විගණන නිලධාරීහු කෝප් – කෝපා වර්ජනයකට

158

ඇතැම් දේශපාලනඥයන් රජයේ විගණකාධිපතිවරයා හා විගණන කටයුතු විවේචනය කිරීමට පටන්ගෙන තිබීම නිසා ඊට විරෝධය පළකරමින් රජයේ විගණන නිලධාරීන් ලබන ජනවාරි සිට කෝප් හා කෝපා කමිටු වර්ජනය කිරීමට තීරණයක් ගෙන ඇත.

වාර අවසන් කර තිබෙන පාර්ලිමේන්තුව ලබන ජනවාරි 05 වැනිදා යළි රැස්වීමට නිමිතව තිබෙන බවත් ඉන්පසු පවත්වන කෝප් හා කෝපා කමිටුවලට සහභාගී නොවීමට දැනට සංගම් කිහිපයක් එකඟතාවකට පැමිණ ඇති බවත් විගණන සේවා සංගමයේ සභාපති ප්‍රසන්න ගලපාත මහතා “ ඉරිදා දිවයින සංග්‍රහය”ට පැවසීය.

ඇතැම් රාජ්‍ය ආයතනවල සේවකයන්ට යම් දීමනා හෝ වරප්‍රසාද ලබාදීමේදී මහා භාණ්ඩාගාරයෙන් පූර්ණ අනුමැතියක් ලබාගත යුතු බවට විගණකාධිපතිවරයා ඉකුත්දාක පැවති කෝපා කමිටු රැස්වීමකදී පෙන්වාදී ඇත. එම ප්‍රකාශයට එරෙහි වූ එක්තරා ඇමැතිවරයෙකු විගණකාධිපතිවරයාගේ ප්‍රකාශය විවේචනය කරමින් රාජ්‍ය විගණන සේවා කාර්ය භාර්ය හෑල්ලුවට ලක්කර ඇත.

මේ සම්බන්ධයෙන් කථානායකවරයා විසින් අදාළ ඇමැතිවරයාට එරෙහිව යම් පියවරක් ගතයුතු බවත් එසේ නොවුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවන බවත් ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ සභාපතිවරයා පැවසීය.

විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා විසින් මෙම ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාව ඉල්ලා කෝපා කමිටු සභාපතිවරයා වෙත මේ වනවිටත් ලිඛිතව දැනුම්දීමක් කර ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment