විගස යන්න ගොස් දුම් රිය පාරෙන් අන්තිමේදී ගියේ මාරය සමගින්…

249

බූස්ස සසල කළ ඛේදවාචකය

රජරට රැජිනියගේ වයස අවුරුදු 54කි. ඇය එකපිම්මේ කිලෝමීටර් හාරසිය ගණනක් එක දිනකදී දිව යන්නීය. ඕ පනස්විය ඉක්මවා තිබුණද තවමත් සුන්දර යොවුන්වියේ පසුවන විසේකාර යුවතියකි. ඇයගේ ගමන කඩිසරය. සුකුමාලය. කොටින්ම කිවහොත් ඇය අදටත් දුම්රිය ධාවනයේ රැජිනකි. මුහුදුබඩ දුම්රිය මාර්ගය පිත්තපිටියක් සේ දිව යන්නේය. දිනය ඉකුත් 01 වැනිදාය. රජරට රැජිනි දුම්රිය මාතර සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබුණි. රජරට රැජිනි එක හැල්මේ දිව යන්නීය. වේලාව පෙරවරු 10.50 පමණ වන්නට ඇත. රජරට රැජිනි නළා හඬ නංවමින් රත්ගම රිල්ලඹ දුම්රිය හරස් මාර්ගය පසුකරමින් ධාවනය වන්නට විය. ගතවූයේ නිමේෂයෙකි. දුම්රිය හරස් මාර්ගයේ දී ත‍්‍රිරෝද රථයක් දුම්රියේ ගැටුණි.. ඒ සමග ත‍්‍රිරෝද රථය විසිවීගොස් මාර්ගය අසල තිබූ හතරැස් වර්ගයේ කොන්ක‍්‍රීට් කණුවක වැදී නතරවිය. ත‍්‍රිරෝද රථයේ ගමන්ගත් සිව් දෙනා ත‍්‍රිරෝද රථයෙන් ඉවතට විසිවූහ.

මේ සමග ප‍්‍රදේශවාසීන් අනතුර වූ ස්ථානයට එක්රොක් වන්නට වූහ. ඒ වනවිට ත‍්‍රිරෝද රථයේ ගමන්ගත් සිව්දෙනා බරපතළ තුවාල ලබා සිටියහ. ප‍්‍රදේශවාසීන් එක්වී මොවුන් සිව්දෙනා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගියද රෝහලට ඇතුළත් කරනවිට ඉන් තිදෙනකු මියගොස් සිටියහ. බරපතළ තුවාල ලබා සිටි කාන්තාවක් රෝහලට ඇතුළත්කොට ටික වේලාවකට පසුව මියගියාය.

ත‍්‍රිරෝද රථයේ ගමන්ගත් එකම පවුලේ සමාජිකයන් වන කාලිංග සුනිමල් (45) මෙරින්ජි ලසිතා කුමාරි මෙන්ඩිස් (49) කාලිංග ජිනදාස (86) පස්කුවල්හන්දි තවුලිස්හාමි (84) යන අය මෙම අනතුරෙන් මියගියහ. බූස්ස පරණවත්ත ප‍්‍රදේශයේ පදිංචි කාලිංග සුනිමල් (45) ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට සම්බන්ධ ව්‍යාපාර කටයුතුවල නිරතව සිටියේය. හේ බූස්ස පරණවත්ත ගම්මානයේ ජනතාව සමග ඉතා සුහදව කටයුතු කළ අයෙකි. සුනිමල් කාටත් උදව්පදව් කරමින් දැහැමි දිවිපෙවෙතක් ගතකළේය. සුනිමල්ගේ පියා කාලිංග ජිනදාස අසූහය හැවිරිදි වියේ පසුවිය. ඔහු ගිංතොට තුනීලෑලි සංස්ථාවේ සේවය කළ අයෙකි. සුනිමල් තම පියාට දැඩි ලෙස ආදරය කළේය. සුනිමල්ගේ පවුලේ සාමාජිකාවක් වූ මෙරින්ජි ලසිතා කුමාරි මෙන්ඩිස් (49) ගෘහණියකි. ඕ එක්දරු මවකි. ඇයගේ දියණිය 25 හැවිරිදි වියේ පසුවූවාය. පස්කුවල්හන්දි තවුලිස්හාමි (84) ලසිතා කුමාරිගේ මවය. ඇය විශ‍්‍රාම වැටුප් ලබන්නියකි. සැමියාගේ වියෝවෙන් පසු විශ‍්‍රාම වැටුප ඇයට හිමිවී තිබුණි.

විගස යන්න ගොස් දුම් රිය පාරෙන් අන්තිමේදී ගියේ මාරය සමගින්…

දිනය ඉකුත් 01 වැනිදාය. විශ‍්‍රාම වැටුප් සම්බන්ධයෙන් ලේඛනයකට අත්සන් ලබා ගැනීම සඳහා වැල්ලබඩ වසමේ ග‍්‍රාම නිලධාරිතුමිය හමුවීම සඳහා මොවුන් සිව්දෙනා ග‍්‍රාම නිලධාරි කාර්යාලය වෙත ගියහ. ත‍්‍රිරෝද රථය පදවනු ලැබුවේ සුනිමල්ය. මේ ගමන යෑම සඳහා තම ඥාති පුත‍්‍රයකු වන කාලිංග විරාජ් ගිතිකගෙන් සුනිමල් ත‍්‍රිරෝද රථය ඉල්ලාගෙන තිබුණි. ග‍්‍රාම නිලධාරිතුමිය හමුවී විශ‍්‍රාම වැටුප් සම්බන්ධ ලිපියට අත්සන් ලබාගැනීමෙන් පසු යළි නිවස බලා යෑම සඳහා මොවුන් පිටත්වූහ. තමන් මේ යන අවසන් ගමන බව මොවුන් සිහිනෙකින්වත් නොසිතන්නට ඇත. සුළු අතපසුවීමක් හේතුවෙන් එකම පවුලේ සිව් දෙනකුට දිවි අහිමිවූහ.

දුම්රියේ නළාව අධික ශබ්ධයක් නංවමින් නොකඩවා නාදවුණා. ඒ සමග ශබ්ධයක් ඇසුනා. අපි එතනට ගිහින් බලනවිට ගැහැනු කෙනෙක් තාප්පයෙන් ඇතුල් පැත්තට විසිවෙලා හිටියා. අනික් තුන්දෙනාගෙන් අම්මයි තාත්තයි බදාගෙන වැටී සිටියා. අධික ශබ්ධයත් සමග අපි එතනට බලන්න ගියා ත‍්‍රිරෝද රථයේ පිටුපස කෝච්චිය හැපිලා තිබුණා. හතරැස් වගේ පෙට්ටියක වගේ කණුවක ත‍්‍රිරෝද රථය වැදී උඩු අතට පෙරළී තිබුණා. ඉන් ගැහැණු කෙනෙක් තාප්පයෙන් ඇතුල් පැත්තට විසිවෙලා තිබුණා. පිරිමි අයෙක් ගුලිවෙලා හිටියා. ඔහු ගෝනියක දමාගෙන ඔසවාගෙන ගියා තුවාලකරුවන් වාහනවලින් රැගෙන ගියා. දුම්රිය සංඥා ක‍්‍රියාත්මක වෙමින් තිබියදී ත‍්‍රිරෝද රථය දුම්රිය හරස් මාර්ගය හරහා දමා තියෙනවා යැයි අනතුර පිළිබඳව අදහස් දක්වමින් අසල්වැසියකු වන ඒ ආරියපාල නැමැත්තා එසේ කීවේය.

රජරට රැජින විසින් එකම පවුලේ සිව් දෙනකු බිලිගෙන තිබුණි. සිව් දෙනකුට මරුකැඳවූ මෙම ඛේදවාචකයෙන් බූස්ස පරණවත්ත ප‍්‍රදේශය ශෝකයෙන් ඇළලීගොස් ඇත්තේය. මෙකී දුක්මුසු පුවත ලැව්ගින්නක් සේ පැතිරී යන්නට වැඩිවෙලාවක් ගත නොවීය. දුම්රියක ත‍්‍රීරෝද රථයක් ගැටිලා එකම පවුලේ සිව් දෙනකු මියගිහින් මේ ආරංචිය ඇසූ සියලූ දෙනාගේ මුවින් පිටවූයේ අනේ අපොයි යන්නයි. අනේ අපොයි මොකක්ද මේ අපේ පවුලට වුණේ. දැනට මාස කිහිපයක සිට කරදර පිට කරදර ආවා. අන්තිමට පවුලේ හතර දෙනකු යළි නොඑන ගමනක් ගියා. දියණිය තනිවුණා. අනේ සුනිමල් පුතේ උඹ විහිළුවෙන් තහළුවෙන් තමයි නිතරම හිටියේ ඥාති කාන්තාවක් හ`ඩා වැළපෙමින් එසේ කියන්නීය. මියගිය සිව්දෙනාගේ මෘතදේහයන් නිවසේ සාලයේ එකපෙළට තැන්පත්කොට ඇත්තේය. මෙම දසුන් පෙළ දකින ඕනෑම අයකුගේ හිතට දැනෙන්නේ දැඩි වේදනාවකි. එකම පවුලේ සාමාජිකයන් සිව්දෙනාගේ හදිසි වියෝවෙන් පවුලේ ඥාතීන්ද දැඩි කම්පනයට පත්ව සිටිති.

මියගිය අයගේ ඥාති පුත‍්‍රයකු වන කාලිංග විරාජ් ගීතික (34) නැමැත්තා මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් මෙසේ කීවේය.

දුම්රිය හරස් මාර්ගයේ හරියට ගෙට්ටුවක් නැහැ.

සිග්නල් හරියට වැඩකරන්නේ නැහැ. සුනිමල් අයියා දුම්රිය දැකලා නැතිව තමයි ත‍්‍රිරෝද රථය දාලා තියෙන්නේ කියලා මට හිතෙන්නේ. මා ධීවර රැකියාවේ නිරතව සිටිනවා. මියගොස් සිටින හතර දෙනාම මගේ ඥාතීන් වෙනවා. මියගිය කාලිංග ජිනදාස මගේ තාත්තාගේ පැත්තෙන් මට බාප්පා වෙනවා. බාප්පා විශ‍්‍රාමිකයෙක්. ලසිතා කුමාරි මාගේ අම්මාගේ නංගි. ලසිතාගේ අම්මාත් විශ‍්‍රාමිකයෙක්. මට අයිති ත‍්‍රිරෝද රථයෙන් සුනිමල් අයියාත් එක්ක මොවුන් දෙදෙනා හා ලසිතා කුමාරි ග‍්‍රාම නිලධාරිතුමිය හමුවීමට ගියා. වැල්ලබඩ ග‍්‍රාම නිලධාරිතුමිය හමුවෙලා එන අතරතුර තමයි රත්ගම රිල්ලඹ හන්දියේ දී මෙම අනතුර සිදුවෙලා තියෙන්නේ. මාතර සිට වවුනියාව බලා යන දුම්රියේ ගැටිලා කියලා තමයි මට දැනගන්නට ලැබුණේ. මේ සිද්ධිය වන අවස්ථාවේ මම හිටියේ ගාල්ලේ මගේ මිතුරෙක් තමයි මට කීවේ මේ අය දුම්රියක හැපී ඇති බව. ගමේ අය එකතුවෙලා තමයි මේ අය වාහනවල දමාගෙන විත් කරාපිටිය රෝහලට රැගෙනවිත් තියෙන්නේ. විරාජ් ගීතික කීවේය.

විතානගේ රුවන් චලන පෙරේරා (39) මියගිය අයගේ ඥාතියෙකි. ඔහු කීවේ මෙවැනි කතාවකි.

මා හෝටල් සේවකයකු ලෙස රැකියාව කරනවා.

මියගොස් සිටින තවුලිස්හාමි මගේ ආච්චි. ලසිතා කුමාරි මගේ පුංචි අම්මා. මේ අය වැල්ලබඩ ග‍්‍රාම නිලධාරිතුමිය හමුවෙලා විශ‍්‍රාම වැටුපට අදාළ ලේඛණයට අත්සනක් ලබා ගැනීම සඳහා තමයි ගිහින් තියෙන්නේ. මාතර සිට වවුනියාව බලා ධාවනය වන දුම්රියේ ගැටී ඇති බව දැනගත්තා. මෙම සිද්ධිය වන අවස්ථාවේ මම හිටියේ අහංගම. ලසිතා පුංචිගේ දියණිය මට කතාකරලා කීවා අයියේ කරදරයක් වෙලා එන්න කියලා. මා කරාපිටිය රෝහලට ආවා. නංගි මගේ ඉදිරියට දිවගෙන ඇවිත් කීවා අම්මලා නැතිවෙලා කියලා. මම මෘතදේහ බලන්න ගියේ නැහැ. ඒ අයත් එක්ක ගෙදර ගියා. පසුව පොලිසියට ගිහින් අවශ්‍ය කටයුතු කළා. සුනිමල් බාප්පා ත‍්‍රිරෝද රථය දමලා තියෙන්නේ කෝච්චිය නොදැක කියා තමයි මට හිතෙන්නේ යැයි රුවන් චලන කීවේය.

මෙම අනතුරත් සමග ප‍්‍රදේශවාසීන් මෙම ස්ථානයට එක්රැස් වන්නට වූහ. එහි සිටි සුනිමල්ගේ මිතුරකු සුනිමල්ට දුරකථන ඇමතුමක් ගත්තේය. ඒ මෙම අනතුර පිළිබඳ ඔහුට දැනුම් දීම සඳහාය. මේ අනතුරත් සමග මා මෙම ස්ථානයට පැමිණියා. අනතුරට ලක්වෙලා ඉන්නේ සුනිමල්ගේ ඥාතීන් බව දැන ගත්තා. මා මේ බව සුනිමල්ට දැනුම්දීම සඳහා දුරකථන ඇමතුමක් ගත්තා සුනිමල්ද අනතුරට ලක්වෙලා ඇති බව පසුව තමයි දැනගත්තේ සුනිමල්ගේ මිතුරකු කීවේය. මියගිය සිව්දෙනාගේ හදිසි මරණ පරීක්ෂණය රත්ගම හදිසි මරණ පරීක්ෂක සාගරිකා නිල්මිණි මහත්මිය විසින් පෙරේදා (01) පස්වරුවේ දී ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකරණු ලැබුවාය. පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර මහතා විසින් සිදුකරණු ලැබීය. ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරිය දුම්රිය අනතුරෙන් වූ බහුවිද තුවාල හා මොළයේ අභ්‍යයන්තර රුධිරවහනය නිසා මරණය වී ඇති බවට තීන්දු කළාය.

මෙකී දුම්රිය හරස් මාර්ගයේ ගෙට්ටුවක් නොතිබූ බවට මියගිය අයගේ ඥාතීන් චෝදනා කරති. ඒ විතරක් නොව දුම්රිය සංඥා පද්ධතිය හරිහැටි ක‍්‍රියාත්මක නොවන බවට දුම්රිය දෙපාර්තමේන්තුවට එල්ලවන චෝදනාවකි. ඒ කොයිහැටි වුවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ මෙකී හරස් මාර්ගයේ දුම්රිය සංඥා පද්ධතිය නිසි අයුරින් ක‍්‍රියාත්මකව තිබූ බවය. මෙරට ගතවූ දින 28ක කාලය තුළ මාර්ග අනතුරුවලින් 196 දෙනකු මියගොස් ඇත. දුම්රිය අනතුරුවලින්ද සැලකිය යුතු පිරිසක් මියයති. මෙරට ඉතිහාසය තුළ බිහිසුණුම බස්රිය දුම්රිය අනතුර සිදු වූයේ 1989 ජනවාරි 17 දා අහුන්ගල්ලේදීය. ඉන් පාසල් සිසු සිසුවියන් 38 දෙනකු ඇතුළු 40 දෙනකු මරුමුවට පත්වූහ. මෑත ඉතිහාසයේ කුමන හෝ වර්ගයක වාහනයක් දුම්රියක ගැටීම තුළ වැඩිම පිරිසක් මියගියේ මෙම අනතුරිණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment