වික්‍රාන්ත් නැව  මුහුදට  එන විට  – ඉන්දියානු  ආර්ථිකය  ලොව පස්වෙනි  තැනට

2567

2012 සහ 2022 අතර, බීජිං ආණ්ඩුව ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් නාවික හමුදාවට එක්කර ඇති අතර තෙවැනි යාත්‍රාවේ වැඩ ආරම්භ කර ඇත. එක්සත් ජනපදය තවමත් හැකියාවන් අතින් ඉදිරියෙන් සිටින අතර සංඛ්‍යාව අනුව ලොව විශාලතම නාවික හමුදාව ඔවුනට හිමිවේ. එක්සත් ජනපද නාවික හමුදාවට ගුවන් යානා ප්‍රවාහන නෞකා 11ක් තිබේ.

 හම්බන්තොට වරායට පැමිණි “යුවාන් වැන්ග් 5” චීන පර්යේෂණ නෞකාව මෙරටින්  ගොස් ඇතත් එහි ආන්දෝලනය මෙතෙක් අවසන්ව නැත. “එක්-චීනයක් මූලධර්මයේ සිට “යුවාන් වැන්ග් 5” දක්වා: අපි අත්වැල් බැඳගෙන අපගේ ස්වෛරීභාවය, ස්වාධිනත්වය සහ භෞමික අඛණ්ඩතාව අධිෂ්ඨානශීලීව සුරකිමු” යන මැයෙන් චීන තානාපතිවරයා රචිත ලිපියක් කොළඹ චීන තානාපති කාර්යාලය විසින් සිය ට්විටර් ගිණුම හරහා පළකර තිබිණි. කොළඹ චීන තානාපති කී සෙන්හොංග් අවධාරණය කර තිබුණේ, චීනය සහ  ශ්‍රී ලංකාව තුන්වන පාර්ශ්වයන්ගේ අකාරුණික සහ අසාධාරණ ඇඟිලි ගැසීම්වලට මුළුමණින්ම ප්‍රතිරෝධය දැක්වීමත් සමඟ, ශ්‍රී ලංකා රජයෙන් ලද නව අනුමැතියෙන් පසු චීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් වන “යුවාන් වැන්ග් 5” සාර්ථකව හම්බන්තොට වරායේ නැංඟුරම් දමනු ලැබූ බවයි.

 මේ ප්‍රකාශ සම්බන්ධව ඉන්දීය තානාපති කාර්යාලය කලබලයට පත්ව තිබිණි. කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය චෝදනා කර තිබුණේ චීන තානාපතිවරයා “මූලික රාජ්‍ය තාන්ත්‍රික ආචාර විධි කඩ කර” ඇති බවයි. “ශ්‍රී ලංකාවේ අසල්වැසියා පිළිබඳ එතුමාගේ අදහස් එතුමාගේම රට හැසිරෙන ආකාරය අනුව සකස් වී ඇතුවා විය හැක. ඉන්දියාව එයට වඩා බෙහෙවින් වෙනස් බව අපි එතුමාට සහතික කර සිටිමු.” යනුවෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවිඩ මාලාවක් නිකුත් කරමින් පෙන්වා දී තිබිණි. “යුවාන් වැන්ග් 5” නෞකාව පිළිබඳව ඉන්දියාව භීතියෙන් සිටි බව රහසක් නොවේ. නමුත් ඉන්දියාවේ විරෝධය නොතකා එය ලංකාවට පැමිණියේය. ඉන්දීය බ්‍රාහ්මණයන්ට අවශ්‍ය ලෙස ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සකස් කළ නොහැකිය. නමුත් අද අප කතා කරන්නේ චීන නැව ගැන නොව ඉන්දියාව විසින්ම ඉදිකරනු ලැබූ ගුවන් ප්‍රවාහන නෞකාව පිළිබඳවය.

 ඉන්දියාව ලොව ප්‍රධානම ආර්ථිකය ඇති රටවල් අතරින් පස්වැනි තැනට පැමිණියේද පසුගිය සතියේය. බ්ලූම්බර්ග් විසින් කරන ලද නවතම ගණනය කිරීම්වලට අනුව, 2022 මාර්තු අගදී එක්සත් රාජධානිය අභිබවා ගිය ඉන්දියාව ලොව පස්වන විශාලතම ආර්ථිකය බවට පත්ව ඇත. මෙය කලක් අපේක්ෂා කළ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්ත සමුදාය සහ විනිමය අනුපාත භාවිතා කරමින් බ්ලූම්බර්ග් මෙම නිගමනයට පැමිණියේය. ගැළපුම් පදනමක් මත සහ අදාළ කාර්තුවේ අවසාන දිනයේ ඩොලර් විනිමය අනුපාතිකය භාවිතා කරමින්, මාර්තු සිට ඉන්දියානු ආර්ථිකයේ ‘නාමික’ මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 854.7 කි. එම පදනම මත එක්සත් රාජධානිය ඩොලර් බිලියන 816 ක් පමණක් විය. ඉන්දියාවේ දේශපාලන හා ආරක්ෂක ප්‍රවණතා ලංකාවට බෙහෙවින් බලපාන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

 1524 දෙසැම්බරයේ නත්තල් සැන්දෑවේ, පෘතුගීසි දේශ ගවේෂක වාස්කෝ ද ගාමා කොචින්හිදී මියගිය විට ඉන්දියාවට මුහුදු මාර්ගයක් සඳහා යුරෝපීය ගවේෂණයේ එක් පරිච්ඡේදයක් අවසන් විය. එයින් වසර 500 කට පමණ පසු, වාස්කෝ ද ගාමා මිහිදන් කළ ශාන්ත ෆ්‍රැන්සිස් දේවස්ථානයට නුදුරින් ඉන්දියාවේ තනනු ලැබූ ගුවන් යානා ප්‍රවාහන නෞකාව අයිඑන්ස් වික්‍රාන්ත් නමින් ඉන්දීය නාවික හමුදාවට එක්කරන ලදී. දකුණු දිග කේරළ ප්‍රාන්තයේ පැවති උත්සවයකදී පුරා වසර 13ක් තිස්සේ නිර්මාණය කරන ලද මෙම නැව ඉන්දීය අගමැතිවරයා විසින් නාවික හමුදාවට පවරනු ලැබීය. ටොන් 45,000ක් බරැති මෙම නැව මීටර් 262 (අඩි 860) දිග සහ මීටර් 60 (අඩි 197) පමණ උස මෙම නැවේ ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා 30ක් රඳවා තබා ගැනීමේ හැකියාව එයට ඇත. මෙම නැව ජාතිය සතු කිරීමේ උත්සවයට පැමිණි අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අයිඑන්ස් වික්‍රාන්ත් හැඳින්වූයේ “පාවෙන නගරයක්” සහ “ස්වදේශික විභවයේ සංකේතය” ලෙසිනි. අයිඑන්ස් වික්‍රාන්ත් සමඟින් ඉන්දියාව දේශීය තාක්ෂණයෙන් යුත් දැවැන්ත ගුවන් යානා ප්‍රවාහන නෞකා නිෂ්පාදනය කරන රටවල් ලැයිස්තුවට එක්වී ඇත. එය රට තුළ නව විශ්වාසයක් පුරවා ඇත,” ඔහු පැවසීය. ඉන්දියාවේ අනෙක් ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන අයිඑන්ස් වික්‍රමදිත්‍ය හට ගුවන් යානා 30කට වඩා රැගෙන යා හැකිය. එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවේ කුවීන් එලිසබෙත් නෞකාවට ගුවන් යානා 40ක් පමණ රැගෙන යා හැකි අතර එක්සත් ජනපද නාවික හමුදාවේ නිමිට්ස් පන්තියේ නෞකාවන්ට ගුවන් යානා 60කට වැඩි ප්‍රමාණයක් රැගෙන යා හැකිය.

 ධෛර්ය සම්පන්න යන අරුත දෙන සංස්කෘත වචනය වික්‍රාන්ත්, එහි මූලාරම්භය භගවත් ගීතා ඇතුළු විවිධ ග්‍රන්ථවල දක්නට ලැබේ. ගීතාවේ පළමු පරිච්ඡේදයේ හයවන ශ්ලෝකයේ, පාණ්ඩව හමුදාවේ සමහර සෙන්පතියන්ගේ වීරත්වය විස්තර කරන අතර, ‘වික්‍රාන්ත්’ යන විශේෂණ පදය භාවිතා කරයි.

 “වික්‍රාන්ත්ගේ ප්‍රවේශය සහ පුනරුත්පත්තිය අපගේ ආරක්ෂක සූදානම ශක්තිමත් කිරීමේ තවත් එක් පියවරක් පමණක් නොව, 1971 යුද්ධයේදී ජාතියේ නිදහස වෙනුවෙන් අපගේ නිදහස් සටන්කාමීන් සහ අපගේ අභීත සොල්දාදුවන් කළ කැපකිරීම් සඳහා අපගේ නිහතමානී උපහාරයයි.” ඉන්දීය නාවික හමුදාව නිවේදනය කර තිබේ. එක්සත් රාජධානියෙන් මිලදී ගෙන 1961 දී ආරම්භ කරන ලද ඉන්දියාවේ ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාව හැඳින්වූයේ එම නමිනි. පළමු අයිඑන්ස් වික්‍රාන්ත් ජාතික අභිමානයේ ප්‍රධාන සංකේතයක් වූ අතර 1997 දී සේවයෙන් ඉවත් කිරීමට පෙර 1971 පකිස්තානය සමඟ යුද්ධය ඇතුළුව – හමුදා මෙහෙයුම් කිහිපයක වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබීය.

 ඉන්දියාවට දැන් ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් ඇත. වික්‍රමදිත්‍ය සහ වික්‍රාන්ත් ලෙසය. නමුත් නාවික හමුදා ප්‍රධානීන් ප්‍රසිද්ධියේ පවසා ඇත්තේ එයට අවම වශයෙන් තවත් එකක්වත් අවශ්‍ය බවයි. නමුත් රජය තවමත් මේ සඳහා මුදල් ලබාදී නැත. මෑතක් වන තුරුම වික්‍රාන්ත්ගේ ප්‍රගතිය අධීක්ෂණය කළ විශ්‍රාමික උප අද්මිරාල් ඒ. කේ. චව්ලා පවසන්නේ “ඔබට එක  රැයකින් නෞකා සෑදිය නොහැක, එයට කාලය ගත වන අතර, එබැවින්, අපගේ යාත්‍රාව ආරක්ෂා කිරීමට, දුර ගමන් කිරීමට සහ ගුවන් යානා ප්‍රවාහක නෞකාවට හෝ වෙනත් ස්ථානයකට යාමට පෙර සතුරු නැව් විනාශ කිරීමට හැකි වික්‍රාන්ත් වැනි තවත් නැව් අප සතුව තිබීම ඉතා වැදගත්” යනුවෙනි.

 2012 සහ 2022 අතර, බීජිං ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් නාවික හමුදාවට එක්කර ඇති අතර තෙවැනි යාත්‍රාවේ වැඩ ආරම්භ කර ඇත. එක්සත් ජනපදය තවමත් හැකියාවන් අතින් ඉදිරියෙන් සිටින අතර සංඛ්‍යාව අනුව ලොව විශාලතම නාවික හමුදාව ඔවුනට හිමිවේ. එක්සත් ජනපද නාවික හමුදාවට ගුවන් යානා ප්‍රවාහන නෞකා 11ක් තිබේ.

 මෙම නැව ඉදිකළ කොචින් නැව් තටාකාංගනයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ මධු නායර් පවසන්නේ නෞකාවේ ඉදිකිරීම් ප්‍රමාද වුවත් ඒ ගැන අසතුටක් නැති බවයි. “අවුරුදු 13 ගියා තමයි, අපිට අනිවාර්යයෙන්ම මීට වඩා හොඳට කරන්න පුළුවන්. නමුත් අපි එය කරන්නේ පළමු වතාවට බව අපි තේරුම් ගත යුතුයි, ඒ නිසා මම අසතුටින් නැහැ.” මෙම නැවේ ඉදිකිරීම් බොහෝ ප්‍රමාද වූ අතර ඇත්තෙන්ම මෙය නාවික හමුදාවට භාරදීමට නියමිත වූයේ 2018 දීය. කොචින් නැව් අංගනය දැන් ඉන්දියාවේ මීළඟ ගුවන් යානා ප්‍රවාහක නෞකාව තැනීම සඳහා නව තටාකයක් සඳහා ආයෝජනය කරමින් සිටී.

 ඉදිකරන ලද මෙම නැවේ කොටස්වලින් 76% ක් දේශීයව ලබාගෙන ඇත. ඉන්දියානු සමාගම් 500 ක් පමණ සම්බන්ධ කර ගෙන තිබේ. නාවික හමුදාව සහ කොචින් නැව් තටාකය යන දෙකම පවසන්නේ වික්‍රාන්ට් හි පිරිවැය ඉන්දියාවේ ආරක්ෂක හැකියාවන් ඉහළ නැංවීමේ ආයෝජනයක් බවයි. දැනට ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇත්තේ රටවල් පහකට හෝ හයකට පමණක් වන අතර ඉන්දියාව දැන් මෙම කීර්තිමත් සමාජයට සම්බන්ධ වී තිබේ. විශේෂඥයන් සහ නාවික හමුදා නිලධාරීන් පවසා ඇත්තේ ඉන්දියාව ලෝකයේ දියුණුම හා සංකීර්ණ යුද නැව්වලින් එකක් නිර්මාණය කිරීම හරහා ස්වයං විශ්වාසය ප්‍රදර්ශනය කර ඇති බවයි. 2015 සිට ඉන්දීය නාවික හමුදාව තමන් සඳහා තුන්වන ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ඉදිකිරීමට අනුමැතිය ඉල්ලා සිටින අතර, එය අනුමත වුවහොත් එය ඉන්දියාවේ දෙවන දේශීය ගුවන් යානා ප්‍රවාහන නෞකාව බවට පත්වනු ඇත. මෙය අයිඑන්එස් විශාල් ලෙස නම් කිරීමට නියමිතය. මෙම යෝජිත නැව ඔවුන් සතු ගුවන් ප්‍රවාහන නෞකා දෙකටම වඩා විශාල ටොන් 65,000ක යෝධ යාත්‍රාවක් වනු ඇත. හිටපු නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් කරම්බීර් සිං පවසා තිබුණේ නාවික හමුදාවට “බැඳුණු හමුදාවක්” ලෙස පැවතිය නොහැකි බවයි.

 චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment