වික්ටෝරියාව හිඳුනාම ඔක්කෝම ජලාශ හිඳෙයිද?

824

වික්ටෝරියා ජලාශයේ ජලය නොසිතූ විරූ අන්දමින් සෙසු වසරවලට සාපේක්ෂව අඩුවීම පිළිබඳව පසුගිය දා සිට කතා බහක් ඇතිව තිබේ. ජනවාරි මාසයේ ජලාශයේ ජල ධාරිතාව ඝන මීටර මිලියන 255ක් වැය කරමින් විදුලි උත්පාදනය සිදු කොට තිබේ. මෙය සාමාන්‍යයෙන් අපේ‍්‍රල් මාසය වන විට පවතින තත්ත්වය වුවද පවතින විදුලි අර්බුදය සමග කඩිනම් විදුලි උත්පාදනයක් සමග සිදු වූ තත්ත්වයක් බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සීඝ‍්‍රයෙන් පහත බැසීම් සම්බන්ධයෙන් අදාළ අංශ විසින් වහාම විගණන වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ප‍්‍රකාශ කොට සිටියේ මේ අතරවාරයේය. ජල මට්ටම පහත බැසීමට නම් විදුලිය නිපදවීම සඳහා වැඩි ජල ධාරිතාවක් යෙදවීම හෝ කෘෂිකර්මාන්ත කටයුතු සඳහා වැඩි ජල ධාරිතාව මුදාහැරීම හෝ සිදු කළ යුතු අතර ඒ සම්බන්ධයෙන් දත්ත වාර්තාවක් ඉදිරිපත් කිරීම වික්ටෝරියා ජලාශ භාර ප‍්‍රධාන නිලධාරීන්ගේ කාර්යභාරයක් බව පෙන්වා දුන් මහාචාර්යයවරයා, මධ්‍ය කඳුකරයේ ජලාශවල ජල ධාරිතාවන් සම්බන්ධයෙන් දැඩි විමසිලිමත් තත්ත්වයක් පැවතිය යුතු බවක් ද කියා සිටියේය. ජලය වැඩි වීම හෝ අඩුවීමත් සෘජුව පරිසර පද්ධතීන්ට බලපාන බවත් යම් හෙයකින් ජල ධාරිතාව සීග‍්‍රයෙන් අඩු වූයේ නම් එම ජලයට සිදුවූයේ කුමක්ද යන්න කඩිනම් පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් කියා සිටියේය.

වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව සීඝ‍්‍රයෙන් පහළ යෑමට හේතුව හදිසි නිහඬ භූ කම්පන තත්ත්වයක් ද යන්න ප‍්‍රදේශවාසීන් ට උද්ගතව තිබු ගැටලූ විය. මන්ද ඔවුන්ගේ දෛනික ජීවිත ගෙවෙන්නේ වික්ටෝරියා ජලාශය ආසන්නයේ වීම නිසාය. ඔවුහු වරින් වර භූකම්පන සම්බන්ධයෙන් විවිධ අත්දැකීම් වලට මුහුණ පා ඇති නිසාය. එවන් තත්ත්වයන් හමුවේ දෙදහස් විසිඑක වසරේ ආරම්භයේ සිට වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම් පිළිබඳව අගයන් දත්ත සටහන්වල සඳහන්ව තිබූ අයුරින්ම මේ පිළිබඳව සලකා බලමු. වික්ටෝරියා ජලාශ බලාගාරයේ බලාගාර හිමිකාරිත්වය ඇත්තේ ජාතික විදුලි බල මණ්ඩලයටය. එහි මෙගාවොට්ස් දෙසීය හැත්තෑවක බලාගාර ධාරිතාවක් ඉකුත් වසරේ උත්පාදනය කොට තිබේ.

එවන් ධාරිතාවක් උත්පාදනය කිරීම සඳහා වික්ටෝරියා ජලාශයෙන් ඝණ මීටර් මිලියන 2 392.47 ක ජල පරිමාවක් දෙදහස් විසිඑක වසරේ යොදවා ඇති බව දත්ත වාර්තා සනාථ කරයි. එයින් බලශක්ති උත්පාදනය 977.053 (gwh) සිදු කළ බවද උත්පාදනය කරන ලද බලයේ වටිනාකම රුපියල් මිලියන 16,248 ක් බවද දත්ත වාර්තා සනාථ කරයි.

ශ‍්‍රී ලංකාවේ විදුලි බලය උත්පාදනය කරන ඊට දායක වන ජලාශ වර්ගීකරණයන්ට අනුව ලක්ෂපාන සංකීර්ණය මහවැලි සංකීර්ණය සහ සමනල සංකීර්ණය ලෙස විදුලිබල උත්පාදන ජලාශ වර්ග කෙරේ. ඉන් ලක්ෂපාන සංකීර්ණය සඳහා බ‍්‍රඞ්ලෑන්ඞ්ස් මස්කෙළිය කැනියොන් නව ලක්ෂපාන පැරණි ලක්ෂපාන සහ කාසල්රි නෝට්න්බි‍්‍රජ් ජලාශ අයත් වේ.

මහවැලි සංකීර්ණය යටතට බෝවතැන්න කොත්මලේ මොරගහකන්ද පොල්ගොල්ල රන්දෙණිගල රන්ටැඹේ ඉහළ කොත්මලේ සහ වික්ටෝරියා යන ජලාශ අයත් වේ.

සමනල සංකීර්ණය ලෙස හඳුන්වන විදුලිබලය උත්පාදනය කරන ජලාශ වන්නේ ගල්ඔය කුකුලේගඟ සමනල වැව සහ උඩවලවේ යන ජලාශයන්ය. ඒ සියල්ල තිරසාර බලාගාර ලෙසද හඳුන්වා දෙනු ලබයි.

නැවත ජනනය කළ හැකි සම්පත් යොදා ගන්නා බලාගාර වන ජල විදුලි බලාගාර මේ වන විට විදුලි උත්පාදනය සඳහා අනුපමේය මෙහෙවරක් සිදුකරන බව අදාළ බලධාරීන් ප‍්‍රකාශ කර සිටිති. මෙම බලාගාර සියල්ලම මේ වන විට සක‍්‍රීය ලෙස විදුලිබල උත්පාදනයට ක‍්‍රියාත්මක වෙමින් පවතී. මේ වන විට ජලාශ වල ජල මට්ටම (mMSL) ක‍්‍රියාකාරි ලෙස ගබඩා කොට ඇති ප‍්‍රමාණයන් සම්බන්ධයෙන් ප‍්‍රතිශතයන් දත්ත සඳහන්වල සඳහන් වී ඇති අන්දම මෙසේය. මොරගහකන්ද සියයට 95.34. කොත්මලේ සියයට 73.20. පොල්ගොල්ල සියයට 98.85කි. වික්ටෝරියා සියයට 60 34කි. රන්දෙණිගල සියයට 89.94 කි. රන්ටැඹේ සියයට 78.68කි. උල්හිටිය සියයට 80.17කි. බෝවතැන්න සියයට 63.64කි. කලාවැව සියයට 78.31කි. කණ්ඩලම සියයට 82.85කි.

මේ අතුරින් ප‍්‍රධාන ලෙස අද කතා බහට ලක්වන වික්ටෝරියා වේල්ල මීටර 122ක උසින්ද, මීටර 520ක දිගකින්ද, මීටර 6ක පළලින් හා මීටර 25ක් පළල පදනමකින්ද යුක්ත වෙයි. මෙම වේල්ල මාර්ගයෙන් වික්ටෝරියා ජලාශය 1985 වසරේදී නිර්මාණය කරන ලද අතර එම ජලාශය වර්ග කිලෝමීටර 22.7ක මතුපිට ප‍්‍රදේශයක පැතිර තිබේ. එහි ඝන මීටර 722,000,000ක ජල ධාරිතාවකින් හා වර්ග කිලෝමීටර 1869ක ජලාධාරක ප‍්‍රදේශයකින් සමන්විත වේ.

වික්ටෝරියාව හිඳුනාම ඔක්කෝම ජලාශ හිඳෙයිද?

වේල්ලෙන් එන වික්ටෝරියා ජලාශයේ ජලය, මීටර 5646ක දිගින් යුතු උමඟක් හරහා විදුලි බලාගාරය වෙත ගෙනයනු ලබයි. එහි මීටර 6.2ක බැගින් විශ්කම්භය සහිත කොටු දොරවල් (penstocks) 3ක් පවතින අතර මෙම කොටු දොරවල් මීටර 190ක ශුද්ධ ජල පීඩනයක් නිර්මාණය කර ටර්බයින 3 කට (මෙගාවොට් 70ක හා කිලෝවොට් 12.5ක) ජලය නිකුත් කරනු ලැබේ. මෙම ටර්බයින වලට වාර්ෂිකව ගිගාවොට් පැය 780ක් දක්වා විදුලිය නිපදවීමේ හැකියාව පවතී.

නමුත් විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවල ජලය මෙවන් විදුලි උත්පාදන ක‍්‍රියාවලියකට යොදවන්නේ ජලාශයෙන් ඉටුවිය යුතු තෙවැනි අරමුණ ලෙසය. ජලාශ ඉදිකිරීමේ මූලික අරමුණ වන්නේ රටේ ජනතාවට පානීය ජල සැපයුම, කෘෂි කර්මාන්තයට යෙදවීම සහ විදුලිය උත්පාදනයය. නමුත් මේ වන විට මූලික සහ ප‍්‍රධාන අරමුණු දෙක පසෙක තබා මූලික අරමුණ ලෙස විදුලිය උත්පාදනය යන කාරණය වෙනුවෙන් ජලය යෙදවීමට ජල ලේකම් කාර්යාලය උත්සාහ ගන්නා බවක් මේ වන විට පෙනෙන්නට ඇත්තේය. එය අනාගතයට සුබවාදී දැක්මක් නොවන බවත්, ඉදිරි යල කන්නයේ වගා කටයුතු සඳහා ජලය ප‍්‍රමාණවත් නොවන බවටත් මේ වන විට අනතුරු ඇඟවීම් ලැබී තිබේ.

ශ‍්‍රී ලංකාවාසීන්ට හුරු පුරුදු ජීවන වෘත්තිය වූ වී ගොවිතැන ප‍්‍රධාන කොටගත් කෘෂිකාර්මික දිවිපෙවෙත තවදුරටත් ශක්තිමත් කරවීම පිණිස අතීතයේ රජ දවස සිට රටේ නායකයන් කටයුතු කළ බව පෙනෙන්නට ඇත. ඒ සඳහා ලංකාවේ ගංගා නිම්න ප‍්‍රදේශ සිය වාස භූමි ලෙස තෝරාගනිමින්ම උතුරු ප‍්‍රදේශ වී ගොවිතැනට වඩාත් සුදුසු දේශගුණයෙන්ද, එයටම ආවේණික තැනිතලා භූමියකින්ද යුක්ත වූ හෙයින් කෘෂිකාර්මික කටයුතු වඩාත් හොඳින් පවත්වාගෙන යෑම සඳහා එම ප‍්‍රදේශවලට ප‍්‍රමුඛත්වයක් දීම ද සිදුවිය.

විජයගෙන් ඇරඹි අනුරාධපුර රාජධානිය ක‍්‍රමයෙන් වර්ධනය වත්ම එහි විසූ සියලූම වැසියන් පාහේ කෘෂිකාර්මික දිවි පෙවෙතකට අනුව හැඩගැසීම හේතුවෙන් ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු වලට අවශ්‍ය ජලය නිසි කලට වේලාවට ලබාදීමේ අවශ්‍යතාව මත ක‍්‍රමවත් ලෙස සැකසූ වාරි පද්ධතියක අවශ්‍යතාව සපුරාලීමේ ක‍්‍රමවේද අනුව එම අභියෝගය ජය ගැනීම අරමුණ කොට ගනිමින් අනුරාධපුරයේ බලයට පත්වූ සෑම රජෙකුම පාහේ වාරිකර්මාන්ත කටයුතු සඳහා කැපවී ක‍්‍රියා කළ බව පෙනෙයි. එය රටේ හුදු ජල කළමනාකරණයේ මූලික අඩිතාලම බවද කිව යුතුය. නමුත් අද වනවිට ජල කළමනාකරණය සඳහා යෙදවී සිටින බලධාරීන් මේ මූලික අරමුණ අමතක කොට තිබීම මත විවිධ අර්බුද මතුවන බවක් පෙනෙන්නේය. වාරිමාර්ග අමාත්‍යාංශය විසින් 2021 අපේ‍්‍රල් 22, කොළඹදී රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් සජිත් ආටිගල, සහ ලෝක බැංකුව වෙනුවෙන් ශ‍්‍රී ලංකාව සඳහා වූ ලෝක බැංකු අධ්‍යක්ෂක ෆාරිස් එච්. හදාද්-සර්වෝස් යන මහත්වරු එක්ව, ජල ප‍්‍රභව, සහ ජල සම්පත් කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා, ශ‍්‍රී ලංකා රජය සහ ලෝක බැංකුව ඩොලර් මිලියන 69.53 ක ණය ගිවිසුමකට අත්සන් තැබූහ. ගිවිසුමේ මූලික අරමුණ අනුව, ගොවි පවුල් 356,000 කට පමණ ප‍්‍රතිලාභ සැලසෙන පරිදි කෘෂි ඉඩම් හෙක්ටයාර් 165,000 ක් ආවරණය වන ලෙස, වැව් අමුණු හා වාරිමාර්ග යෝජනා ක‍්‍රම වැඩිදියුණු කිරීමටත් ජලය නිසි පරිදි කළමණාකරණය කිරීමත් දක්වා තිබිණි. මෙම අවස්ථාවේ අදහස් දක්වමින් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ කියා සිටියේ, ”ශ‍්‍රී ලංකා වත්මන් රජය ජල ප‍්‍රභව සංරක්ෂණය කිරීමට කැපවී සිටින අතර ශ‍්‍රී ලංකාවේ පොදු ජල කළමනාකරණයක් බිහි කිරීම සඳහා උපායමාර්ගික යාන්ත‍්‍රණයක්’ යන තේමාව යටතේ පුළුල් ප‍්‍රතිපත්ති රාමුවක් සැකසීමට සැලසුම් කර තිබෙන බවය. ගිවිසුම ප‍්‍රකාරව පස් අවුරුදු ව්‍යාපෘතිය තුළින් මෙරට වටිනා ජල සම්පත් හා ජල ප‍්‍රභව සංවර්ධනය කිරීම සඳහා ලෝක බැංකුව සමඟ සම්බන්ධ වීමට ලැබීම ගැන අප, වාරිමාර්ග අමාත්‍යාංශය ලෙස සතුට පළ කරනවා.” යන්නය. ශ‍්‍රී ලංකා ලෝක බැංකු ප‍්‍රධානි ෆාරිස් එච්. හදාද්-සර්වෝස් එම අවස්ථාවේ පවසා සිටියේ ”ශ‍්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික සමෘද්ධිය සඳහා ජල සම්පත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම බොහොම වැදගත් වෙනවා, කියාය. ශ‍්‍රී ලංකා ලෝක බැංකු අධ්‍යක්ෂවරයා කියා සිටියේ ”ශ‍්‍රී ලංකාව ස්වාභාවික හා මානවයා විසින් සැකසූ ජල සම්පත්වලින් අනූනයි. ජල ප‍්‍රභවයන් ආරක්ෂා කර ගතහොත් දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වෙමින් ජනතාවට තම ජීවනෝපාය වෙත එල්ල වන දේශගුණික බලපෑම් අවම කරගැනීමට හැකි වෙනවා.” කියාය. නමුත් වසරක් යන්නටත් මත්තෙන් මෙම පිරිසට ජල කළමනාකරණයේ මූලික හරය අමතකව ගොස් ඇති බව පෙනෙන්නට ඇත. අද වන විට විදුලි අර්බුදයට පැලැස්තර අලවන්නට පොරකන බලමුළු සියල්ල උත්සාහ ගන්නේ කෙසේ හෝ ජල විදුලිය මගින් විදුලිය නිපදවා ජනතාවගේ දෑසට වැලි ගසන්නටය. වික්ටෝරියාවේ ජලය වෙනත් වසරවලට සාපේක්ෂව අඩුවන්නේ ඒ නිසාය.

අද වන විට වාරිමාර්ග ඇමැතිවරයා තවත් කතාවක් කියන්නේය. මහා පරිමාණ මහවැලි ජලාශ තුළ පාවෙන සූර්යය පැනල (floating solar) සවිකොට පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කරන බව ඔහු කියයි. වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මේ බව කියා සිටියේ ඉකුත් විසි හත්වැනි බදාදා මහනුවර ප‍්‍රදේශයේදීය. වික්ටෝරියා, රන්දෙණිගල ඇතුළු විශාල ජල ධාරිතාවක් රැස්වන මධ්‍යම කඳුකරයේ මහවැලි ජලාශවල මෙම ව්‍යාපෘතිය දියත් කළ හැකි යැයි එහිදී අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය. විදුලිය නිෂ්පාදනය කොට ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කිරීම මෙන්ම මහා පරිමාණ ජලාශවල ජලය වාෂ්පීකරණය අවම කිරීමට ද මේ තුළින් හැකියාව ලැබෙන බවද හෙතෙම කීවේය. අධික ගංවතුර, නියඟය සහ නායයෑම් වැනි ඛේදවාචක වළක්වා ගැනීම සඳහා මූලික වශයෙන් මධ්‍ය කඳුකරයේ ඉහළ මහවැලියේ ජල ප‍්‍රභව සංරක්ෂණය කිරීම, ප‍්‍රතිසංස්කරණය කිරීම සහ වඩා හොඳින් කළමනාකරණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන අතර ජලයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම රටේ අවශ්‍යතාව විඇත්තේය.

ජලය ශ‍්‍රී ලංකාව සතු ප‍්‍රධානතම ස්වාභාවික සම්පතක් වන අතර, එය අතීතයේ පටන් මෙරට ආර්ථික සංවර්ධනයට දායක වන ප‍්‍රධානතම සාධකයක් ද වේ. කෘෂිකාර්මික රටක් වන අප ශ‍්‍රී ලංකාවේ අතීතයේ සිට අද දක්වාම විවිධාකාර වූ වාරි කර්මාන්ත තුළින් මෙරට කෘෂි ආර්ථිකයට දී ඇති දායකත්වය සුවිශේෂ එකකි. ඒ හැරුණු කොට කර්මාන්ත, සේවා සැපයීම, පානීය ජල අවශ්‍යතා පමණක් නොව විනෝදාස්වාදක කටයුතු හා සංචාරක කර්මාන්තයටත්, ජල විදුලිය නිෂ්පාදනයටත් ශ‍්‍රී ලංකාවේ ජල සම්පත ඉතා වැදගත් මූලාශ‍්‍රයක් බවට පත් වී තිබේ. නමුත් එය නිසි කළමනාකරණයක් නොකළ විට ඇති වන්නේ අර්බුදකාරී තත්ත්වයන්ම පමණි.

දියුණුව කරා ගමන් ගන්නා ලෝකයේ ඕනෑම රටක සංවර්ධනයට සමගාමීව බලශක්ති උත්පාදනය වෙනුවෙන් නිත්‍ය ප‍්‍රධාන සැලැස්මක් තිබේ. රටේ ප‍්‍රධාන අවශ්‍යතාවක් වන බලශක්තිය උදෙසා වන එම සැලසුම් ආණ්ඩු මාරුවන කිසිදු අවස්ථාවක මාරුවන්නේ නැත. අපේ රටේ ඊට වෙනස්ය. පක්ෂ දේශපාලනය කරපින්නාගෙන මේ වන විට රටේ බලශක්තිය අර්බුදයක් කරා ගෙනයන්නේ දේශපාලනයය. මන්ද වසර පහෙන් පහට නව බලශක්ති සැලසුම් ගෙන එමින් හොඳටම හොඳ සැලසුම් ක‍්‍රියාත්මක කිරීමට යෑම නිසාය. වසර පහක පාලන කාලය තුළ මුල් වසර වලදී පක්ෂ ප‍්‍රතිපත්ති රාජ්‍ය ප‍්‍රතිපත්ති බවට පරිවර්තනය කිරීමට කලක් ගතකරන පවතින සහ පැවැති රජයන් සිය සැලසුම් ක‍්‍රියාත්මක කිරිමට ඔන්න මෙන්න කියා තිබියදී පරාදව බලය අහිමි කර ගනී. පසුව පැමිණෙන රජය නැවත නව යෝජනා ගෙනඑයි. එවන් චක‍්‍රයක් තුළ අදවන විට ලංකාවේ දරුණු සහ ප‍්‍රබල බලශක්ති අර්බුදයක් ඇතිව තිබේ. ඊට පැලැස්තර ගසන්නට යෑම හරහා වක‍්‍රම කෘෂිකර්මාන්තයටත් ජනතාවගේ එදිනෙදා පරිභෝජනයටත් ජල හිඟයක් ඇතිවෙයි. මෙය තවදුරටත් මෙසේ සිදුවුවහොත් ඇතිවන්නේ දරුණු ව්‍යසනකාරී තත්ත්වයකි.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment