විකිරණ කාන්දුවක් නොවැළැක්වූ න්‍යෂ්ටික බලාගාරයක පාලකයන්ට යෙන් ට්‍රි‍ලියන 13ක දඩයක්

422

වසර 2011 දී ජපානයේ ෆුකුශිමා ප්‍රාන්තයේ ඔකුමා නගරයේ පිහිටි න්‍යෂ්ටික බලාගාරයෙන් විකිරණ පිටතට කාන්දු වීමේ සිද්ධියක් වළක්වා ගැනීමට පියවර නොගැනීමේ චෝදනාව යටතේ ජපන් යෙන් ට්‍රිලියන 13ක (එංගලන්ත ස්ටර්ලින් පවුම් 80ක්) දැවැන්ත වන්දි මුදලක් ගෙවන ලෙස ටෝකියෝ නගරයේ අධිකරණයක් විසින් අදාළ න්‍යෂ්ටික බලාගාරය එවකට පාලනය කළ ටෝකියෝ විදුලිබල බලශක්ති සමාගම (ටෙප්කෝ) වෙත නියෝග කර තිබේ.

මෙසේ අදාළ න්‍යෂ්ටික බලාගාර පාලකයන්ට ගෙවීමට නියම කර ඇති වන්දි මුදල මෙතෙක් ජපන් අධිකරණ ඉතිහාසයේ සිවිල් නඩුවකදී ගෙවීමට නියම කරනු ලැබූ විශාලතම වන්දි මුදල බව ජපන් නීතිවේදීහු පවසති. 2011 වසරේ මාර්තු 11 වැනිදා ජපානයේ ෆුකුශිමා ප්‍රාන්තයේ හටගත් ප්‍රබල භූමිකම්පාව සමගම ඇති වූ සුනාමි තත්ත්වය හේතුවෙන් ඔකුමා නගරයේ පිහිටි ‘ඩයිචි’ න්‍යෂ්ටික බලාගාරයේ ගින්නක් හටගෙන තිබූ අතර එහි ප්‍රතිපලයක් වශයෙන් සිදු වූ විකිරණ කාන්දුවට නිසි පියවර ගත්තේ නම් බලාගාරයේ පාලකයන්ට වළක්වා ගත හැකිව තිබූ බව නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ටෝකියෝ අධිකරණයේ විනිසුරුවරයා පවසා තිබේ. අදාළ විකිරණ කාන්දුව හේතුවෙන් මිනිසාට මෙන්ම අවට පිහිටි ගස් කොළන්වලට දිගුකාලීන බලපෑම් එල්ල වනු ඇති බව විද්‍යාඥයන් විසින් පවසා තිබේ. ‘ඩයිචි’ න්‍යෂ්ටික බලාගාරයේ හටගත් විකිරණ කාන්දුව වළක්වා ගත හැකිව තිබූ බව පවසමින් බලාගාරයේ පාලනාධිකාරයට අයත් කොටස්කරුවන් විසින් 2012 වසරේදී පාලනාධිකාරයට එරෙහිව අදාළ නඩුව පවරා තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment