදුලිය උත්පාදනය වෙන්නේ. එහෙමයි කියලා අවුරුද්දේ අනිත් කාලවලට විදුලිය නැතිව ඉන්න බෑ. ඒ නිසා ජල, සූර්ය, සුළං තාප, ඉන්ධන බලශක්තිය මනා කළමනාකාරිත්වයකින් යුක්තව ගබඩා කරමින් බෙදාහැරීම සිදු කළ යුතුයි. ඒ වගේම විදුලි බල මණ්ඩලයේ යල් පැන ගිය සිස්ටම් එක වෙනස් කරලා ස්මාර්ට් බෙට් ක‍්‍රමය හඳුන්වා දෙන්න ඕනෑ. එහෙම නැතිව සූර්ය, සුළං ශක්තියෙන් විදුලි උත්පාදනය කිරීමෙන් විතරක් විදුලි අර්බුදයට විසඳුම් සොයන්න බෑ. ඒ වගේම අපේ රටේ බලශක්තිය ප‍්‍රමාණවත් නොවීම නිසා කර්මාන්ත පවත්වාගෙන යෑමට විශාල තර්ජනයක් වෙලා තියෙනවා. අපට තියෙන බලශක්තිය ප‍්‍රමාණවත් නොවීම පිටරට ආයෝජකයන් මෙරට ආයෝජනය නොකිරීමට ප‍්‍රධාන හේතුවක් වෙලා තියෙනවා…’’ එම ගැටලූවලට විසඳුම් ලබාදීම රට කරවන පාලකයන්ගේ වගකීමකි. එහෙත් මෙරට විහාරස්ථානවලට සූර්ය බලශක්තිය ලබාදීම සම්බන්ධයෙන් සාර්ථක වැඩසටහනක් ගැන ඇමරිකාවේ ප‍්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත වල්පොල පියනන්ද නායක හාමුදුරුවෝ යෝජනා කළහ. මේ එම යෝජනාවය.

විකල්ප අතේ තියාගෙන ළතවෙන විදුලි අර්බුදයට මෙන්න විසඳුම්

‘‘අපේ රටේ පැවති සෑම රජයක්ම සේම පවතින රජයත්, රජයේ වියදමින් අලාභ විඳගෙන ආගමික සිද්ධාස්ථානවලට විදුලිය ලබාදෙනවා. විදුලිය සඳහා වියදමක් නොයන නිසා අපේ රටේ ඇතැම් විහාරස්ථාන, කෝවිල්, පල්ලිවල කිසිදු අර පරිස්සමකින් තොරව විදුලිය පාවිච්චි කරන හැටි මම දැකලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මෙරට සූර්ය බලශක්තිය ලබාගන්න පුළුවන් ආගමික සිද්ධාස්ථානවලට ආණ්ඩුවේ වියදමින් සෝලා පැනල් සවි කරලා බලශක්තිය ලබාදීමට කටයුතු කළා නම් දහවල් කාලයට වැය වන විදුලි හෝ ඉතිරි කරගන්න පුළුවන්. ඒ වගේම විදුලිබලය සඳහා මාසිකව වියදම් කරන මුදලෙන් විශාල ප‍්‍රමාණයක් ඉතිරි කරගෙන රටේ විදුලි අර්බුදයටත් යම් සහනයක් ලබාදෙන්න පුළුවන් වෙනවා. ඒත් අදාළ බලධාරීන් සහ නිලධාරීන් මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සේයාවක්වත් නෑ…’’

‘‘අපේ රටේ පන්සල් දහතුන්දාහස් හත්සීය අනූ පහක් (13795) තියෙනවා. ඒ අතරින් විදුලිය නොමැති විහාරස්ථාන හැටඅටක් (68) ක් තියෙන බව වාර්තා වෙනවා. විදුලිය නොමැති විහාරස්ථානවලට ඉන්දීය ආධාර යටතේ විදුලිය ලබාදෙන්න වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වෙන්න යන බවත් වාර්තා වෙනවා. ඒ විහාරස්ථාන 68 ඇරලා මෙරට බොහෝ විහාරස්ථානවලට විශේෂයෙන්ම කොළඹ ප‍්‍රදේශවල විහාරස්ථානවලට ධනවත් දායකයො ඉන්නවා. ඒ දායකයන්ව දැනුවත් කළොත් විහාරස්ථානයට අවශ්‍ය සෝලා පැනල් අරගෙන දෙන බව මාගේ විශ්වාසයයි. ආගමික සිද්ධාස්ථානයකට ආලෝකය ලබාදෙනවා කියන්නේ විශාල පින්කමක්. පින්කමේ ආදීනව තේරුම් කර දීලා දායකයන්ව උනන්දු කර එම කටයුත්තට ප‍්‍රමුඛත්වය ලබාදීමට එකී විහාරස්ථානවල විහාරාධිපතිවරු කටයුතු කරන්න ඕනෑ. මෙවැනි පින්කම්වලට සම්බන්ධ වෙන්න කැමති අය පිටරටවලත් ඉන්නවා. අපිටත් යම් ප‍්‍රමාණයක දායකත්වයක් ලබාදෙන්න පුළුවන්. ලෝකය පුරා අපේ ස්වාමීන්වහන්සේ 500 නමක් වැඩ සිටිනවා. ඇමරිකාවේ ශ‍්‍රී ලංකා පන්සල් සීයක් තියෙනවා. එම පන්සල් සීයට වගේම ලෝකය පුරා ශ‍්‍රී ලංකා විහාරස්ථානවල වැඩසිටින ස්වාමින්වහන්සේට ධනවත් දායකයො ඉන්නවා. ඒ නිසා උන්වහන්සේලාගෙන් මේ කටයුත්තට විශාල දායකත්වයක් ලබාගන්න පුළුවන්. දැනටමත් ලොස්ඇන්ජලීස් නුවර අපේ පන්සලේ කලබුළුලන්දේ ධම්මජෝති හාමුදුරුවෝ මූලික වෙලා උතුරු, නැගෙනහිර මායිම් ගම්මානවල පන්සල් කිහිපයක විදුලි බිල මාසිකව ගෙවනවා. අපිට පුළුවන් ඒ විහාරස්ථානවලට සෝලා පැනල් ලබාදෙන්න. ඒ වගේම ඩලස් අලහප්පෙරුම ඇමැතිතුමා වගේ කෙනෙක් මේ සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වුණොත් මේ වැඩපිළිවෙළ අති සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියා මම හිතනවා…’’

‘‘ඒ වගේම ලංකාවේ විදුලි බල ඇමැති ධුරය ලබා දෙන්නේ පක්‍ෂයට විශේෂ සේවයක් කළ ජ්‍යෙෂ්ඨයන්ට. ඔවුන් දක්‍ෂ ඇමැතිවරු වෙන්න පුළුවන්. ඒත් ඔවුන් නිලධාරීන් කියන දෙයින් පිට හිතන්නේ නෑ. පවතින විදුලි අර්බුදයේදී විදුලිබල ඇමැති සහ ඛනිජ තෙල් ඇමැතිවරයා අදාළ ගැටලූව සම්බන්ධයෙන් කතා කරන්නේ රටවල් දෙකක ඇමැතිවරු විදිහට. එක කැබිනට් එකක මැති, ඇමැතිවරු ප‍්‍රසිද්ධියේ විවේචනය කර ගන්නවා නම් ඒක රටට කරන බරපතළ හානියක්. ඒ වගේම විදුලිබල මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් රටට ආදරය නැති මුදලට පමණක් ආදරය කරමින් ඔවුන්ගේ වාසිය තකා වැඩ කරගෙන යන ස්වභාවයක් පේනවා. මේක අද, ඊයේ දකින්න තියෙන දෙයක් නෙමෙයි. කාලයක් තිස්සේ සිට පේන දෙයක්. දැන් මේ ක‍්‍රමය වෙනස් වෙන්න ඕනෑ. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු කාලයට වැඩිපුර තෙල් මිලට ගෙන ගබඩා කරගැනීමට ක‍්‍රමවේදයන් සකස් කරන්න ඕනෑ. ඇමරිකාවේ අවුරුදු විස්සකට විතර අවශ්‍ය තෙල් ගබඩා කරගෙන තියෙනවා. ඉන්ධන මිල වැඩි කාලයට විකුණගන්න අවස්ථාත් තියෙනවා. ඒ වගේම ඇමරිකාවේ ඉතාම සාර්ථක විදිහට සූර්ය බලශක්තිය නිපදවනවා. සුළං බලාගාරවලින් විදුලිය නිෂ්පාදනය කරනවා. අපේ රටට මොනතරම් සූර්ය ආලෝකයක් වැටෙනවද? හොඳට සුළං හමනවා. ඒත් අපේ නිලධාරීන් කතා කරන්නේ තාප බලාගාර, ඉන්ධන බලාගාර ගැන විතරයි. ඒ කතා ඇහෙනකොට යුදෙව්වන්ගේ ගැමි කතාවක තිබුණු අපූරු කතාවක් මට මතක් වුණා…’’

‘පේව්මන්ට්ටුවේ පෙට්ටියක් මත ඉඳගෙන කෙනෙක් එතැනින් යන, එන මිනිසුන්ට අත පෑවා. ඔහු ගැන දුක හිතුණ මිනිස්සු ඩොලරය, දෙක ඒ කෙනාට දීලා ගියා. දවසක් එතැනින් යන මහත්මයෙකුට මේ පුද්ගලයා අත පෑවා.

‘උඹ ඔය පෙට්ටිය උඩ කොච්චර කාලයක් ඉඳගෙන හිටියද?

අවුරුදු දෙකක් විතර හිටියා…

‘ඔය පෙට්ටි ඇතුළේ තියෙන්නේ මොනවද කියලා උඹ බලලා තියෙනවාද?

නෑ…

‘එහෙම නම් ඇරලා බලපං…’

හිඟා කමින් හිටිය පුද්ගලයා ඒ පෙට්ටිය ඇරලා බලනකොට ඇතුළේ රත්තරං…

විකල්ප අතේ තියාගෙන ළතවෙන විදුලි අර්බුදයට මෙන්න විසඳුම්

ඒ වගේම තමයි අපේ රටේ ඉන්න මිනිස්සු. සම්පත් ආකරයක් උඩ ඉඳගෙන ඒකෙ අගය තේරුම් නොගෙන ලෝකයට අතපානවා. ලංකාවේ වටිනාකම දැනගන්න නම් ලෝකයේ ඇවිදලා බලන්න ඕනෑ…’’ අපේ නායක හාමුදුරුවන්ගේ වටිනා අදහස් දැක්වීම අවසානය.

හිරුගේ ආලෝකය, සුළඟ අපේ රටට කොපමණ ලැබුණද මෙරට විදුලිබල ඉංජිනේරු මහත්වරු සුුළං බලයෙන් හෝ සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කෙරෙන සැලසුම්වලට වැඩි කැමැත්තක් නැති බවක් පෙන්නුම් කරන බව වාර්තා වේ. එමෙන්ම ඔවුන් දැඩි කැමැත්තක් දක්වනුයේ පෞද්ගලික අංශයෙන් වැඩි මිලට විදුලිය ලබාගැනීමට බවද වාර්තා වේ. පසුගිය දිනක හදිසි විදුලිය ලබාගැනීම්වලට අනුමැතිව ලබාගෙන තිබෙන බවද වාර්තා වේ. වැඩි මිලට විදුලිය ලබාගැනීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ නීතිගරුක වෘත්තීය සමිති නිලධාරීන් ද ගොළුවත රැකීම ගැන අපට ඇත්තේ පුදුමයට එහා ගිය කම්පනයකි. එහෙයින් වැස්සට ගෙවල් හදන වඳුරන්ගේ න්‍යායය මේ අර්බුදයට දැන් වලංගු නොවේ.

මෙරට විදුලිබලය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා නිලධාරීන් සහ බලධාරීන් රටක්, ජාතියක් ගැන නොහිතන කොමිස් මත යැපෙන කම්බ හොරු නම්, අදාළ වෘත්තීය සමිති ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමට රටේ විදුලි බලය මෙවලමක් කරගෙන සිටින්නේ නම් ජනාධිපතිවරයා විසින් මේ අර්බුදය සම්බන්ධයෙන් සෘජු තීන්දු තීරණ ගත යුතුය. ලෝකයේ වේගයෙන් දියුණු වූ රටවල් අතර විශේෂයෙන්ම ඩුබායි,

සිංගප්පූරුව වැනි රටවල නිලධාරීන්, මැති ඇමැතිවරු ගහන පදවලට ඒ රටවල පාලකයන් නැටුවේ නැත. කොන්ද කෙළින් තබාගෙන අනාගතය ගැන සිතා සෘජු තීන්දු තීරණ මත සංවර්ධන කටයුතු සිදු කළ බැවින් එම රටවල් දියුණුවේ හිණිපෙත්තට ගියහ. මේ වන විට දැඩි පාලනයක් සහිතව ඉදිරියට යන බංගලාදේශය අපේ රටටත් ණය දීමට හැකි පරිදි ආර්ථිකමය වශයෙන් දියුණු වී තිබේ. ඒ හෙයින් මෙරටට අවශ්‍ය නිලධාරීන් විසින් පාලනය කරන රටක් නොවේ… රාජ්‍ය නායකයා විසින් නිලධාරීන් පාලනය කරන රාජ්‍ය තන්ත‍්‍රයකි… නොතේරෙන මිනිසුන්ට තේරේන භාෂාවෙන්ම අපි කීවෙමු. තේරුම් ගැනීම ඔවුන්ගේ බුද්ධියේ තරමය.

එමෙන්ම පවතින විදුලි අර්බුදයට යම් සහනයක් ලබාදීමට රටේ ජනතාවටත් හැකියාවක් තිබේ. එනම් මෙරට වැඩිම විදුලි පරිභෝජනයක් වාර්තා වන සවස 6 සිට රාත‍්‍රී 10 දක්වා කාලය තුළ නිවසේ ශීතකරණය, අනවශ්‍ය විදුලි බුබුළු විසන්ධි කර, විදුලිය භාවිත කරමින් කරන වැඩ කටයුතු අවම කරගැනීමට හැකියාවක් තිබේ නම් පවතින විදුලි අර්බුදයට මෙන්ම ඔබේ නිවසේ විදුලි බිලත් සැලකිය යුතු මුදලකින් අඩු කරගත හැක. පවතින අර්බුදයෙන් ගොඩඒමට රටේ ජනතාව එම යුතුකම ඉටු කළ යුතුය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment