විකුණූ සම්පත් ලබා ගන්නා බවට පාරම්බාමින් බලයට පැමිණි ආණ්ඩුව දේපළ විකුණා ජීවත්වන නාස්තිකාර පියකුගේ භූමිකාවට ප‍්‍රවේශ වෙලා

100

– ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක

විකුණූ සම්පත් සිය ආණ්ඩුවක් යටතේ නැවත ලබා ගන්නා බවට පාරම්බාමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව මේ වන විට දේපළ විකුණා ජීවත්වන නාස්තිකාර පියකුගේ භූමිකාවට ප‍්‍රවේශ වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ මහතා එම අදහස් පළකළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පෙරේදා ( 12 වැනිදා ) පැවැති මාධ්‍ය හමුවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

රටේ ජනතාව කොරෝනා වසංගතයෙන් බැටකන අතර වර්තමාන පාලකයන් ජාතික සම්පත් විශාල ප‍්‍රමාණයක් විදේශිකයන්ට පැවරීමේ ක‍්‍රියාමාර්ගවල යෙදී සිටිනවා. මේ පාලනය ගොඩනැගීමේ ප‍්‍රධානම සාධකයක් කරගත්තේ ජාතික සම්පත් ආරක්ෂා කරනවා කියන මතය. පැවති රනිල්-මෛත‍්‍රී ආණ්ඩුව ජාතික දේපළ විකිණීමට විරුද්ධව විශාල මතයක් ගොඩනැගී තිබුණා. ඒ මතය කොල්ලකමින් වර්තමාන පාලනය පිහිටුවූවා. හම්බන්තොට වරාය විකිණීමේදී අදාළ ගිවිසුම සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේදී ඊට විරුද්ධව මේ කිසි කෙනෙක් ඡුන්දය දුන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ සිට රාජපක්ෂවරු ගණනාවක් පාර්ලිමේන්තුවේ හිටියත් වරාය චීනයට ලබාදීම හෝ බදු සහන ලබාදීමේ ගැසට් නිවේදනයට විරුද්ධත්වය ප‍්‍රකාශ කළේ නැහැ. එදත් එම විකිණීමට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඡුන්දය පාවිච්චි කළේ අපේ මන්ත‍්‍රී කණ්ඩායම විතරයි. එදත් අපි පෙන්වා දුන්නේ මොවුන් ව්‍යාජ දේශපේ‍්‍රමය තවරා ගත් අය බවයි. ඔවුන් ගෙන ගියේ බොක්කේ දඩමස් තියාගෙන හක්කේ බුදුරැුස් තියෙන ක‍්‍රියාකලාපයක්. වර්තමාන බලය පිහිටුවාගෙන අපේ රටේ විශාල ජාතික සම්පත් ප‍්‍රමාණයක් විකිණීමට සූදානම් වෙනවා. ඒ වගේම විකුණා තිබෙනවා.

කොවිඞ් වසංගතය හමුවේ ආණ්ඩුවේ මේ ක‍්‍රියාකලාපයන් ගැන සංවාදයක් කිරීමේ හැකියාව රට තුළ නැති තත්වයක් තුළ පවා ආණ්ඩුව කරන්නේ ජාතික සම්පත් විකුණා දැමීමයි. පසුගියදා කැබිනට් මණ්ඩලය සූම් තාක්ෂණය ඔස්සේ කැඳවූ අවස්ථාවේ ඊට පෙර ලබා නොදුන් කැබිනට් පත‍්‍රිකාවක්, එම අවස්ථාවේදී පවා පත‍්‍රිකාවක් ලෙස ලබා නොදී මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ වාචිකව ඉදිරිපත් කළ කරුණු අනුව කෙරවලපිටිය බලාගාරයෙන් 40%ක් සහ ගෑස් ගෙන එන නළ පද්ධතියත් ගෑස් ගබඩා කරන ටර්මිනල් බලාගාරයත් ඇමරිකානු සමාගමකට විකුණන්න තීරණය කරලා. විකිණීමේ කොන්දේසි, මිල ගණන්, අත්සන් කරන ගිවිසුම ආදී සියලූ දේ පිළිබඳ අධිකාරී බලයක් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලබාදී තිබෙනවා. ආර්ථික ගැටලූ, කොවිඞ් ව්‍යසනය, සම්බන්ධයෙන් උත්තර ජනතාව අපේක්ෂා කරද්දී ඇමරිකානු සමාගමකට කෙරවලපිටිය බලාගාරය පවරා දීමේ අවසන් තීන්දුව ගෙන තිබෙනවා. ඇමැතිවරුන්ට කිසිදු අදහසක් ඉදිරිපත් කරන්න ඉඩ නොදී එම පත‍්‍රිකාව සම්මත කළ බව කාර්ය සටහන්වල සඳහන් කර තිබෙනවා.

මීට පෙර 2021.07.31 දින වරාය ඇමැතිවරයා කොළඹ වරාය ආසන්නයේ ඉතාමත් වටිනා අක්කර 13ක් චීනයේ සී. අයි. සී. ටී. සමාගමට පවරා දෙන්න කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර සම්මත කරගත්තා. අපේ වරාය අධිකාරියට විශාල පර්යන්ත ප‍්‍රමාණයක් අද අයිති නැහැ. නමුත් විශාල ආදායමක් උපයන්නේ නාවික සේවා සැපයුම් ලබාදීම මගිනුයි. එමගින් 2018දී බිලියන 5.6ක ආදායමක් උපයා තිබෙනවා. පසුගිය වසර දෙකේ යම් ප‍්‍රමාණයක ආදායම් අඩුවෙන්න ඇති. නමුත් දැන් ඒ සේවා සැපයීමේ අයිතිය අවුරුදු 35කට චීන සමාගමට ලබාදී තිබෙනවා. ඒ වෙනුවෙන් අක්කරයක් බදුදී තිබෙන්නේ මාසයකට රු. ලක්ෂ 8.5ක් වැනි මුදලකට. අක්කර එක හමාරක් සිමෙන්ති සමාගමකට ලබාදී තිබෙන්නේ මාසික කුලිය ලක්ෂ 22කට. නමුත් චීනයට ලබාදී තිබෙන්නේ ලක්ෂ අට හමාරක කුලියකට. තවත් ඉඩමක් අක්කර 1.25ක් පමණ දී තිබෙන්නේ ලක්ෂ 135ක් වූ මාසික කුලියකට. ජාතික දේපළ නිසි තක්සේරුවකට යටත් නොකර විශාල ධනයක් මේ අය උපයා ගන්නවා. ඒ ධනය සුදු කර ගැනීම සඳහා කළු සල්ලි සුදු කර ගැනීමේ පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත්තා. මීට පෙර පර්ක් ආයතනය වශයෙන් ජාතික සම්පත් විකිණීමේ මෙහෙයුම් සිදුකළ ආයතනය අහෝසි වූවාට පසුව සෙලෙන්දිවා ආයතනය පිහිටුවා එම කාර්යය කරගෙන යන්න පටන් ගෙන තිබෙනවා.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment