විකෘතිය ප්‍රකෘතියක් කරනු පිණිස!

42

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශයේ වගන්ති 30න් 21ක් වන වගන්තියේ සඳහන් ආකාරයට රටක පාලන බලයේ පදනම ජනතාවගේ කැමැත්ත විය යුතු බවට සඳහන් කර තිබෙනවා.

ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී සමාජ රටාවක තිබෙන රටක්. සැම විටම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය අනුවයි කටයුතු කළ යුතුමයි.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා වඩාත් විනිවිදභාවයකින් යුතුව නිසි කලට නිදහස් මැතිවරණ පැවැත්විය යුතු බව අවිවාදයෙන් පිළිගත යුතුයි.

“ටික දෙනකු විසින් කරනු ලබන පාලනය බහුතරයක් විසින් නිරීක්ෂණය කිරීම සඳහා ඇති යාන්ත්‍රණය මැතිවරණයි” කියලා ඇරිස්ටෝටල් කියනවා.

නවීන ලෝකයේ රටවල පාලන ක්‍රම අතර, බහුතරයක් රටවල් හොඳම පාලන ක්‍රමය ලෙස සලකන්නේ “ප්‍රජාතන්ත්‍රවාදී” පාලන ක්‍රමයයි. එනිසා ඒ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමට අවශ්‍ය ජනතා පරමාධිපත්‍ය නියෝජනය වන්නේ මැතිවරණ තුළින්.

75 පැවැත්විය යුතුව තිබූ මැතිවරණය 77ට කල් දැමීම නිසා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය පරාජයට පත්වුණා. 1981 වසරේ යාපනයේ සංවර්ධන සභා ඡන්ද විමසීම නියමානුකූලව නොපැවැත්වීමෙන් සිදුවූ ඛේදවාචකය අතිශයින්ම බරපතළයි. තිස් අවුරුදු යුද්ධයක් නිර්මාණය කරන්න පවා ඒක හේතු සාධක වුණා. උතුරේ බෙදුම්වාදී අළු යට ගිනි පුපුරු වලට 1983 වසරේ දී යම් අය ඉන්ධන සැපයුවා නම් ඒ සඳහා දර සැපයුවේ 1981 මැතිවරණය.

තමන්ට සිදු වූ බරපතළ අසාධාරණය නිසාත්, පරමාධිපත්‍ය අහිමිවීම නිසාත් තැනින් තැන කුඩා කණ්ඩායම් ලෙසින් සිටි තරුණ කණ්ඩායම් සමඟ බාල, මහලු, වැඩිහිටි සියලු දෙනාම එක් වුණා. “බැලට් එක වෙනුවට බුලට්” කියන සංකල්පයට ඔවුන් අනුගත වුණේ ඒ අනුව.භ 1983 වසරේ පවත්වන්නට තිබුණු පාර්ලිමේන්තු මැතිවරණය 1982 ජනමත විචාරණය මඟින් කල් දැමීමට කටයුතු කළා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන තිබූ විශ්වාසය දෙදරන්නට එය හේතු වුණා. ජීවිත 60000ක් පමණ අහිමි වුණා. මේ මොහොත වන විට, රටේ පාර්ලිමේන්තුව තුළ තිබෙන්නේ විකෘතියක්. ඒ විකෘතිය ප්‍රකෘතියක් බවට පත් කිරීමට හැකි වන්නේත් මැතිවරණයක් තුළින් පමණයි. ඒ විකෘතියේ තරම මොනතරම්ද කියා දැක බලාගත හැකි වන්නේ පළාත් පාලන මැතිවරණය තුළිනුයි.

විවිධ තර්ක ඉදිරිපත් කරමින්, ඒ කෙස් පැලෙන තර්ක තුළින් මැතිවරණය කල් දැමීමට ගනු ලබන උත්සාහය සැහැල්ලුවට ගත නොහැකියි. නිසි කාලයට මැතිවරණයක් පැවැත්වීම විවිධ ක්‍රම මඟින් වළක්වාලන්න පුළුවන්. අණ පනත් ඉදිරිපත් කිරීමෙන්, නියෝගවලින්, මහජන කැරලිවලින්, ඡන්ද තහනම් කිරීමෙන් මැතිවරණයන් කල් දැමිය හැකියි.

අද ආණ්ඩුව අරඅඳිමින් සිටින්නේ එයින් කුමන කටයුත්තට ද යන්න ඉදිරියේ දී දැකබලා ගත හැකියි.

මේ මොහොතේ අපේ රටට ඉතාම තීරණාත්මකයි. බරපතළ ආර්ථික ව්‍යසනයක් වගේම විකෘති දේශපාලන ව්‍යසනයක් ද අපේ රට වෙලාගෙන තිබෙනවා.

දෙවෙනි ලෝක යුද්ධයේදී ජපානයේ නාගසාකි හිරෝෂිමාවලට දාපු බෝම්බ වලින් අළු දූවිලි බවට පත් වුණා. ජර්මනිය හිට්ලර්ගේ වැඩපිළිවෙළ හින්දා විනාශයට පත් වුණා. නමුත්, ජනතාවාදී ක්‍රියාමාර්ග තුළින් ඒ රටවල් දෙකම වේගයෙන් ඉදිරියට ආවා.

සිංගප්පූරුව මැලේසියානු ප්‍රාන්ත රාජ්‍යයෙන් ගලවා පිටමන් කරනකොට සිංගප්පූරුව හුදකලාව වුණා. ලී ක්වාන් යූ හැඬූ කඳුළින් කතා කළා. මැලේසියාවේ උදව් නැතුව අපි කොහොමද අනාගතයක් ගොඩ නගන්නේ කියලා එයා කල්පනා කළා. විශිෂ්ට අධිෂ්ඨානයක් සහ නායකත්වයක් ඔහු තුළ තිබුණා. සමස්ත රටම එක අරමුණකට ගනිමින් ඔහු රට ගොඩනගන කටයුත්ත ආරම්භ කළා. ඔහු සමඟ විශිෂ්ට කණ්ඩායමක් සිටියා. ශිෂ්ට සම්පන්න රටක් ගොඩනැගීම වෙනුවෙන් ඒ විශිෂ්ට කණ්ඩායම කැප වුණා.

අද මැලේසියාව සිංගප්පූරුවෙන් ආදර්ශ ලබා ගන්නවා. අපේ රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට නම් සුවිශේෂී කණ්ඩායම් හැඟීමක් අවශ්‍යයි.

අලුත් ලෝකයක් ප්‍රාර්ථනා කරන, නව චින්තනයක් සහිත තරුණ පරම්පරාවට නියෝජනය සඳහා සම්බන්ධවීමට ද මැතිවරණයක් අත්‍යවශ්‍යයි.

පවතින විකෘතිය ප්‍රකෘතියක් බවට පත් කළ යුතුමයි. ඒ සඳහා ජනතා පරමාධිපත්‍ය උරගා බැලීමට මේ සුදුසුම කාලයයි.

advertistmentadvertistment
advertistmentadvertistment