විග්නේශ්වරන් කියන ‘ජාන’ තියෙන තැන අපට කියන්න

424

කාලයක් නිහඬව සිටි සී. වී. විග්නේශ්වරන් මහතා යළිත් කට හඬ අවදි කර ඇත. පෙර උතුරේ මහ ඇමැතිව සිටි සමයේ දී විද්‍යුත් මාධ්‍යයන්ට පුවත් සපයන පුද්ගලයෙකු ලෙසින් ප්‍රකටව සිටි එතුමා කොළඹ මල්පාරේ සිට නැවතත් අරුම පුදුම මතිමතාන්තර දක්වා සිටී. ඔහුගේ ජීවිත කාලයේ වැඩිමනත්ම කොළඹ සිට සිංහලයන් සමග එකට වැඩ කර තිබුණද මහින්ද රාජපක්ෂයන්ගේ තේරීම මත මහ ඇමැති වූ දා පටන් ඔහුගේ ප්‍රකාශයන් අතර සිංහල ජනතාවට එරෙහි වෛරී ප්‍රකාශ බහුල විය. මේ කතා සාමාන්‍ය දෙමළ ජනතාවට එල්ල කොට කියන්නක් නොවේ. ඔහු නියෝජනය කරන දෙමළ වෙල්ලාලර් කණ්ඩායම් එල්ල කොට කියන්නක් බව පැහැදිලි වේ. උතුරේ ඡන්දයකදී වෙනත් නියෝජනයක් නොමැති බැවින් දෙමළ ජනතාව විසින් තමන්ව තෝරා පත් කර ගන්නා බව ඔහු දනී. නමුත් ඒ අතර තවත් දෙමළ දේශපාලනඥයන් අතරින් ඔහුට කැපී පෙනෙන්නට අවශ්‍ය වී තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා විසින් යාපනයේ පැවති තෛපොංගල් උත්සවයේ දී සහ නිදහස් දින කතාවේ දී දක්වා සිටි 13 වන සංශෝධනය සපුරා බලාත්මක කරලීම තේමා කර ගනිමින් මෙවර ඔහුගේ ප්‍රකාශය නිකුත්ව තිබේ. ඒ අතර ඔහු ඉංග්‍රීසියෙන් ලියූ ලිපියක්ද මහානායක ස්වාමීන් වහන්සේ වෙත නිකුත් කර තිබේ. දෙමළ දේශයක් වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරන විග්නේශ්වරන් අනෙකුත් නීතිඥවරුන් මෙන්ම ඉංග්‍රීසිය මව් බස කර ගත්තෙකි.

විග්නේශ්වරන් විසින් මෑතකදී තවත් ප්‍රකාශයක් කර තිබේ. සිංහල ජනයා පැවත එන්නේ දෙමළ ජනයාගෙන් බව ඔහු එක හෙළා කියාපායි. එයට සාධක වශයෙන් ඔහු ඊනියා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් ගැන දක්වා ඇත. ජාන ඉංජිනේරු විද්‍යාවේ දියුණු ව සමග ලෝකයේ මෑත කාලීනව ජන වර්ගයන්හි ජාන සම්මිශ්‍රණය පිළිබඳව පර්යේෂණ රාශියක් සිදු කර තිබේ. එම පර්යේෂණයන්හි මූලික පදනම වන්නේ ජාන මගින් හඳුනා ගැනීමේ ක්‍රම දියුණු කිරීම, පොදු මානව වර්ගයක් බිහි කිරීමට අවශ්‍ය ජාන හුවමාරුව සිදු කිරීම, මෙන්ම රෝගයන් සඳහා නවීන ජාන ප්‍රතිකාර හඳුන්වා දීමත්ය. රට රටවල් වල පවත්වාගෙන යනු ලබන විශ්වවිද්‍යාලයන්හි කරන මේ පර්යේෂණයන් සඳහා ඇමරිකාව ප්‍රමුඛ බලවත් ආයතනයන්හි මූල්‍ය අනුග්‍රහය ලැබේ. එවිට ඒ දත්ත ඔවුන් සන්තක වන නිසා මේ පර්යේෂණයන් විවිධ ක්ෂේත්‍රයන් අරභයා සිදු වෙයි. උදාහරණයක් වශයෙන් කොරෝනා එන්නත පිළිබඳව කළ පර්යේෂණ දැක්විය හැකියි. ලංකාවේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්වතුන්ටද එවැනි අරමුදල් ලැබී තිබුණි.

සිංහල ජාන සම්භවයත් එම ජාන ඉන්දීය ජන වර්ගයා සහ වෙනත් ආසියානු රටවල් අතර තිබෙන සම්බන්ධයත් සෙවීමට මෑත කාලයේ දී විවිධාකාර පර්යේෂණ රාශියක් සිදු කර තිබේ. ඉන්දීය ජාන ඉංජිනේරුවකු වූ රෝයි චවුද්‍රි 1985 දී කළ පර්යේෂණයකදී ඔහු සඳහන් කර තිබෙන්නේ බෙංගාලි ජනතාවට වඩා දකුණු ඉන්දීය ද්‍රවිඩ ජන වර්ගයන්ට සිංහල ජනයාගේ සම්බන්ධයක් තිබෙන ආකාරයයි. ඉන්පසු ගෞතම් ක්ෂත්‍රියා 1995 දී කළ පර්යේෂණයද එබන්දකි. ඔහු දක්වා ඇත්තේ දකුණු ඉන්දීය සම්මිශ්‍රණය සියයට හැට නවයක්ද බෙංගාලි සම්භවය සියයට 25 ක් ද වන බවයි. 1976 දී ක්‍රික් නම් විද්‍යාඥයෙකු කළ පර්යේෂණයකදී දක්වා ඇත්තේ සිංහල ජනයා කේරළ වර්ගයාට තිබෙන සම්බන්ධයක් පිළිබඳවයි. අනතුරුව 2014 වසරේ දීද මෙවැනිම ජාන පර්යේෂණයක් සිදු කර තිබේ. ලංකාවේ ජීවත්වන ලංකා දෙමළ ඉන්දියානු දෙමළ මුස්ලිම් යන පිරිස සමග සිංහලයාගේ සබඳතාව සෙවීම මෙහි අරමුණ වී තිබේ.

විද්‍යාවේ ප්‍රගමනය සඳහා මෙම පර්යේෂණ සිදු කිරීම ඵලදායී වුවද මෙහි යටි අරමුණ වන්නේ වෙනත් කරුණකි. වසර දහස් ගණනක් තිස්සේ අවිච්ඡින්නව පැවතෙන සිංහල ජනතාවගේ අභිමානය සහ සංස්කෘතික අනන්‍යතාව මානසික වශයෙන් දියකර හැරීම මෙකී අරමුණු අතර තිබෙනවා විය යුතුයි. තමන් ශුද්ධ වූ ජන වර්ගයක් නොව විදේශිකයන් සමග සම්බන්ධව පැවතෙන්නක් වූ බව විද්‍යාත්මකව පැහැදිලි කිරීම නිසා මේ අභිමානය දිය කර හැරේ. විද්‍යාවෙන් පැහැදිලි කළහොත් ඕනෑම බොරුවක් සමාජගත කිරීම වර්තමානයේ දී ඉතා ලෙහෙසිය පහසුය. විශේෂයෙන්ම උතුර සහ නැගෙනහිර පළාත් දෙමළ ජනයාගේ පාරම්පරික වාස භූමි ලෙසට කලක පටන් කරන ප්‍රකාශ සමග දෙමළ ජනයාට සිංහලයා සමග තිබෙන සම්බන්ධය දිග හැරීම මත මේ ප්‍රදේශවලට තිබෙන අයිතිය තහවුරු කර දිය හැකි බව මේ පර්යේෂණයන්ට මුදල් දෙන පිරිස දනී. විග්නේශ්වරන්ගේ ප්‍රකාශයේ සත්‍යතාව සැඟවී පවතින්නේ මෙවැනි පසුබිමක් මත බව කිව මනාය.

විග්නේශ්වරන් කියන 'ජාන' තියෙන තැන අපට කියන්න

2021 දී කොළම විශ්වවිද්‍යාලයීය ජින්ටෙක් ආයතනය විසින් ද මෙවැනිම ජාන පර්යේෂණයක් සිදු කර තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ගයනි ගල්හේන ජින්ටෙක් ආයතනයේ නදීක පෙරේරා සහ විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගයා රණවක යන තිදෙනා විසින් පුද්ගලයන් 838 දෙනකුගේ ජාන දත්ත පදනම් කරන ලද විශ්ලේෂණයේ දී නිගමන වශයෙන් ප්‍රකාශ කොට තිබෙන්නේ සිංහලයාගේ ජාන සම්මිශ්‍රණය තුළට ලංකා දෙමළ යනුවෙන් හඳුන්වන පිරිස සහ මුස්ලිම් පිරිසකගේ ජාන වඩා සමීප බවයි. නමුත් මේ පර්යේෂණයන්ට ලංකාවේ ඓතිහාසික තත්ත්වයන් යොදා ගත් බවට සාධක නැත.

ලංකාවේ ඉතිහාසය තුළ ප්‍රාග් ඓතිහාසික තත්ත්වයක් සහ ඓතිහාසික තත්ත්වයක් විද්‍යමාන වේ. ප්‍රාග් ඓතිහාසික තත්ත්වය ජන ප්‍රවාදගත තොරතුරු අනුව රාවණා ඇතුළු යක්ෂ රාක්ෂ නාග ජන වර්ගයන්ගෙන් සමන්විතය. මොවුන් පොදුවේ අසුරයන් වශයෙන් හැඳින්වෙයි. අසුරයන් දකුණු ඉන්දියාවේද බහුලව වාසය කළ බව රාම රාවණා පුවත ඇසුරෙන් දත හැකිය. ඓතිහාසික යුගයේදී විජයාගමනයටත් ප්‍රථම උතුරු ඉන්දියාවේ සිට පැමිණ ක්ෂත්‍රියන් ලංකාවේ පාලන බලය ලබා ගත් බවද පසුව ශ්‍රී මහා බෝධිය සමග පැමිණි කුල දහ අටක ජනයා ලංකාවේ පදිංචි කළ බවද වංශ කතා පැහැදිලි කර දෙයි. ඉන්පසු ගජබා රාජ්‍ය සමයේ දී ඉන්දියාවේ සිට විසිහතරදහසක් ජනයා ලංකාවට ගෙනා බවද දැක්වේ. ලංකාවේ පැරණි කුල ක්‍රමය අනුව බ්‍රාහ්මණ, වෛශ්‍ය, ගොවි සහ ක්ෂුද්‍ර යන කුලකයන් ගත් විට බ්‍රාහ්මණ සහ වෛශ්‍ය වැඩි පිරිස උතුරු ඉන්දීය ක්ෂත්‍රියන් වෙති. ගොවි කුල ජනයා පැරණි යක්ෂ රාක්ෂ නාග ජන වර්ගයන්ට අයත් අතර අනෙකුත් ජන වර්ගයන් සේවා කුල වශයෙන් දකුණු ඉන්දියාවෙන් සහ උතුරු ඉන්දියාවෙන් පැමිණි පිරිස වෙති. මෙම තත්ත්වය මත ලංකාවේ ජාන සම්භවය ඉතාමත් සංකීර්ණ තලයක පවතී සිංහලයාගේ වර්ණ දේහ කෙතරම් කාලයක් සිට මෙලෙස සම්මිශ්‍රණය වූවා දැයි සිතීම අතිශයින් උගහටය. නමුත් ඓතිහාසික යුගයේ සිටම ඉන්දීය මහ ද්වීපයෙන් වෙන් වූ පොදු අනන්‍යතාවකින් යුක්ත පොදු භාෂාවක් කතා කරන සංස්කෘතියක් ඔවුන් ඇති කර ගෙන තිබේ. මෙම සංස්කෘතිය තුළට අවශෝෂණය වන්නෝ දෙමළ වේවා මුස්ලිම් වේවා චීනුන් හෝ ජපනුන් වේවා යුරෝපීයන් වේවා කාලයත් සමග සිංහලයන් බවට පත් වී තිබුණි.

මෙලෙස මෙරට අනන්‍යතාව ජාන සම්මිශ්‍රණයකින් සිදු වුවද මෙරට සංස්කෘතිය ගොඩ නැගීමට උතුරු ඉන්දීය ක්ෂත්‍රියන් දක්වන ලද දායකත්වය සුවිශේෂී වෙයි. භාෂා පෝෂණය, සිරිත් විරිත්, බුද්ධ ශාසනය, සාරධර්ම සියල්ල එම සම්බන්ධයේ ප්‍රතිඵලයක් ලෙසට පවතී. පැරණි ස්වදේශිකයන් වූ යක්ෂ ගෝත්‍රයන්හි භාෂා ලක්ෂණ සහ චාරිත්‍ර ධර්මයන්ද මේ පොදු සංස්කෘතියට එක්වී තිබේ. ඒ නිසා අදටත් උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල පමණක් බෞද්ධ ස්මාරකයන් 1500 කට වඩා අපට හඳුනාගන්නට ලැබී තිබේ. චෝල පාලන සමයේ ඉදිකරන ලද බෞද්ධ ගොඩනැගිලි ඇරුණු කොට වෙන කිසිම බෞද්ධ ස්මාරකයක් ද්‍රවිඩ ජන වර්ගයා විසින් කර නැත. දෙමළ සෙල් ලිපි පවා උතුර සහ නැගෙනහිර පවතින්නේ ඉතාමත් සීමිත සංඛ්‍යාවකි. මහා පරාක්‍රමබාහු රජු විසින් කළ දෙමළ සෙල් ලිපියක් නාගද්වීපයේ පවතී. එයද සිංහල රජුගේ ආඥාවක් ප්‍රදර්ශනය කර වූවකි. විග්නේශ්වරන් කියන ලෙසට ඔවුන්ට වසර 3000 ක් පැරණි ඉතිහාසයක් පැවතියේ නම් මේ ප්‍රදේශයන්හි භාෂාව දෙමළ විය යුතුය. ඉන්දීය අසුර ජනයා ද්‍රවිඩිකරණය වුවද ලංකාව එලෙස ද්‍රවිඩීකරණය කිරීම පහසු නොවූයේ සිංහල රජවරුන් අභිමානයෙන් යුතුව මෙරටේ අනන්‍යතාව වෙනුවෙන් සටන් වැදුණු නිසාය. අප පරාජයට පත් වූයේ යුරෝපීයන්ට පමණි. එයද රැවටීම නිසාය.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment